ප්‍රේමයයි වෛරයයි අතරේ
වෙනස කෙස් ගසකට සම යි
බිඳුණු  දා පූජාව ප්‍රේමයෙ
ඔහුගෙ ආගම වෛරය යි


පහන් ටැඹ දල්වනු ලැබූයේ
පහන් ටැඹ හිමිකාරයා//
එහෙත් ඒ එළියෙන් දිනන්නේ
සමුදුරේ නැව්කාරයා

 
ප්‍රේමයයි වෛරයයි අතරේ...
 
අසනු කෙලෙසේ පහන් ටැඹකින්
එළිය කෙනෙකුට බාර දෙයි//
එතැන් හිඳ කඳුළක්ව එන්නේ
උරුමය යි ඒ වෛරය යි


 

 ප්‍රේමයයි වෛරයයි අතරේ...

 මේ ගීතයේ පදරචනය ප්‍රෙම කීර්ති ද අල්විස්ගෙනි. තනුව යොදා සංගීතවත් කර ඇත්තේ ලෙස්ලි අසෝක වන අතර ගායනා කර ඇත්තේ යමුනා විනෝදනී ය.
 
ලිපිය ආරම්භයේ දී ම මෙම ගීතය උපුටා දැක්වුව ද මතු ලිවීමට සැරසෙන්නේ මේ ගීතය පිළිබඳ විග්‍රහයක් නොවේ; එහෙත් මෙය ඇතැම් තැනෙක උදාහරණයක් ලෙස ද දැක්විය හැකි ය. අනෙක් පසින් මෙහි පළමු පදයේ ‘‘ප්‍රේමයයි වෛරයයි අතරේ’’ වෙනුවට ‘‘සම්මතය සහ අසම්මතය අතර’’ යැයි යොදා දෙවන පදය ලෙස ‘‘වෙනස කෙස් ගසකට සම යි’’ යනුවෙන් යෙදුව ද එහි සමානත්වයක් ඇතැයි ඒත්තු ගැන්වීම සඳහා ය.

 එම අදහස සිතට නැගුණේ ද මතු දැක්වෙන ගීතය: පළමුව නරඹා, දෙවනුව විඳ, තෙවනුව ඒ සම්බන්ධයෙන් අන්තර්ජාලය පුරා සංසරණය වූ විවිධාකාරයේ අදහස් සම්පිණ්ඩනය කිරීමෙන් අනතුරුව ය.
 
ගීතය නම් කර තිබුණේ ‘‘අන්සතු ඔබ වෙත’’ යනුවෙනි. මෙහි රචකයා රුෂාන් සිල්වා ය. සංගීතය ළහිරු ද කොස්තා වන අතර: තනුව, සහ ගායනය තිසර වීරසිංහගෙනි. රූප රචනය නිම්න දෙව්පුර සතු ය.




පළමුව පදරචනය පිළිබඳ අවධානය යොමු කරමු.


Rushan Silvaපදරචක - රුෂාන් සිල්වා

 

අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා
ඔබ ගැන සෙනෙහස හිත තුළ පිරිලා
සම්මතයෙන් පිට ප්‍රේමෙක වෙළිලා
මග හැර යන්නට බැරි ලෙස බැඳිලා


සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවෙනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී


ලොවටම රහසේ සිහිනෙක දැවටී
ඔබ ළඟ සැතපී මම සුව විඳිමී
වරදාක් නොකර ම වරදෙහි බැඳුණී
සිත සනසාගෙන දුර හිඳ විඳිමී


සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී


අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා
ඔබ ගැන සෙනෙහස හිත තුළ පිරිලා
සම්මතයෙන් පිට ප්‍රේමෙක වෙළිලා
මග හැර යන්නට බැරි ලෙස බැඳිලා


සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී
 

ගීතයේ වදන් සරල ය; සුගම ය. වදන් එකතුවෙන් කියවෙන අරුත ද නොගැඹුරු ය. අනුභූතිය ද සුලබ ය. මෙම අනුභූතිය උපස්තම්භක කරගනිමින් ලියැවී ඇති ගීත ප්‍රමාණය ද බහුල ය.

