"දරුවෝ හදන්නේ නැති එක අපි දෙන්නගෙම පෞද්ගලික තීරණයක් නිසා කවුරු මොන කතා හැදුවත් අපි දෙන්නම ගණන් ගන්නේ නෑ.

වෙලාවකට මට හිතෙනවා මං දරුවෙක් නොහදන්නේ දරුවට ආදරේ නැති නිසා නෙමෙයි, ආදරේ වැඩි නිසා කියලා. මං හිතන විදියට, ඇත්තටම දරුවන්ට ආදරෙ මිනිස්සු හදන්නන්වාලේ දරුවෝ හදන්නෑ," ඔවුන් දරුවන් නොලැබීමට තීරණය කළේ ඇයිදැ යි අප ඇසූවිට 'සුචේතා' මෙසේ පවසයි.

 

ශ්‍රී ලංකාවේ සමාජය අතිප්‍රමුඛ වශයෙන් විවාහය තුළ අනිවාර්යයෙන් දරුවන් ලැබීමට පක්ෂ ය. ජනප්‍රිය සංස්කෘතිය සෑම විටම මාතෘත්වයේ ශ්‍රේෂ්ඨත්වය සහ දැඩි ප්‍රීතිය නිරන්තරයෙන් ගෙනහැර දක්වන්නට හැකි සෑම විටම උත්සුක වෙයි.

 

ශ්‍රී ලාංකික සමාජයට පමණක් නොව දකුණු ආසියාවටම පාහේ පොදු වන මේ ගතිලක්ෂණය නිසාවෙන්, විඵලතාව නිසාවෙන් හෝ පුද්ගලික තෝරාගැනීම නිසාවෙන් දරුවන් නොලබන විවාහක යුවළ, විශේෂයෙන්ම කාන්තාවන්, පවුල හා සමාජය තුළ පීඩාවට ලක්වීම දැකගත හැකිවිය.

ශ්‍රී ලංකාව ලොව අඩුම දික්කසාද ප්‍රතිශතය දරන්නේ ඇයි?

එනමුත් දැන් දැන් ශ්‍රී ලංකාවේ ඇතැම් කාන්තාවන් හා ඔවුන්ගේ සහකරුවන් විවාහය තුළ දරුවන් නොලැබීම එළිපිටම තෝරාගෙන තිබේ.

 

අප සමාජ මාධ්‍යයන්හි ඇතැම් සමූහයන් තුළ මේ සම්බන්ධයෙන් අසන ලද පැනයන්ට මෙවැනි කාන්තාවෝ පිළිතුරු දෙමින්, ඔවුන් දරුවන් නොලැබීම සඳහා තීරණය කිරීමට විවිධාකාර හේතු ඉදිරිපත් කළහ.

 

ඔබ කිසිදා දරුවන් නොලැබීමට තීරණය කළේ ඇයි? - කාන්තාවන්ට පැනයක්

 පීතෘ නිවාඩුව: ලංකාවේ පියවරුන්ට අහිමි අයිතිවාසිකමක් ද?

මේ කාන්තාවන් දරුවන් නොලැබීම සඳහා කළ තෝරාගැනීම්වලට, ඔවුන් වගකීම් අඩු සැහැල්ලු දිවියක් ගත කිරීමේ කැමැත්තෙන් යුතුවීම, ආර්ථිකව ස්ථාවර නොවීම, කුඩාකල ඔවුන්ගේ සොයුරු සොයුරියන් හදා වඩා ගැනීමට සිදුවීම, පරම්පරාවෙන් පැවතෙන ලෙඩරෝගවලින් යුතුවීම හා අස්ථාවර ලොවකට දරුවෙකු ගෙනඒමට ඇති අකමැත්ත යනාදී බොහෝ කාරණා හේතුවී තිබුණි.

 

ඔවුන්ගේ පුද්ගලිකත්වය සුරැකීම සඳහා අපි මේ සියලු කාන්තාවන් ව්‍යාජ නාමයන්ගෙන් අමතමු.

lady 1 copy

"අපිට හොඳ ආර්ථික ස්ථාවරයක් නෑ," අපගේ ප්‍රශ්නයට පිළිතුරු ලෙස අචිනි සටහන්කර තිබුණා ය.

