ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක්බවට 2019 දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුනාගෙන සහතික කරනු ලැබුණි. කලාපයේ රටවලින්

එම සහතිකය හිමිව ඇත්තේ අප ද ඇතුළුව රටවල් තුනකට පමණි.

 

නමුත් අද වන විට තත්ත්වය ඊට මුළුමනින්ම වෙනස්ව ගොස් තිබේ. 2023 වසරේ මැයි මාසයේ සිට ශ්‍රී ලංකාව තුළින් සරම්ප රෝගීන් 700කට අධික පිරිසක් වාර්තා වී තිබේ.

ශ්‍රී ලංකාවේ ශක්තිමත් හා දැවැන්ත ප්‍රතිශක්තිකරණ වැඩසටහන නිසා තුරන්වී ගිය සරම්ප රෝගයේ භයානකබව අද සමාජයේ බොහෝදෙනා සියැසින් දැක නැත. මෙනිසා මෙම රෝගය සුළුකොට තකනා ඇතැමුන්, ඒ සඳහා වන ප්‍රතිශක්තිකරණ එන්නත් ඔවුන්ගේ දරුවනට ලබා නොදෙන බවක් දක්නට තිබේ.

නමුත් සරම්ප රෝගය බහුලවම දරුවන්ට වැළඳෙන, දරුණු අතුරු ආබාධ හා මරණය පවා ඇතිකළ හැකි රෝගයකි.

සරම්ප එන්නත් නොලද දරුවා පහසු ගොදුරකි

 

සරම්ප, ඉතා පහසුවෙන් හා වේගයෙන් බෝවෙන, මාරාන්තික සංකූලතා ඇතිකළ හැකි රෝගයකි. සරම්ප සඳහා එන්නත් නොකළ දරුවන් ඉතා ඉක්මණින් සරම්ප රෝගයට ගොදුරු වෙයි.

 

සරම්ප වෛරසයට නිරාවරණය වන එන්නත් නොකළ (හෝ රෝගය මින් පෙර නොවැළඳුනු) පුද්ගලයින් 10 දෙනෙකුගෙන් නවදෙනෙකු පමණම වෛරසය ආසාදිතයින්බවට පත්වෙයි.

"අමතක කරන්න එපා, මේ රෝගය සාමාන්‍ය රෑෂ් එකක් තියෙන උණ තත්ත්වයක් විතරක් නෙවේ, සමහර වෙලාවට සංකූලතාවලට යන්න පුළුවන්. ඒ සංකූලතා සමහර වෙලාවට නියුමෝනියා තත්ත්වයක්, සමහර වෙලාවට බිහිරිවීමක්, නැත්නම් මොළේට හානි සිදුවීමක්, අන්ධවීමක්, දරුණු පාචනය, එහෙම නැත්නම් මරණයෙන් කෙළවර වෙන්න පුළුවන්," සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මාධ්‍ය සාකච්ඡාවක දී ප්‍රකාශ කළේ ය.

සරම්ප' යළි හිස ඔසවයි ! - රෝගීන් 700ක් හදුනාගනී

එසේම, සරම්ප රෝගය වැළඳී සුවවුව ද, කලාතුරකින් ඉන් වසර කීපයකට පසු රෝගයේ සංකූලතාවක් ලෙස ඇතැම් දරුවන්ගේ මොළයට හානිවීම නිසා ඔවුන් මියයෑමේ ඉඩකඩ තිබේ.

 

"මේකෙ විශේෂම අවස්ථාව තමයි, සමහර වෙලාවට මේක මූලික අවධියේ දී - විශේෂයෙන්ම කුඩා ළමුන්ට මේක වැළඳුනොත් - මූලික අවස්ථාවේ දී රෝගය සුවවෙනවා. නමුත් ඒකෙ බලපෑමක් විදියට ඉදිරි අවුරුදු පහ හය ඇතුළත ඒ දරුවා SSPE කියන මොළේ ආබාධිත තත්ත්වයට පත්වෙලා මරණයට පත්වෙන්න පුළුවන්. ඒ තත්ත්වයට පත්වුණොත් කිසිම ප්‍රතිකාරයක් නෑ, හොඳ කරන්න බෑ," විශේෂඥ වෛද්‍ය ගිනිගේ ප්‍රකාශ කළේ ය.