එසේ නම් එවන් වාතාවරණයක් තුළ මෙම ගීතය මෙතරම් ජනප්‍රියත්වයට පත්වූයේ කෙසේ ද යන්න ගීතය ශ්‍රවණය කළ රසික ප්‍රජාවට මෙන් ම ශ්‍රවණය කරන අතර නැරඹූ හෝ නරඹන අතර ශ්‍රවණය කළ ප්‍රේක්ෂක ප්‍රජාව ද විමතියට පත් නොවූවා යැයි අනුමාන කළ නොහැකි ය. නමුදු එය එසේ සිදුවී තිබේ. එහි රහස කුමක් ද?
 
ගීතයක/ ගී පද රචනයක කොටස් දෙකක් පවතින බව සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ ඕනෑම පුද්ගලයෙක් මෙන් ම අසන නරඹන බොහෝ දෙනෙක් ද දන්නා කරුණකි. ‘‘අන් සතු ඔබ’’ ගීතය අසා එය ලිවීමේ දී යට සඳහන් ආකාරයට කොටස් හයක් ලෙස දක්නට ලැබුණ ද සැබැවින් ම මෙම ගීතය  සමන්විත වන්නේ යට සඳහන් ආකාරයේ කොටස් දෙකෙන් පමණි.

එහෙත් එහි යම් වෙනසක් පවතී. එනම් මෙම ගීතය ගායනා කිරීමේ දී ස්ථායී කොටස් දෙකකින්  (Chorus) සහ අන්තරා කොටස් (Verse)  එකකින් පමණි. මෙය ද එක්තරා අසම්මත විධික්‍රමයකි. මතු දැක්වෙන්නේ එසේ ලියැවී ඇති කොටස් දෙකට අයත් පද රචනය යි.
 


අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා
ඔබ ගැන සෙනෙහස හිත තුළ පිරිලා
සම්මතයෙන් පිට ප්‍රේමෙක වෙළිලා
මග හැර යන්නට බැරිලෙස බැඳිලා

 
සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී

 
ලොවටම රහසේ සිහිනෙක දැවටී
ඔබ ළඟ සැතපී මම සුව විඳිමී
වරදාක් නොකර ම වරදෙහි බැඳුණී
සිත සනසාගෙන දුර හිද විඳිමී

මෙම පද රචනය ගායනයේ දී සම්මතයෙන් පරිබාහිර ලෙස ගායනා කර ඇති බව පැහැදිලි ය.

එනම්, සාමාන්‍ය ආකාරයට නම් ගීතයක පෙර වාදනයෙන් (Introduction) පසු ගැයෙන ස්ථායී කොටසෙහි අන්තර්ගත වන්නේ පද හතරකි. නමුදු බොහෝ අවස්ථාවල එම පද හතර ම දෙවතාවක් ගායනා කෙරේ.

අන්සතු ඔබ ගීතය එකී සම්ප්‍රදායෙන් පිට පැන එකී ස්ථායි කොටස වෙනුවෙන් පද අටක් වෙන් කර ඇත. මතු දැක්වෙන්නේ එකී පද අට ය.

 
අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා
ඔබ ගැන සෙනෙහස හිත තුළ පිරිලා
සම්මතයෙන් පිට ප්‍රේමෙක වෙළිලා
මග හැර යන්නට බැරි ලෙස බැඳිලා

 
සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී


 
වෙනත් ගීතවල මෙන් මෙම ගීයේ දෙවනුව ගැයෙන අන්තරා කොටස් දෙකක් (පද රචනයේ සඳහන් වුව ද) නොමැත. මෙහි දී සිදු කෙරෙන්නේ එකී එක් අන්තරා කොටස සහ පළමු ස්ථායී කොටස් දෙක නැවතත් ගායනා කිරීම ය. ගීතයේ (පද රචනයට අනුව) අන්තරා කොටස් දෙකක් සඳහන් වුව ද ගායනයේ දී එය අපට මුණ ගැසෙන්නේ මතු දැක්වෙන පරිදි ය. එනම් තනි කොටසක් ලෙස ය.
 
ලොවටම රහසේ සිහිනෙක දැවටී
ඔබ ළඟ සැතපී මම සුව විඳිමී
වරදාක් නොකර ම වරදෙහි බැඳුණී
සිත සනසාගෙන දුර හිද විඳිමී
 
එසේ වුව ද ගායනයේ දී මෙම කොටසෙන් ඉක්බිති යළි ස්ථායී කොටසේ පළමු පද හතර ද දෙවන පද හතරද ගායනා කෙරෙන්නේ පද කාණ්ඩ මාරු කරමිනි. ඒ මතු දැක්වෙන පරිදි ය.
 