 

"අපිට බයිසිකල් කටුවක් වත් නෑ වාහනයක් කියලා. අපි සතියෙ දවස්වලට නම් පාරෙ වැඩ කරන CTB එකෙන් තමයි ගොඩක් ගමන් බිමන් යන්නෙ. වීකෙන්ඩ්ස්වල ඒක නැති නිසා බස් එකකට නගින්න ගොඩක් දුර පයින් යන්න ඕන. ඒ දුක ළමයට දෙන්න බෑ," ඇය පවසයි.

 

මියුරි පවසන පරිදි ඇය දරුවන් නොලබන්නේ බොහෝකොටම මෙලොව වර්තමාන තත්ත්වය හේතුවෙනි.

 

"දරුවන්ට ගොඩක් ඇලිළා ඉන්න දෙමව්පියන්ගේ පූර්වාදර්ශ නිසා ඇතිවෙච්ච බය එක හේතුවක්. අනික state of the world. නගරබද, දරුවෙක්ට තව දුරටත් සුවදායක පරිසරයක ජීවත්වීමේ අවස්ථාව නෑ. පෘථිවිය මිනිස් වාසයට නුසුදුසු බවට පත් වෙමින් යද්දි, වෙළඳපළ අවශ්‍යතා වෙනුවෙන් මිනිස්සුන්ගෙ brain chemicals පාවිච්චි වෙද්දි, දුප්පත් රටක පුරවැසියෙක් විදිහට තවත් එක පාරිභෝගිකයෙක්ව ලෝකෙට ගේන වගකීම බාරගන්න මම කැමති නෑ," ඇය ප්‍රකාශ කරයි.


Two lovers in a hug, in love.

සුචේතා හා ඇගේ සහකරුවා මෙම තීරණය ගෙන තිබෙන්නේ හුදෙක් ජීවිතය සැහැල්ලුවෙන් විඳීමේ ආශාවෙනි.

 

"මම මානසිකව සූදානම් නෑ ඒ වගකීම ගන්න. මාව ආත්මාර්ථකාමී විදිහට දකින අය දකිනවා ඇති, ඒත් ඒ මගෙ මතය සහ මට ඕන විදිහ සහ අපි දෙන්නම කැමති විදිහ."

 

"මම ඇත්තටම මේ නිදහසට ලෝභයි, අපි දෙන්නම. වැඩ ඇරිලා ගෙදර ඇවිත් රෑට කාලා සෝෆා එකේ හස්බන්ඩ්ට තුරුල් වෙලා ෆිල්ම් එකක් බලන්න, නිවාඩු දවසට තුරුල් වෙලා දවල් වෙනකල් නිදාගන්න, හිතුණ ගමන් දෙන්නත් එක්ක ඇවිදින්න යන්න, දෙන්නත් එක්ක රට රටවල ට්‍රැවල් කරන්න, මේ දේවල් අපි දෙන්නගෙ ජීවිතේ අංක එකට තියන හීන. ළමයි හිටියට ඇවිදින්න බැරි නෑනෙ කියලා කොයිතරම් අය කිව්වත් බෑ තමයි, ඒකයි ඇත්ත. මොකද අපි දෙන්නම ඉතාමත් සාමාන්‍ය පවුල්වල ඉපදුණු, අදටත් සාමාන්‍ය විදිහට ජීවත් වෙන දෙන්නෙක්," ඇය සටහන්කර තිබුණි.

lady 2 copy

පූර්ණිමා ඇයට කුඩාකල විඳීමට සිදුවූ දැඩි ශෝකජනක අහිමිවීමක් හේතුවෙන් දරුවන් නොලැබීමට තීරණයකර තිබේ.

 

"මගේ අම්මා මම පොඩි කාලෙම නැතිවුණා. මට සෑහෙන ලොකු වගකීමක් දරාගන්න වුණා පුංචි කාලෙ ඉඳලම. ඒ වගේම මට මල්ලිවත් බලාගන්න වුණා. මට මොනවා හරි වුණොත්, මම මගේ දරුවට මට වුණු දේ වෙන්න තියන්නෙ නෑ... ඉපදීම කියන්නෙ දුකක්. මට ඉපදෙන්න චොයිස් එකක් තිබ්බෙ නෑ. මම මගේ නොඉපදුණු දරුවට ඒ චොයිස් එක දෙනවා," ඇය පැවසුවා ය.