 

එනිසා, රෝගය වැළඳී සුවවුව ද ඔබේ දරුවා අවදානමක සිටිය හැකිබවත්, ඊට විසඳුම නම් එන්නත්කරණයබවත් දෙමාපියන් දැනුවත්විය යුතු ය.

සරම්ප රෝගයෙන් ඔබේ දරුවා බේරාගන්නේ කෙසේ ද?

 

සරම්ප රෝගයෙන් වැළකීමට ඇති එකම ක්‍රමය නම් එන්නත් ලබාදීම ය.

 

"මේක සරල ලෙඩක් වුණාට 100%ක් එන්නත්වලින් වළක්වාගන්න පුළුවන්," විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පැහැදිලි කළේ ය.

ශ්‍රී ලංකාව තුළ සරම්ප රෝගයට එරෙහිව ලබාදෙන ප්‍රතිශක්තිකරණ එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත, ආරක්‍ෂිත MMR එන්නත යි. එම එන්නත මඟින් සරම්පවලට එරෙහිව පමණක් නොව, කම්මුල් ගාය හා රුබෙල්ලාවලට එරෙහිව ද ප්‍රතිශක්තිය ලබාදෙයි.

 මෙය කුඩා දරුවන්ට වයස මාස නවයේදීත්, අවුරුදු තුනේදීත් වශයෙන් දෙවරකට, එන්නත් මාත්‍රා දෙකක් වශයෙන් ලබාදෙයි.

ඔබේ දරුවාගේ වයස මාස නවයට අඩු ද?

 

ඔබේ දරුවා ඉපදුනේ 2023 අප්‍රේල් 7 - 2023 ජූලි 5 කාලය (එම දින දෙක ද ඇතුළුව) අතර ද? එම කාලය තුළ උපත ලද දරුවන්ගේ මාපියන් හා භාරකරුවන් වෙත සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් සරම්ප රෝගය සම්බන්ධ නිවේදනයක් නිකුත්කර තිබේ.

දැනට ශ්‍රී ලංකාව තුළ කුඩා දරුවන් අතර සරම්ප රෝගය පැතිරෙමින් පැවතීම සලකා බලා, අධි අවදානම් සෞඛ්‍ය දිස්ත්‍රික්වල වෙසෙන, 2024 ජනවාරි හයවැනි දිනට මාස හය - මාස නවය වයස් කාණ්ඩයේ පසුවන සියලුම දරුවන් සරම්ප රෝගයෙන් ආරක්ෂාකර ගැනීම සඳහා අමතර එන්නත් මාත්‍රාවක් ලබාදීමට සැලසුම්කර ඇතිබව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පසුගිය දා නිවේදනය කළේ ය.

මේ අධි අවදානම් සෞඛ්‍ය දිස්ත්‍රික්ක වන්නේ කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, යාපනය, කුරුණෑගල, සහ කල්මුණේ ය.

 

2024 ජනවාරි හයවෙනි දින උදෑසන 09:00 සිට පස්වරු 04:00 දක්වා ආසන්නතම එන්නත්කරණ සායනයෙන් මෙම අමතර සරම්ප එන්නත් මාත්‍රාව ලබාගැනීමට ඉඩ සලසා තිබේ.

 
මේ මාත්‍රාව, දැනටමත් දරුවාට වයස මාස නවයේ දී සහ අවුරුදු තුනේ දී ලබාදෙන සරම්ප එන්නත් මාත්‍රා දෙකට අමතරව ලබාදෙන මාත්‍රාවකි.

 

එමනිසා, මෙම අමතර එන්නත් මාත්‍රාව ලබාගත්ත ද, වයස මාස නවය සම්පූර්ණ වූ පසු දරුවාට ලැබිය යුතු නිසි එන්නත් මාත්‍රාව අනිවාර්යයෙන්ම ලබාදිය යුතු ය. එසේම, වයස අවුරුදු තුන සම්පූර්ණ වූ පසු දෙවැනි මාත්‍රාව ද ලබාදිය යුතු ය.