 
සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී

 
අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා
ඔබ ගැන සෙනෙහස හිත තුළ පිරිලා
සම්මතයෙන් පිට ප්‍රේමෙක වෙළිලා
මග හැර යන්නට බැරි ලෙස බැඳිලා

 
සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී
මේ වෙනස ගීතය ශ්‍රවණය කිරීමේ දී හෝ නැරඹීමේ දී එතරම් නොදැනෙන්නට පිළිවන. නමුදු ගීතය කියවාගන්නා විට මෙකී වෙනස ඉතා මැනවින් ග්‍රහණය කරගත හැකි ය. එනම් පළමුව ස්ථායි කොටස ගායනා කිරීමේ දී ගැයෙන්නේ,
 
අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා
ඔබ ගැන සෙනෙහස හිත තුළ පිරිලා
සම්මතයෙන් පිට ප්‍රේමෙක වෙළිලා
මග හැර යන්නට බැරි ලෙස බැඳිලා
ලෙස වන අතර දෙවනුව යළි ස්ථායි කොටස ගයද්දී එහි දෙවන කණ්ඩය වන,
 
සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී
නමැති කොටස ගයයි.

ඒ අනුව ගත් විට මෙම ගීතයේ ගායනය ද සම්මතයෙන් පරිබාහිර බව දැන් ඔබට වැටහෙනු ඇත. නමුදු ගීතය ශ්‍රවණය කිරීමේ දී හෝ ගීතය සමග මුසුව ඇති රූප රචනය නැරඹීමේ දී මෙය නොවැටහේ.


thisaraගායනය - තිසර වීරසිංහ
 

 ශ්‍රාවක ප්‍රජාව හෝ ප්‍රේක්ෂක ප්‍රජාව වශීකෘත වී සිටින්නේ ගීතයේ ගායනයට ය. මන්ද එය හුදු ගායනයක් ම පමණක් නොව පද රචනයේ අන්තර්ගත ප්‍රේමයේ අති සංවේදීභාවය වඩාත් ඔප්නංවන්නට තිසර වීරසිංහගේ ගායන විලාසය සහ සංගීත සංකලනය ප්‍රබල දායකත්වයක් සපයන බැවිනි.

ඇතැම් විට යට සඳහන් ආකාරයට ස්ථායි කොටසෙහි සහ අන්තරා කොටසෙහි වෙනසක් සිදු කරන්නට ඇත්තේ ද එකී සංවේදීභාවය වඩ වඩාත් උද්දීපනය කිරීමට විය හැකි ය.
 
වචන ගොන්නක් පද කිහිපයකට වෙන් කර ලියුව ද එකී පද කිහිපයෙහි අන්තර්ගත කුමන හෝ භාව ප්‍රකාශනයක් අති සංවේදී ලෙස ඉදිරිපත් කළ හැකි වන්නේ තනුව, සංගීත සංකලනය සහ ගායනය ද පද රචනාව සමග අත්වැල් බැඳගෙන එක මග ගමන් කරන්නේ නම් පමණි.

මෙම ගීතය ඉදිරිපත් කිරීමේ දි එකී සිවු ප්‍රපංචය ම එකම මගක එකට අත්වැල් පටලා ගමන් කිරීම හේතුවෙන් පද රචකයාගේ අභිප්‍රාය මැනවින් ඉටු වී ඇතැයි යන්න මගේ පුද්ගලික හැඟීම ය.

 

දැන් ගීතයට අදාළ රූප රචනය කියවාගන්නට උත්සාහ කරමු.
 
Nimnaඅධ්‍යක්ෂණය හා රූප රචනය - නිම්න දෙව්පුර

 
රූප රචනයට අදාළ ගීතය ආරම්භයේ දී ම එහි වෙනසක් සිදු කර ඇත. එනම් රූප රචනය රහිත (Audio) ගීතය ආරම්භයේ දී ඇසෙන ත්‍රී රෝද රථයේ ඇරඹුම (රථය පණගන්වන හඬ) ඇසෙන්නේ පෙර වාදනයේ (Introduction)  එන ලීඩ් ගිටාරයේ හඬ සමග ම ය.

