මුස්ලිම් කාන්තාවන්ට හිරිහැර කරන සහ ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු හෙළි කරන වීඩියෝ අන්තර්ජාලය වෙත මුදා හැරීම ඉන්දියාව පුරා සිදුවේ
ඇතැම් හින්දු කණ්ඩායම් "ලව් ජිහාද්" ලෙස හඳුන්වන මතභේදාත්මක කල්පිතයක්, ඒ සම්බන්ධ සාක්ෂි නොමැති වුව ද බොහෝ කලක් ඉන්දියාව පුරා ප්‍රචලිත වී තිබුණි. හින්දු කාන්තාවන් පොළඹවාගෙන ඔවුන් ඉස්ලාම් ආගමට හැරවීමේ කුමන්ත්‍රණයකට මුස්ලිම් පිරිමින් විශාල පිරිසක් පාර්ශවකරුවන් වන බවට මින් කියැවිණි.
දැන්, එහි ප්‍රතිවිරුද්ධ කල්පිතයක් - හින්දු පිරිමින් හිතාමතා මුස්ලිම් කාන්තාවන් පොළඹවා ගැනීමට උත්සහ කරන බවට - අන්තර්ජාලය හරහා වෛරල් වෙමින් පවතියි. එය "භග්වා ආදර උගුල" (Bhagwa Love Trap) ලෙස හැඳින්වේ. ඒ සම්බන්ධයෙන් ද ඇති සාක්ෂි ඉතා අල්ප ය. එහෙත්, සාක්ෂි නොතිබූ පමණින් එය සැබෑ ලෝකයේ ප්‍රචණ්ඩත්වය දක්වා පැතිරීම නතර වී නැත.
"ඒක හරි ම නීච වැඩක්. මට මගේ ඇස් අදහාගන්න බැරි වුණා," උතුරු ඉන්දියාවේ මුස්ලිම් කාන්තාවක වන මරියම් එලෙස පවසන්නේ, අන්තර්ජාලය හරහා ඇයට ලැබුණු අපවාදාත්මක පණිවිඩ මාලාවක් සිහිපත් කරමිනි.
මරියම් - ඇගේ සැබෑ නම නොවේ - ඇගේ පෞද්ගලික තොරතුරු අන්තර්ජාලය ඔස්සේ හෙළිදරව් කළ ඔන්ලයින් හිංසනයක (doxxing) ගොදුරක් විය. ඇය හින්දු පිරිමින් අසල සිටගෙන සිටින ඡායාරූප 'පබ්ලික්' සමාජ මාධ්‍ය ගිණුම්වලින් බාගත කරගන්නා ලදුව, ඇය අන්තර්-ආගමික සබඳතාවල බැඳී ඇතිබවට චෝදනා කිරීමට ඒවා භාවිත කෙරිණි. අන්තර්-ආගමික සබඳතාවල බැඳීම, අන්තර්ජාලය ඔස්සේ ඇයට ප්‍රහාර එල්ල කරන්නන්ට අනුව දැඩි තහංචි ක්‍රියාවකි.
එම චෝදනා සත්‍ය ද නොවීය.
ඡායාරූපවල සිටි පිරිමින් ඇගේ මිතුරෝ මිස පෙම්වත්හු නොවූහ. එහෙත්, ඇයට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කිරීම ඉන් නතරවූයේ නැත. "උන් කිව්වා මම හින්දු පිරිමි එක්ක නිදියනවා කියලා. උන් මගේ දෙමාපියන්ට අපහාස කළා, මාව හදලා තියෙන විදිය ගැන ප්‍රශ්න කළා," ඇය පවසයි.
ගතානුගතික ඉන්දීය පවුල් අතර, අන්තර්-ආගමික සබඳතා තවමත් දැඩි ලෙස තහනම් ය.
ඇයගේ තොරතුරු හෙළි කළ ඇතැම් ගිණුම්වල අනන්‍යතා මත පදනම්ව, ඇය "භග්වා ආදර උගුලට" ගොදුරුවී ඇතැ යි ප්‍රකාශ සිදුකර ඇත්තේ මුස්ලිම් පිරිමින් බව මරියම් විශ්වාස කරයි.