"මාස නවයට දවසක් අඩු දරුවෙක් ගත්තත්, ඔහු මේ අමතර එන්නත් මාත්‍රාව ලබාගත යුතු යි. එතකොට ඔහුට මාස නවයෙදි ලැබිය යුතු එන්නත් මාත්‍රාව අතර සති අටක පරතරයක් තියලා ඒක ලබාදීම සිද්ධ කරනවා," වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ගිනිගේ ප්‍රකාශ කළේ ය.

මේ අමතර එන්නත සඳහා ද එම එන්නත් වර්ගයම (MMR) භාවිතා කරයි.

 

ඔබ වාසය කරන්නේ අවදානම් දිස්ත්‍රික්කයක නම්, ඔබේ දරුවා ඉහත වයස් කාණ්ඩයට ඇතුළත්, මින් පෙර සරම්ප රෝගය වැළඳී තිබෙන දරුවෙකු නම්, ඔහුට හෝ ඇයට ද මෙම අමතර සරම්ප එන්නත් මාත්‍රාව ලබාගැනීමට හැකි ය.

 

ශ්‍රී ලංකාව සරම්ප යළි හිස එසවූයේ ඇයි?

 

මෑතක සිට ශ්‍රී ලංකාව තුළ ද එන්නත් ප්‍රතික්ෂේප කරන්නන්ගේ වර්ධනයක් දක්නට ලැබෙයි. මේ තත්ත්වය ලංකාවෙන් තුරන් කළ සරම්ප වැනි වසංගත රෝග යළි පැතිරීමට හේතු වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ

එන්නත්-විරෝධී අවිද්‍යාත්මක මත ආදිය හේතුවෙන්, සරම්ප එන්නත නොගත් පුද්ගලයන් 7,500ත් 10,000ත් අතර සංඛ්‍යාවක් රට තුළ සිටින්නේයැ යි උපකල්පනය කරනබව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ගිනිගේ පසුගිය දා ප්‍රකාශ කළේ ය.

"2021 වසරේ ඉපදුණු ළමයි දළ වශයෙන් ලක්ෂ තුනක් අතරින් 1352ක් ඉන්නවා සරම්ප [එන්නතේ] පළමු මාත්‍රාව ලබා නොගත්... ප්‍රතිශතයක් වශයෙන් ගත්තම මේක සියයට දසම ගාණ යි... හැබැයි මතක තියාගන්න, මේ මම කියන්නෙ 2021 ඉපදිච්ච ළමයි අතරින්. ඉතින් මේ වගේ 2020, 2019, ඒ වගෙ ඉපදිච්ච ළමයි යම්කිසි ප්‍රමාණයක් ඉන්නවා,"යි ද ඔහු කියා සිටියේ ය.

තම දරුවන්ට එන්නත් ලබාදීම ප්‍රතික්ෂේප කරන පුද්ගලයින්ගෙන් 50%ක් පමණම වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ඊට අමතරව මොවුන් ගම්පහ, මහනුවර, කල්මුණේ, පුත්තලම, ගාල්ල, කළුතර, මාතර, මඩකලපුව යන දිස්ත්‍රික්කවලින් ද වැඩි වශයෙන් වාර්තා වෙයි.

 

මැයි මාසයේ දී පළමු සරම්ප රෝගියා වාර්තා වූයේ කොළඹ ප්‍රදේශයෙනි. ඔහු සරම්ප එන්නත ලබා නොගත් තැනැත්තෙකි.

"මුල් අවධියේ දී වාර්තා වන රෝගීන් අතිබහුතරයක් එන්නත් ලබා නොගත් - අර කියපු ප්‍රතික්ෂේප කරපු කණ්ඩායම්වලින් තමයි වාර්තා වෙන්නේ. මොකද ඒ පවුල්වල කිසිම දරුවෙකුට එන්නත් දීලා නෑ. එතකොට එක දරුවෙක් [රෝගය] බෝකරගෙන ආවම පවුලෙ දරුවො හතර පහටම ඒක බෝවෙනවා," පැවසීය. 

