මිනිස්සු විවිධාකාරයි මිත්‍රයා...
ඒ විවිධත්වය නිසා ලස්සන දකින්න අපි පුරුදුවෙනව... කම්මැලිකම නැතිවෙනව... විවිධත්වය නැති වුනොත් මේ සමාජය ඒකාකාරී වෙනව.
අපි ජීවත් වෙන සමාජය ඒකාකාරීවෙන්නෙ… පොඩි කාලෙ ඉඳන් හුරුකරවන... බලකරවන ඉගැන්වීමත්.. සංස්කෘතියත්.. ආගමත් නිසා නෙවෙයිද.?
ඔව්... සැකයක් නැතිවම. නමුත් ඒ නීරස ඉගැන්වීමටත් ... බලකරන සංස්කෘතියටත් එරෙහිව යන මිනිස්සුයි ලෝකය රසවත් තැනක් කරන්නෙ. තව විදිහකට කීවොත් තමන්ට ඕනෙ විදිහට තමන්ගෙ ජීවිතේ ජීවත්වෙන මිනිස්සු බොහොම අපූරුයි ඇසුරු කරන්න.
ඒ අය තමන්ගෙ සමාගම ප්‍රිය කරන නිසාත් අපිත් ඒ අයගෙ සමාගම ප්‍රියකරනව.
ඒ කියන්නෙ රැඩිකල් මිනිස්සු.
අපොයි නෑ... රැඩිකල් කියන්නෙ තමන්ගෙ මතයෙ එල්බගෙන ඉන්න මූලධර්මවාදී කොටසක්. අළුත් විදිහට හිතන මිනිස්සුන් මොඩර්න් හෝ නවීන වෙන්න පුළුවන්. නමුත් ඒ අය වැඩිදෙනෙක් රැඩිකල් නෙවෙයි.
සිගරට් එකක් කටේ ගහගත්ත පලියට හෝ පාරට බැහැලා කෑගහපු පලියට ආසියානු ගෑණු දරුවෙක් රැඩිකල් වෙන්නෙ නෑ.
රැඩිකල් මිනිස්සු කියන්නෙ තමන්ගෙ මතය වෙනස් කරන්න සූදානම් නැති මිනිස්සු. ඒ අය හැම තිස්සෙම හිතන්නෙ තමන් නිවැරදියි කියල.
නමුත් තමන්ට ඕනෙ විදිහට ජීවත්වෙන මිනිස්සු ස්වාධීනයි... ඒ අය ලෝකය හදන කතංදර හෝ සමාජය ගොතන කතා ගැන කරදර වෙන්නෙ නෑ. ඒ එක්කම ඒ අය කැමතියි අන් අයට කන්දෙන්න... අළුත් දේවල් ඉගෙන ගන්න.... ඒක අනුගත වීමෙන් හෝ රැඩිකල් වීමෙන් වෙනස්.
අළුත් විදිහට හිතන මිනිස්සු කියන්නෙත් ස්වාධීන මිනිස්සුන්ටද..?
හැම විටම නෙවෙයි... අළුත් විදිහට හිතන මිනිස්සු එකට එකතුවෙලා කුඩා කොමියුනිටි හදාගන්නව. ඒ අය සමහරක් අන් අයගෙ අදහස් මත .. මිත්‍රත්වය මත... ආදරය මත යැපෙනව.
ස්වාධීන මිනිස්සු කියන්නෙ හුදකලාවෙ ඉන්න මිනිස්සු විතරක්ම නෙවෙයි. ඒ අය තනිකමට කැමතියි.!!
ඒක බොහොම කල්පනාවෙන් කතා කරන්න ඕනෙ කතාවක් මිත්‍රයා.
හුදකලාව කියන්නෙ බොහොම කල්පනාවෙන් කරන තේරීමක්... තනිකම කියන්නෙ තේරීමක් නැති අවස්තාවක්.
හුදකලාවෙ ඉන්න මිනිස්සු බොහෝවිට තනිවම ඉන්නෙ කලකිරීම නිසා නෙවෙයි.
වැඩිහිටියො වෙද්දි... ඒ කියන්නෙ වයසින් වැඩිහිටියො වෙද්දි නෙවෙයි.... කාලය හා අත්දැකීම් එක්ක අපි තේරුම් ගන්නව අපි හෝ මම හොයන්නෙ මොනවගේ ජීවිතයක්ද කියලා. කාලයත් එක්කම තේරුම් ගන්නව තමන්ගෙ ඉනර් සර්කල් එකට ඇතුල් වෙන්න දෙන්නෙ කාටද..? ඉනර් සර්කල් එකෙන් ඉවත් කරන්නෙ කාවද කියලා. කාලෙත් එක්කම අමුත්තන්ට වෙන්වුනු තමන්ගෙ මේසෙ තියන පුටු ගනන සීමා වෙනව. බොහොම පරිස්සමෙන් තමයි මේ ඉනර් සර්කල් එකට ඇතුල් වෙන කෙනාව තෝරගන්නෙ. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ සමාජ විරෝධී හෝ ඇන්ටි සෝශල් කියන එක.
ඕනෙම කෙනෙකුට ඕනෙම වෙලාවක ගෙදර දොර ඇරගෙන ඇතුල් වෙන්න දෙන එක සුදුසුයි කියල හිතනවද.?