 

හර්ෂාට අවශ්‍යව තිබෙන්නේ දරුවන් ලැබීම වෙනුවට, ඇගේ දෙමාපියන්ට හැකි උපරිම අයුරින් සැලකීම ය. "අපි දෙන්නම හරිම මධ්‍යම පාංතික පවුල්වල මිනිස්සු," ඇය ලියයි.

 

"සමහර වෙලාවට අපේ අම්මලා තාත්තල සැප කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නෑ. ඉතින් අපි දෙන්නම කැමති තාම මේ ලෝකෙට බිහිවෙලා නැති දරුවෙක් හදනවට වඩා මේ ලෝකේ ඉන්න අපේ දෙමාපියන්ට ඒ සල්ලිවලින් සැප දෙන්න. දැන් ටික ටික ඒ දේ කරගන යනවා. අපි දෙන්නම ඒකෙන් මාර ආත්ම තෘප්තියක් ලබනවා," ඇය ඇගේ අත්දැකීම බෙදාගනියි.

 

සාරදා ඇය දරුවන් නොලැබීමට ගත් තීරණය ගැන මෙසේ අදහස් දක්වා තිබුණා ය:

 shutterstock 450568075 630e2ab5c2b74fcc9cbe751a4e015357

"මොන සැප පහසුව දෙන්න අපි උත්සහ කළත් එයාට මූණ දෙන්න වෙන දුෂ්කරතාවලින් මට එයාව ගලවන්න බෑ. ලෙඩක් දුකක් හැදුණත් එයාම එපැයි මූණ දෙන්න... ඉගෙනීම ඉදලා ජීවත්වෙන්න රස්සාවක් කරන එක දක්වාම මට ජීවිතේ දුකක්. ඒක එයාට අත්වෙන්න ඕනේ නෑ කියලා මට හිතෙනවා... මම මහන්සි වෙලා හම්බ කරලා ජීවත්වෙන්න උත්සහ කරලා මැරිලා යයි. එයාටත් ඉතිං ඊට වඩා දෙයක් වෙන්නෑනේ. ඒ නිසා මම දරුවෙක් ඉපදෙනවට ආස නෑ."

 

මේ සියලු කාන්තාවන්ට දරුවන් නොලැබීම සඳහා ඔවුන්ටම පුද්ගලික වූ හේතු කාරණා සේම, එම තීරණය ගැනීම සඳහා ස්වාධීනත්වයක් තිබුණි.

 

නමුත් ශ්‍රී ලංකාව වැනි සාම්ප්‍රදායික සමාජයක කාන්තාවන් මෑතක දී සිට වැඩි වැඩියෙන් දරුවන් නොලැබීමටත්, එම තීරණය ප්‍රකාශ කිරීමටත් පෙළඹීම පිටුපස පවතින සමාජමය පසුබිම පැහැදිලි කරවාගනු පිණිස අපි කොළඹ විශ්වවිද්‍යාලයයේ සමාජ විද්‍යා අංශයේ ආචාර්ය ගීතිකා ධර්මසේනගෙන් අදහස් විමසීමු.

 

ස්ත්‍රීන්ට මව් පදවිය හා නොබැඳුනු අනන්‍යතාවක් ලැබීම

lady 3 copy 

මීට වසර 50කට පමණ පෙර දී ද ලංකාව තුළ සාපේක්ෂව වැඩි වශයෙන් රැකියාවන්හි යෙදුනේ, වැඩි නිදහසක් ලැබුවේ, වැඩි අවස්ථාවන් ලැබුවේ, වැඩි අධ්‍යාපනයක් ලැබුවේ පුරුෂයින් ය.

 

"නමුත් හැත්තෑ ගණන් වෙනකොට මේ තත්ත්වය ක්‍රමයෙන් වෙනස් වෙන්නට ගන්නවා," ආචාර්ය ධර්මසේන පවසයි.

 

"කලින් තිබුණ සමාජයේ පුරුෂයාට පුළුවන් වුණා නම් වැටුපක් අරගෙන... පවුල කියන ඒකකයේ ප්‍රධානියා විදියට ඒක දරාගෙන හිටියා නම්, ඔහුගේ පැවැත්ම විදියට ඒක සහතික වෙලා තිබුණා නම්, ස්ත්‍රියගේ භූමිකාව විදියට තිබුණේ ‘නම්බුව’ - දරුවන් හදලා, පවුල බලාගන්න එක."