නමුත් අනතුරුව මෙය තවමත් එන්නත ලබාගත නොහැකි වයසක පසුවන ළාබාල දරුවන්ට ද, එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබාගෙන ඇති වැඩිහිටියන්ට ද වැළඳෙයි.

 

2021 වසරට සාපේක්ෂව 2022 වසර තුළ දී ගෝලීය සරම්ප රෝගීන් සංඛ්‍යාව 18%කින් ද, සරම්ප මරණ සංඛ්‍යාව 43%කින් ද ඉහළගොස් තිබේ. 2021 වසරේ මරණවලින් බහුතරය ළමා මරණ ය.

එන්නත්කරණය වැදගත් වන්නේ ඇයි?

13 1

සරම්ප රෝගයෙන් වැළකී සිටීමට හා වෙනත් පුද්ගලයින්ට පැතිරීම වැළැක්වීමට ඇති හොඳම ක්‍රමය වන්නේ එන්නත්කරණය යි. සරම්ප එන්නත ආරක්ෂිත එන්නතකි. එය වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ඔබේ ශරීරයට උපකාර කරයි.

 

1963 දී සරම්ප එන්නත හඳුන්වාදීමටත්, පුළුල්ව එන්නත්කරණය සිදුකිරීමටත් පෙර සෑම වසර දෙක තුනකටම වරක් මහා පරිමාණයේ සරම්ප වසංගත තත්ත්වයක් පැමිණි අතර, ඒවායින් සෑම වසරක දීම මිලියන 2.6ක් පමණ දෙනා මියගියහ.

 

නමුත් වේගවත් ප්‍රතිශක්තිකරණ කටයුතු හරහා 2000-2021 අතර සමයේ දී සරම්ප මරණ මිලියන 56ක් සාර්ථක ලෙස වැළැක්වීමට හැකිවිය.

 

සරම්ප වැනි වසංගත රෝගයකට එරෙහිව සමූහ ප්‍රතිශක්තිය ලැබීමට එන්නත්කරණය උපකාරී වෙයි. සමූහ ප්‍රතිශක්තිය යනු රටක බහුතරයක් ජනතාවට යම් රෝගකාරක වෛරසයක බෝවීමට එරෙහිව ප්‍රතිරෝධීතාවක් දක්වන අවස්ථාව යි. 

 131599103 tv044987074

එවිට, අදාළ රෝගකාරකය රැගත් රෝගියෙකු සමාජයට පැමිණිය ද, බොහෝදෙනා එන්නත්කරණය හරහා ප්‍රතිශක්තිය ලබා ඇති බැවින් කිසිවෙකුටත් රෝගය නොවැළඳෙන අතර කිසිවෙකුත් රෝගය බෝ නොකරයි. යම් රටක වැඩි ජන ප්‍රතිශතයක් එම තත්ත්වය වෙත එළැඹි විට අදාළ වෛරසයේ ප්‍රචණ්ඩබව හා පැතිරීම පහත බසියි.

එන්නත් ලබාගත් පුද්ගලයන් මඟින් නිර්මාණයවී ඇති සමූහ ප්‍රතිශක්තිය හරහා රෝගය සඳහා එන්නත් ලබාගැනීමට නොහැකි තරම් ළාබාල දරුවන් ද, රෝගය වැළඳීමේ අනතුරට භාජනය වියහැකි අනෙකුත් තැනැත්තන් ද ආරක්ෂා වෙයි.

 

"ඔබේ ළදරුවා පැතිරයන සරම්ප රෝගයේ ගොදුරක් නොවන්නට, දැනුවත් සහ වගකිවයුතු දෙමව්පියන් ලෙස නොවරදවාම ඔබේ යුතුකම ඉටුකරන්නැ"යි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ඔබෙන් ඉල්ලා සිටියි.

 
amandaසටහන :
අමන්දා අබේසූරිය
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්