"භග්වා" යනු කුංකුම වර්ණය යි - එය 'හින්දුත්වා' සමග සබැඳි වර්ණයකි. හින්දුත්වා යනු, එහි විවේචකයන් පවසන පරිදි එක්තරා ආකාරයක අන්ත දක්ෂිණාංශික හින්දු ජාතිකවාදයක් ප්‍රවර්ධනය කරන දෘෂ්ටිවාදයකි. මෙම සන්දර්භය තුළ "භගවා" හින්දුත්වා වෙත සමාන පදයක් ලෙස භාවිත වේ.
හින්දු ජාතිකත්වය විශ්වාස කරන පිරිමින් මුස්ලිම් කාන්තාවන් පොළඹවා ගැනීමට සහ ඔවුන් ඔවුන්ගේ ප්‍රජාවන්ගෙන් වෙන් කිරීමට උත්සහ කරන බවක්, "භග්වා ආදර උගුල" සිද්ධාන්තය මඟින් කියැවෙයි. මෙම අදහස මූලික වශයෙන් මුස්ලිම් පිරිමින් විසින් ඇති කරනු ලබන්නක් වන අතර, ඔවුන්ගෙන් බොහෝදෙනෙකු මෙම පිළිවෙත සැබැවින් ම සිදුවෙමින් පවතිතැ යි බියෙන් පසුවෙයි.
මෙම සිද්ධාන්තය සමාජගත කරන සමාජ මාධ්‍ය ගිණුම්හිමියන් සමග බීබීසී පුවත් සේවය කතාබහ කළ අතර, ඔවුන් ඉදිරිපත් කර ඇති උදාහරණ විශ්ලේෂණය කෙරිණි. එහෙත්, භූමියේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවට කිසිදු සාක්ෂියක් අපට හමු නොවීය. නමුත් මෙම කතාව සමාජ මාධ්‍යවල අඛණ්ඩව සංසරණය වී ඇත -
මෙම වසරේ මාර්තු මාසයේ සිට මෙම වාක්‍ය ඛණ්ඩය 200,000 වාරයකට වඩා භාවිතා වී ඇත.
එහි බලපෑම සැබෑ ලෝකයට ද ගලාගොස් තිබේ.
මැයි මාසයේ දී, මධ්‍ය ප්‍රදේශ්හි රූගත කරන ලද වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් කෙරිණි. මුස්ලිම් කාන්තාවක සහ හින්දු පිරිමියෙකු ඔවුන්ගේ විශ්වවිද්‍යාලයය වෙත ස්කූටරයකින් නැවත පැමිණෙමින් සිටින ආකාරයක් ඉන් දැක්වුණි.
පෙනෙන්නට තිබූ ආකාරයට, මුස්ලිම් පිරිමින් පිරිසක් ඔවුන් වටකරගෙන, ඔවුන්ගේ ආගමට ලැජ්ජාවක් ඇති කිරීම සම්බන්ධයෙන් කාන්තාවට තරවටු කරති. "උඹට ඉස්ලාම් ආගම අතාරින්න කිසි කෙනෙක් ඉඩ දෙන්නෙ නෑ," ඔවුන්ගෙන් එක් අයෙක් කෑගසන අතරතුර සෙසු පිරිස හින්දු පුද්ගලයාට පහර දෙති.
ඉන්දියාව පුරා සමාන රටාවක් දක්නට ලැබෙන මෙවැනි සිද්ධි 15කට අධික සංඛ්‍යාවක වීඩියෝ බීබීසී පුවත් සේවය දැක තිබේ. මෙම න්‍යාය සත්‍යයැ යි චෝදනා කරන, #BhagwaLoveTrap හෑෂ්ටැගය සහිත මෙවැනි සිද්ධි සහ වෙනත් සිදුවීම් ඇතුළත් වීඩියෝ YouTube, Instagram සහ Xහි මිලියන 10කට වැඩි වාර ගණනක් නරඹා ඇත.