නමුත් රූප රචනයට අදාළ කරගන්නා ගීතයේ දී පළමුව ඇසෙන්නේ ත්‍රී රෝද  රථයේ පණ ගැන්වීම පමණි. එම ඇරඹුම් හඬ ද දෙයාකාර ය. එනම් රූප රචනය රහිත ගීතයේ දී ඇසෙන්නේ පෙට්‍රල්වලින් ධාවනය කෙරෙන ත්‍රී රෝද රථයක් පණ ගන්වන හඬ වුව ද රූප රචනය සහිත ගීතයේ දී ඇසෙන්නේ ඩීසල්වලින් ධාවනය වන ත්‍රී රෝද රථයක් පණ ගන්වා මඳ දුරක් ගමන් කරන හඬකි.

එසේ නම් රූප රචනයට පෙර ම ගීතය සඳහා සංගීත සංකලනය නිර්මාණය කළ සංගීත ශිල්පියා ත්‍රී රෝද රථයක් පණ ගන්වන හඬ උපස්තම්භක කරගත්තේ පද රචකයාගේ අවශ්‍යතාව මත ද, ගායන ශිල්පියාගේ අදහසක් මත ද, එසේත් නොමැති නම් එය සංගීත ශිල්පියාගේ පරිකල්පනීය සංකල්පයක් ද යන්න අවිනිශ්චිත ය.

කෙසේ වුව ද රූප රචකයා හට සිය පරිකල්පනීය සංකල්පය වඩාත් තීව්‍ර කරගන්නට පළමු ගීතයේ (Audio) එන ත්‍රී රෝද රථය පණ ගන්වන හඬ බලපාන්නට ඇති බව විශ්වාස කළ හැකි ය.
 
රූප රචනය රහිත ගීතයට සවන් දීමේ දී ගීතයේ කථකයා හෝ කථකාව නිශ්චිත නොවනවා සේ ම රූප රචනය සහිත ගීතයේ දී ද ගීතය ඉදිරිපත් කරන්නේ කවුද යන්න අපැහැදිලි ය. නමුදු එය දෙදෙනාගේ ම පොදු අදහස බව පැහැදිලි ය. එනම් ගීතය ඉදිරිපත් කරන්නේ කථකයා සහ කථකාව එක්ව බව පැහැදිලි ය.

 
දෙදෙනා ම අසම්මත පෙමක බැඳී සිටින බව පද රචකයා පැවසුව ද, ‘‘සම්මත සහ අසම්මත’’ (යැයි කියවෙන) රේඛාව ඇඳී තිබෙන්නේ කෙසේ ද කොතැන ද යන්න අපැහැදිලි වුව ද රූප රචනයේ දී කාන්තාව විවාහක බවත්, ඇය මවක බවත්, පුරුෂයා අවිවාහක බවත් පැහැදිලි කෙරේ. ඒ සඳහා රූප රචකයා සංකේත කිහිපයක් ම භාවිත කරයි.
 
 
පළමු සංකේතය වන්නේ පුරුෂයා ත්‍රී රෝද රථයට ගොඩවන්නේ කඩිමුඩියේ වීම ය. එනම් ඔහු වගකීම් රහිත හෝ අවම පුද්ගලයෙකු බව සංකේතවත් කරමිනි. ඒ, ඔහු කමිසයේ අත් නැවීම පවා සිදු කරන්නේ ත්‍රී රෝද රථයට ගොඩවීමෙන් ඉක්බිති ය. තවත් සරලව පවසන්නේ නම් ඔහු අවිවාහක, තාවකාලික නවාතැන් පොළක වෙසෙන්නෙක් බව එයින් ගම්‍ය කෙරේ. ඇතැම් විට මේ පෙම් සබඳතාව නොවන්නට ඔහු රැකියාව සඳහා පිටත්ව යාම මීටත් පමා විය හැකි ය.
 
එය වඩාත් පැහැදිලි කෙරෙන දෙවන සංකේතය වන්නේ කාන්තාව ඔහු වෙත ලබා දෙන පාන් අඩංගු කෑම බහාලනය යි. එනම් පුරුෂයා විවාහක නම් බොහෝ විට ඔහුට නිවසෙන් කැම පාර්සලයක් ලැබේ. නමුදු මොහු පෙර දින තමා වෙත ලද ආහාර බහාලනය හැර අවම වශයෙන් ගමන් මල්ලක් මතු නොව ලිපි ගොනුවක් හෝ අත නොරැඳි පුද්ගලයෙකි.