 

නමුත් හැටේ දශකයේ අගභාගයෙන් පසු ලෝකයේ දේශපාලනික, ආර්ථිකමය හා කතිකාමය තලයේ ස්ත්‍රී විමුක්තිය සම්බන්ධයෙන් ඇතිවූ අරගලයන් ද හේතුවෙන් ඇතිවූ වෙනස ස්ත්‍රීන්ට බලපෑබව ඇය පවසයි. කාන්තාවන් ද වැඩි වශයෙන් ශ්‍රම බලකායට එකතුවීම ඇරඹුණු අතර ඔවුන්ට ආර්ථිකමය වශයෙන් ස්වාධීනබවක් ලැබුණි.

 ඇඩ්වර්ටයිසිං ලෝකය (48) : ඩෑෂ් බෝඩ් එක

මෙය කාන්තාවට "නම්බුව වෙනුවට ගරුත්වයක්, පිළිගැනීමක් ඇතිව ජීවත්වීමට අවස්ථාව ලැබීමක්"බව ආචාර්ය ධර්මසේන පවසයි.

 

මේ තත්ත්වය තුළ ලැබෙන ස්වාධීනත්වය, වෘත්තීය දිවිය හා සමාජය සමග සිදුකරන ගනුදෙනුව හරහා, මව් පදවිය ලැබීම මඟින්ම පමණක් ඔවුන්ගේ අනන්‍යතාව සහතිකකර ගැනීමට ස්ත්‍රීන්ට සිදුනොවීය.

 

"දැන් [කාන්තාවො] ඉගෙනගන්නවා, ඊට පස්සේ රැකියාවක් කරනවා; මේක ඇතුළෙ දී අර කලින් තිබුණු තත්ත්වයට වඩා තමන්ට නිදහසේ ඉන්න තියෙන කාලය ඉතාම සීමිත වෙනවා - නැත්නම් තවත් කෙනෙක් වෙනුවෙන් යොදවන්න තියෙන කාලය ඉතාම සීමිත වෙනවා," ඇය පවසයි.

 Screenshot 2023 12 28 at 11.10.48

කාන්තාවකගේ අධ්‍යාපන මට්ටම ඉහළයත්ම, ඇය බිහිකිරීමට ඉඩ ඇති දරුවන් ගණන අඩුවනබව දත්තවලින් පෙන්වා දෙයි. පිරිමින් අධ්‍යාපනය ලැබීමට සාපේක්ෂව කාන්තාවන් අධ්‍යාපනය ලැබීම, විවාහවන වයසට සහ දරුවන් ලැබීම ප්‍රමාදවීම කෙරෙහි වැඩි බලපෑමක් ඇති කරයි.

 

උගත්කමින් වැඩි කාන්තාවන්ට ඔවුන්ගේ නඩත්තුව ගැන වගබලා ගැනීමට හැකිවන අතර, පවුලේ විශාලත්වය ඇතුළු කාරණා සම්බන්ධයෙන් වැඩි කේවල් කිරීමේ බලයක් හිමිවෙයි.

 

අප සමාජ මාධ්‍යයන්හි ඇසූ පැනයට පිළිතුරු දුන් බොහෝ කාන්තාවන්, දරුවන් නොලැබීමට තීරණය කළේ ඔවුන්ගේ නිදහස සීමාවන නිසාත්, විශාල වගකීමක් දැරීමට සිදුවන නිසාත්, සැහැල්ලුවෙන් විනෝදයෙන් කාලය ගෙවීමට අවශ්‍ය නිසාත්යැ යි පවසයි.

 

මෙහිදී ඇතැම් මව්වරුන් ද, දරුවන් ලැබීම නිසා ඔවුන්ගේ නිදහස හා ජීවිතය සීමාවූබව පවසා තිබුණි.