සමාජයේ සම්මතයි කියන.. පවුල නැමැති ඒකකයට එකතු වෙන්න ඒකෙන් බාධාවක් නෑ. තවත් අය පවුල කියන බැදීමෙන් පවා මිදෙනව.
ඒ අය අවශ්‍ය වෙලාවට සමාජය කියන වෙලඳපලට ඇතුල් වෙනව. සිහිකල්පනාවෙන් ගණුදෙනු කරනව... සතුටු වෙනව... ඉන් පස්සෙ ආපහු සැරයක් තමන්ගෙ හුදකලාවට යනව. ඒ අය දන්නව තමන්ගෙ සමාගම එක්ක සතුටින් ඉන්න. හුදකලාවට ආදරේ කරන මිනිස්සු ජීවිතේ තනිවෙන්නෙ නෑ. සමාජයට... මිත්‍රසමාගමට ගියාම ඒ අයගෙ බැටරිය ඉක්මනින් ගෙවෙනව..... ආපහු සැරයක් තමන් එක්ක විතරක් සිටීමෙන් විතරයි ඒ අයට පුළුවන් බැටරිය ආයෙත් චාර්ජ් කරගන්න.
ඒ කතාව මෙතෙන්ට අදාලයි මම හිතන්නෙ.
සහතිකවම.
නමුත් මිනිස්සු විවිධාකාරයි. ඉන්ට්‍රොවර්ට් හා එක්ස්ට්‍රොවර්ට් දෙපිරිසට අමතරව තවත් අය ඉන්නව.
ඉන්ට්‍රොවර්ට් මිනිස්සුන්ට බැටරිය චාර්ජ් කරගන්න නම් තනියම ඉන්න වෙනව.
එක්ස්ට්‍රොවර්ට් මිනිස්සු ශක්තිය උරාගන්නෙ අවට සමාජයෙන්... අනිත් මිනිස්සුන්ගෙන්. ඒ අයට තනියම ඉන්න එක කරදරයක්... හිසරදයක්.
දැන් බැලුවොත්.... ගෙදරක තනියම ඉන්න කෙනෙක් සමාජ මාධ්‍යයට ගිහින් විනෝද වෙනව. සමහරු සමාජයෙන් වගේම සමාජ මාධ්‍යයෙනුත් හුදකලාවෙනව. මේ කාලෙන් කාලෙට වෙනස්වෙන සංකීර්ණ මාතෘකා.
හුදකලාව තුල තමන්ව .. තමන්ගෙ ඇතුලාන්තය හඳුනගන්න පුළුවන්... තමන්ට කන්දෙන්න පුළුවන්.
හුදකලාව තුල සතුටින් ඉන්න මිනිස්සු රසවත්.... හැබැයි පිරිසක් මැද තනිවෙන මිනිස්සු බොහොම අසරණයි.
Being “alone” is a physical state where you are physically by yourself. Being “lonely” is an emotional state where you are feeling alone or disconnected from others – even when they're right next to you.
තමන්ට තමන් එක්ක ඉන්නකොට සතුටින් ඉන්න බැරිනම් තවත් කෙනෙක් එක්ක හෝ පිරිසක් එක්ක ඉන්නකොට සතුටු වෙන්න බෑ. සතුට රඳාපවතින්නෙ තමන් මත මිස අන් අය මත නොවෙයි කියල තේරුම් ගත්ත මිනිස්සු ජීවිතය විඳිනව.
මිනිස්සු විවිධාකාරයි. ඒ විව්ධාකාර මිනිස්සු නිසා සමාජය ලස්සන තැනක් වෙනව.
ඒක පරණ දෙබසක්.... පරණ දෙබස් මතක් කරමින් ලියන එක විනෝදයි.
කාලය ගතවෙනව... ආදරය කරපු... එකට විනෝදවුනු මිනිස්සු එකිනෙකා යන්න යනව.
ඒ දිහා බලන් ඉන්න අපිට සිද්ධ වෙනව.
ඒ දිහා උපේක්ශාවෙන් බලාගෙන ඉද්දි තනිවම දරාගන්න අපි ඉගෙන ගන්නව.
මේ වගේ හිමවැටෙන දවසක් අපූරුයි කබා සාක්කුවේ අත්දෙක ඔබාගෙන ඇවිදින්න යන්න.
ඒත් එක්කම කෝපි කෝප්පයක් ලඟින් තියාගෙන පරන කතංදර ලියන්නත් මීට වඩා හොඳ කාලයක් තවත් නෑ.
එලියෙ තියන බුදු පිලිමෙ හිමෙන් වැහිල යද්දි ඇතුලෙ තියන ශිව පුරුදු නටරාජා ඉරියව්වෙන් බලා ඉන්නව.
හුදකලාව... කණ්ඩායම්.. සමාජය.. සමාජ මාධ්‍යය.. රැකියා... යාළු මිත්‍රයො... දරුවො.. දෙමව්පියො..ආගම්... ඇදහීම්... සංස්කෘතීන්... යුද්ධ... ගැටුම්... මේ හැමදේම මැද්දෙ කාලය ගෙවෙනව.
Loneliness is the poverty of self; solitude is the richness of self.
(Malcolm Sang)
Malcolm Sang ෆේස්බුක් පිටුවෙන් ...