මෙම සිද්ධාන්තය, පැරණි සහ වඩාත් හොඳින් දන්නා "ලව් ජිහාද්" යන අදහසේ ප්‍රතිවිරුද්ධ අදහස යි: එය මීට ප්‍රතිවිරුද්ධ ආඛ්‍යානයක් - මුස්ලිම් පිරිමින් හින්දු කාන්තාවන් රැවටීමට උත්සහ කරන බව - ඉදිරිපත් කරන අතර, වසර ගණනාවක් තිස්සේ හින්දු ජාතිකවාදීන් විසින් අන්තර්ජාලය වෙත මුදාහැර ඇත. "භග්වා ආදර උගුල" න්‍යාය මෙන් ම මෙම ප්‍රකාශයන් ද සාක්ෂි නොමැතිව ව්‍යාප්ත වී ඇති අතර, සැබෑ ලෝකයේ ප්‍රචණ්ඩත්වය වර්ධනය වීමට තුඩු දී ඇත.
අන්තර්-ආගමික විවාහ තවමත් ඉන්දියාව තුළ දුර්ලභ වන අතර, බොහෝ දෙනෙකු යෝජිත විවාහයන් තෝරා ගනියි.
ඉන්දීය ප්‍රවෘත්ති ආයතන දෙකක් සිදුකළ ස්වාධීන විමර්ශනවල දී අදාළ න්‍යාය සනාථ කිරීමට සාක්ෂි සොයා ගැනීමට නොහැකි විය.
එසේ තිබියදීත්, "ලව් ජිහාද්" යනුවෙන් හඳුන්වන න්‍යාය ඉන්දීය දේශපාලන වාදවිවාදවල ප්‍රමුඛ මාතෘකාවක් බවට පත්ව තිබේ. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ දේශපාලනඥයින් සහ හින්දුත්වා මතවාදයට දායක වන එහි සමහර සාමාජිකයින් විසින් ඒ පිළිබඳව ප්‍රසිද්ධියේ අදහස් පළ කර ඇත.
"භග්වා ආදර උගුල" න්‍යාය ප්‍රචලිත වී ඇත්තේ සමාජ මාධ්‍යවල, බොහෝ විට නිර්නාමික ගිණුම් හරහා වන නමුත්, ඉහළ පෙළේ මුස්ලිම් නායකයින් ගණනාවක් ද එම න්‍යාය ගැන අතිශයෝක්තියෙන් කරුණු දක්වා තිබේ.
ඉස්ලාමීය විද්වතෙකු සහ ඉන්දියානු ප්‍රවෘත්ති නාලිකාවල නිත්‍ය විචාරකයෙකු වන ෂොයිබ් ජමායි, ජාතික මාධ්‍ය තුළ එම අදහස ප්‍රචලිත කිරීම සම්බන්ධයෙන් ඔහු වගකීම භාර ගන්නා නමුත් මෙම ප්‍රවණතාව නිසා සැබෑ ලෝකයට සිදුවූ හානිය අනුමත නොකරන බව පවසයි.
"නීතිය තමන්ගේ අතට ගන්න උත්සහ කරමින් සිටින මුස්ලිම් සමාජයේ මිනිසුන්ට මම සහය දෙන්නෙ නෑ. මේ රට වැඩ කරන්නේ නීතියකට අනුව," ඔහු පවසයි.
එහෙත්, න්‍යායේ සත්‍යතාව ගැන ජමායිට සැකයක් නැත. "මුස්ලිම් කාන්තාවන් උගුලට හසුකර ගන්නට හින්දුත්වා ප්‍රබලයින්" හින්දු තරුණයින්ගේ "මොළ ශෝධනය" කර ඇතැ යි ඔහු චෝදනා කරයි.