 

අපේක්ෂා මෙසේ පවසා තිබුණා ය: "මගේ අදහස නම්, මම මීට අවුරුදු 7කදි තේරුම් අරං හිටියා නම් මම එක දරුවෙක්ගෙන් සෑහෙනවා. මට තුන්දෙනෙක්. දැන් තියෙන ආර්ථිකය එක්ක දරුවන්ට සැප දෙන්න බැරි වෙද්දි, මගේ නිදහස ඇහිරෙද්දි, ඒ කැපකිරීම් දරාගන්න බැරි වෙද්දි ගොඩාක් හිතනවා ඇයි දරුවෙක්ගෙන් සෑහීමකට පත්වුනේ නැත්තෙ කියල. කෙටියෙන් කියුවොත්, මගේ මුලු ජීවිතේම කැප වෙච්ච නිසා මට ඒ මගේ නිදහස ඕනෙ. හිතුන ගමන් නිදහසේ ගමනක බිමනක් යන්නවත් ඒ නිදහස මට නෑ."

 

'ළමයි හදන්න අවස්ථාව වැඩිකරන විධියේ ප්‍රතිපත්ති නැහැ'

 දරුවන්ට කරන අපරාධ ගැන ගිය අවුරුද්දේ පැමිණිලි 8500ක්

පසුගිය දශක ගණන මුළුල්ලේ ලොව සාඵල්‍යතා අගය, එනම් කාන්තාවක ඇගේ ජීවිත කාලය තුළ බිහිකරන දරුවන් ගණන, ක්‍රමයෙන් පහත වැටෙමින් පැවතුණි. මෙය ශ්‍රී ලංකාවට ද අදාළ ය.

 

ලෝක බැංකු දත්තවලට අනුව වර්තමානය වන විට ශ්‍රී ලාංකික කාන්තාවක් ඇගේ ජීවිත කාලය තුළ බිහිකරන දරුවන් සංඛ්‍යාව දෙකකි. මින් දශක දෙකකට ඉහත දී මේ අගය 2.3ක්ව ද, දශක හතරකට ඉහත දී 3.1ක් වශයෙන් ද පැවතුණි.

 

කාන්තාවන් දරුවන් ලැබීම අඩුවීමට හෝ කිසිසේත්ම දරුවන් නොලැබීමට, කාන්තාවන්ගේ අධ්‍යාපනය පමණක්ම නොව, දරුවන් ලැබීම දිරිගන්වන ආකාරයේ ප්‍රතිපත්ති මෙරට තුළ නොමැතිවීම ද හේතුවනබව ආචාර්ය ධර්මසේන පවසයි.

 

"හුඟක් වෙලාවට, ළමයි හදන්න අවස්ථාව වැඩි කරන විධියේ ප්‍රතිපත්ති මුකුත් ගන්නේ නැතුව, ඒ වෙනුවට ගබ්සාව වළක්වන නීති හඳුන්වලා දෙන එක, පවුල් සැලසුම්කරණයට ඇති ප්‍රවේශය අඩුවෙන එක," මෙයට හේතුවී ඇතැ යි ඇය පවසයි.

 

"සමාජයක් විදියට අපි හිතනවා නම් ළමයි අවශ්‍ය යි කියලා, සමාජයෙන් ඉල්ලීම් එන්න ඕන [මව්වරුන්ට] වැටුප් සහිත නිවාඩු දෙන්න ඕන, විශ්වීය ළමා සුරැකුම් ක්‍රමයක් හඳුන්වා දෙන්න ඕන, හොඳ සෞඛ්‍ය රක්ෂණයක් තියෙන්න ඕන," ඇය පැහැදිලි කරයි.

 

කාන්තාවන්ගේ සෞඛ්‍යය හා තෝරාගැනීම් මත පැනවෙන සීමා වැඩිවත්ම, කාන්තාවන් දරුවන් ලැබීමට පෙළඹීමේ අඩුවක් දක්නට ලැබෙනබව ඇය ප්‍රකාශ කළා ය.

සිසේරියන් සැත්කම මඟින් දරුවන් ලද අම්මලාට 'දරුදුක' නැති ද?