"භග්වා ආදර උගුල" යන අදහසෙන් යෝජනා කරන ආකාරයටම, හින්දුත්වා නායකයින් මුස්ලිම් කාන්තාවන් හා පෙම් සබඳතා ඇරඹීමට හින්දු පිරිමින් ක්‍රියාකාරීව දිරිමත් කරන අයුරු පෙන්වන, අන්තර්ජාලයේ සංසරණය වන සත්‍ය වීඩියෝ මත පදනම්ව ජමායි සහ එම මතය දරන අනෙකුත් පිරිස් ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරයි.
ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයෙකු වන යෝගී ආදිත්‍යනාත් 2007 දේශපාලන රැලියක දී කතා කරන ආකාරය ඉන් එක් වීඩියෝවක දැක්වෙයි.
මුස්ලිම්වරුන් "එක හින්දු කෙල්ලෙක් ගත්තොත්, අපි මුස්ලිම් කෙල්ලෝ සීයක් ගන්න ඕන," ඔහු පවසයි. රැලියට සහභාගී වී සිටි පුද්ගලයෝ ඔල්වරසන් දෙති.
ඉන්පසු, ආදිත්‍යනාත් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මහ ඇමතිධුරය දක්වා ක්‍රමයෙන් පැමිණියේ ය. ඔහු තවමත් එම අදහස ප්‍රකාශ කරන්නේදැ යි බීබීසී පුවත් සේවය ඔහුගෙන් විමසූ නමුත් ඔහු ප්‍රතිචාර දැක්වූයේ නැත.
මෙම සංසිද්ධිය සැබෑවක් බවට වන ඔවුන්ගේ විශ්වාසයට සාක්ෂි ලෙස ජමායි සහ "භග්වා ආදර උගුල" සිද්ධාන්තයේ අනෙකුත් යෝජකයින් අප සමග බෙදාගත් විශේෂිත උදාහරණ 10ක් පිළිබඳව අපි සොයා බැලුවෙමු. මෙම සිද්ධාන්තයේ සහායකයින් පවසන පරිදි, මුස්ලිම් කාන්තාවන්ගේ ආගමික අනන්‍යතාව නිසා ඔවුන්ගේ ආගම වෙනස් කරවීමට සහ ඔවුන්ට හානි කිරීමට හින්දු පිරිමින් හිතාමතාම මුස්ලිම් කාන්තාවන් සමග සබඳතා හෝ විවාහයන් ඇතිකර ගත් බවට උදාහරණ මේවා ය.
අප වෙත සඳහන් කළ සියලුම උදාහරණ හින්දු පිරිමින් සහ මුස්ලිම් කාන්තාවන් අතර ඇතිවූ සබඳතා සම්බන්ධයෙන් පැවතිය ද, අවස්ථා දෙකක දී එම කාන්තාවෝ ආගමික හැරවීමකට ලක් නොවූහ.
හින්දු පිරිමින් ආගමික අනන්‍යතාව නිසා ඔවුන්ගේ සහකාරියන් ඝාතනය කර ඇතැ යි ප්‍රකාශ වූ අවස්ථා හය තුළින් හතරක දී, මූල්‍යමය හෝ ගෘහස්ථ ආරවුල් මිනීමැරුම්වලට හේතුවී ඇතිබව පොලිස් ප්‍රකාශවල සඳහන් වේ. තවත් සිද්ධි හතරක ප්‍රචණ්ඩත්වයට හේතු වූ කරුණු ප්‍රවෘත්ති හෝ පොලිස් වාර්තා මඟින් තහවුරු කළ නොහැකි වූ නමුත්, භග්වා ප්‍රේම උගුලට අදාළ සිදුවීම් සමග සම්බන්ධයක් ඇති බවට කිසිදු සාක්ෂියක් නොතිබිණි.
"භග්වා ආදර උගුල" පිළිබඳ චෝදනා ඇතුළත් තවත් වීඩියෝ මාලාවක් ඉන්දියාවේ සත්‍යාපන වෙබ් අඩවියක් වන Boom Live විසින් අසත්‍ය බවට තහවුරු කර ඇත.
ආදර උගුලක් පවතින බවට වන ප්‍රකාශ හින්දු ජාතිකත්ව කණ්ඩායම් ප්‍රතික්ෂේප කරයි.
"හින්දූන් මේ වගේ උගුලක් එළාගෙන යන බවට කිසි ම සාක්ෂියක් නෑ," හින්දු ජාතිකත්ව සංවිධානයක් වන විශ්ව හින්දු පරිශද්හි ප්‍රධානී ආලෝක් කුමාර් පවසයි. ජමාල් වැනි විද්වතුන් ඉදිරිපත් කරන චෝදනා "අනතුරුදායක" බව ඔහු කියයි.
සමහර විට ඔබ පුරෝකථනය කරන්නට ඇති පරිදි, ආලෝක් කුමාර් "ලව් ජිහාද්" සැබෑවකැ යි විශ්වාස කරයි. "මුස්ලිම් පිරිමින්ගෙන් විශාල කොටසක් ඉන්නවා... හින්දු කාන්තාවන්ව ඔවුන්ගේ උගුලට පොළඹවා ගන්න," ඔහු පවසයි.
සිද්ධාන්තයන් දෙක අදාළ ආඛ්‍යානයේ පාලනය වෙනුවෙන් සටන් වදින සමාන ප්‍රතිවාදීන් ලෙස සලකා බැලීමට කෙතරම් පෙළඹවීමක් තිබුණ ද, ඇතැම්හු ඊට එකඟ නොවෙති.
"ලව් ජිහාද් කියන සිද්ධාන්තයට ලොකු දේශපාලන තල්ලුවක් තියෙනවා," භග්වා ආදර උගුල ගැන ලියූ පළමු මාධ්‍යවේදීන්ගෙන් අයෙකු වන වන ෆාතිමා ඛාන් පවසන අතර, ඉන්දියාවේ පාලක පක්ෂයේ සාමාජිකයින් එයට දක්වන සහයෝගය පෙන්වා දෙයි. "අනෙක් අතට, භග්වා ප්‍රේම උගුල ආරම්භක අවදියේ කුමන්ත්‍රණ න්‍යායක්.
ඒක කිසිසේත් ම දේශපාලන පිටුබලයක් නොමැති දෙයක්."
ඉන්දියාවේ බොහෝ විවාද මෙන් ම, මෙය ද දේශපාලනික පක්ෂග්‍රාහීත්වයට නතුවී තිබේ. එහෙත්, එක් දෙයක් පැහැදිලි ය. ඉන්දියාවේ ආගමික බෙදීම්, මෙවැනි න්‍යායන් අන්තර්ජාලය ඔස්සේ පෝෂණය වීමටත් සැබෑ ලෝකයේ විනාශයක් දක්වා වර්ධනය කිරීමටත් සරු පසක් බව ඔප්පුවෙමින් තිබේ.
හිංසනයට ලක්වූ මුස්ලිම් කාන්තාව වන මරියම් එම අදහසට සාක්ෂියකි. ඇයට ලැබෙන පණිවිඩ නිසා ඇය දැඩි පීඩාවට පත් වූ අතර, ඇති විය හැකි ප්‍රශ්නවලින් වැළකී සිටීම සඳහා ඇය මඳ කලකට රැකියාවෙන් ඉවත්වූවා ය.
"පළවෙනි වතාවට මට මගේ අසල්වැසියන් අතරෙ අනාරක්ෂිත බවක් දැනුණා. මම ඇත්තටම බයෙන්, එළියට බහින්නත් බයෙන් හිටියේ,"යි ඇය පවසන්නේ, අන්තර්ජාලය හරහා පීඩා කළ තැනැත්තන්ගේ විකෘති තර්කවලට ද අභියෝග කරමිනි: "ඔයගොල්ලෝ කියනවා ඔයාලා ගෑනු අය ආරක්ෂා කරනවා කියලා; හැබැයි ඒ ගෑනු අයගෙ ජීවිත විනාශ කරන ගමන්."
(BBC සිංහල සේවය)