"අපි හිතනවා සීමාවන් වැඩි කළාම, මර්දනය වැඩි කළාම, ප්‍රතිරෝධය අඩුවෙයි කියලා... ගබ්සා කිරීම තහනම් කිරීමේ නීතිය ගේන්නේ [වැඩිපුර] දරුවො හදයි කියන අපේක්ෂාවෙන්. හැබැයි ඒක තමන්ට [කාන්තාවට] සීමාවක්නේ එතකොට. ඉතින්, චොයිස් එකක් තියෙනවා නම් මිනිස්සු කැමති නෑ එහෙම සීමාවන්, නීති යටතෙ ජීවත්වෙන්න.

 

"'ඔයා ළමයි හදන්න ඕන, අපි ඇබෝට් කරන්න දෙන්නෑ' කිව්වම විරෝධය වැඩිවෙනවා - එතකොට එනවා 'අපි හදන්නෙම නෑ එහෙනම්' කියලා... මර්දනයට 'එපා' කියන වයසෙ ඉන්න අයට තමයි මේ සීමාවන් ගේන්නෙ."

 

"රාජ්‍යට දක්වන, මර්දනයට දක්වන එක්තරා විරෝධයක් විදියට ස්ත්‍රීන් ළමයි හදන්නෙ නැති එක අපට ගන්න පුළුවන්... එතකොට [ළමයි හදනවාට] මුකුත් සමාජයෙන් හම්බවෙන්නේ නැත්නම්, නිවාඩු නැත්නම්, පඩි වැඩිවෙන්නෙ නැත්නම්, ඩේකෙයාස් නැත්නම්, [කාන්තාවගෙ] ජීවිතේම ඒකෙන් සීමා වෙනවා නම්, එතකොට සමාජයට දෙන උත්තරය තමයි 'මම ළමයි හදන්නෙ නැහැ' කියන එක," ආචාර්යවරිය පවසයි.

 

මෙය 'නිහඬ විරෝධයක්' ලෙස සැලකිය හැකියැ යි පවසන ඇය, "මම හිතන්නෙ ආසියාකරයෙ ස්ත්‍රීන්ට ගන්න පුළුවන් රණකාමීම ප්‍රතිචාරය තමයි ළමයි නොහදා ඉන්න එක,"යි ද පැවසුවා ය.

lady 4 copy

සමාජ මාධ්‍යයන්හි මේ සම්බන්ධයෙන් පුද්ගලික අදහස පළකළ බොහෝ කාන්තාවෝ, මේ වන විට ඔවුන්ට දරුවන් ලැබීම නිසා ඇතිවන ආර්ථික බර දැරීමට නොහැකිබව පවසා තිබුණි.

 

මෙතෙක් කලක් දරුවන් ලැබීමට කැමැත්තෙන් සිටි යුවළ ද දැන් රටේ ආර්ථික අර්බුදයත්, ජීවන වියදම අධිකවීමත්, ආර්ථිකමය විසඳුමක් පෙනෙන මානයක නොතිබීමත් නිසා දරුවන් ලැබීම මේ වන විට කල්දමා හෝ අමතකකර දමා තිබේ.

 

එක් මවක්, "දැන් නම් මේ ⁣ඉන්න එක කෙල්ල හැදුවේ අපරාදේ කියල හිතල ⁣ඉන්නේ. මේ ආර්ථිකේ පව්, කන්න දෙන්න බෑ ආස දෙයක්වත්. දරුවෙක් කියන්නේ ජීවිතේ මැරෙන තුරු මාරම වගකීමකැ"යි අප වෙත සටහන්කර තිබුණි.

 

කෙසේ නමුත්, වර්තමානයට බලපාන මෙවැනි විවිධ කාරණා නිසාවෙන් කාන්තාවෝ 'කාන්තාවක් නම් දරුවන් ලැබිය යුතුමය', 'මවක නොවීම ආත්මාර්ථකමකි' වැනි අදහස් සමාජයේ පැතිර තිබුණ ද දරුවන් නොලැබීමට තීරණය කර තිබෙන වග පැහැදිලි ය.

 

වියපත්වන ජනගහනය ඉහළයමින් පවතින ලෝකයක මෙය අනාගත ශ්‍රම බලකායේ විශාලත්වය කෙරෙහි ද බලපෑම් ඇතිකරනු ඇත.

lady 5 copy
ශ්‍රී ලංකාව ලොව අඩුම දික්කසාද ප්‍රතිශතය දරන්නේ ඇයි?(අමන්දා අබේසූරිය)
-BBC සිංහල සේවය


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image