එය තවත් යමක් සංක්තවත් කරයි. එනම් උදෑසන මෙම යුවළ හමුවී මඳ දුරක් හෝ එකට ගමන් කළ ද රාජකාරිය නිමවී ආපසු එන විට ඔවුනොවුන් හමු නොවෙන බවයි. එසේ වූවා නම් පෙර දින ලබාගත් කැම සහිත බහාලනය හිස් බහාලනයක් ලෙස කාන්තාවට බාර දෙන්නේ රාජකාරි අවසන්ව එන විට ය. ඔහු කිසියම් ආයතනයක ලිපිකරුවෙක් හෝ ඊට වඩා ඉහළ නිලයක් දරන පුද්ගලයෙක් බව ද ඔහුගේ කමිස සාක්කුවේ රඳවා ඇති පෑන සාක්ෂි දරයි.
 
බොහෝ විට අනියම් යැයි සම්මත සබඳතා ඇතිවන්නේ එකම ආයතනයක් තුළ යැයි මතයක් පැවතිය ද රූප රචකයාගේ සංකල්පයට අනුව මෙම යුවළ සේවයෙහි නිරත වන්නේ ආයතන දෙකක ය. එය සංකේතවත් කෙරෙන්නේ කාන්තාව පළමුව ත්‍රී රෝද රථයෙන් බසින ආකාරය කැමරාවට හසු කරගැනීමෙනි.
 
එය එසේ නොවේ ය, දෙදෙනා එක ම ත්‍රී රෝද රථයක පැමිණ එක විට කාර්යාලය ඉදිරියේ දී බැසගත හොත් දෙදෙනාගේ සම්බන්ධය අනෙකෙකු දැනගන්නා බැවින් වෙන වෙන ම පැමිණෙන්නේ යැයි කිසිවකු තර්ක කළ හැකි ය. නමුදු රුප රචකයා එකී තර්කය ඉතා සුක්ෂම අන්දමින් ඛණ්ඩනය කර ඇත. ඒ, කාන්තාව ත්‍රී රෝද රථයෙන් බැසීමෙන් ඉක්බිති පාර මාරුවන ආකාරය නොපෙන්වා පුරුෂයා කාන්තාව සමුගෙන යන ආකාරය සංවේගයෙන් යුතුව බලා සිටීම සහ පුරුෂයා ත්‍රී රෝද රථයෙන් බැස පාර මාරු වන ආකාරය ඉදිරිපත් කිරීමෙනි.

 
පද රචනයේ එක් තැනෙක ‘වරදාක් නොකර ම වරදෙහි බැඳුණී’ යනුවෙන් යෙදේ. එයින් හැඟෙන්නේ මේ මොහොත වන විට දෙදෙනා අතර අධ්‍යාත්මික බැඳීමක් පැවතිය ද ලිංගික සබඳතාවක් දක්වා දුර දිග ගොස් නොමැති බව යි. නමුදු ඔවුනොවුගේ ශරීරය එය ඉල්ලා සිටින බව ත්‍රී රෝද රථය තුළ දී දෙදෙනාගේ හැසිරීම සාක්ෂි දරයි. පුරුෂයාගේ කමිස කොලරය සැකසීම, හිස අතගා කොණ්ඩය සැකසීම අධ්‍යාත්මික බැඳීම සංකේතවත් කෙරෙන අතර කාන්තාව පුරුෂයාගේ අතිනත පටලවා ගැනීම, ඔවුනොවුන් වඩ වඩාත් සමිප වීම, පුරුෂයා සිය කොපුලක් කාන්තාවගේ පිට අත්ලේ ස්පර්ශ කිරිම යනාදියෙන් සංකේතවත් කෙරෙන්නේ යට කී ලිංගික ලාලසාව යි. ඒ, ආදරයේ අවසන් ඵලය වන ලිංගික සම්භෝගයේ අවශ්‍යතාව දෙදෙනාගේ ම ශරීරාභ්‍යන්තරය ඉල්ලා සිටින බවයි.


එහෙත් පද රචකයා පවසන්නේ ‘වරදාක් නොකර ම වරදෙහි බැඳුණී’ යනුවෙනි. එනම් සමාජ සම්මතයට අනුව ආදරයෙන්/ප්‍රේමයෙන් බැඳුණ කාන්තාවක් සහ පුරුෂයෙක් වරදකරුවකු හෝ වරදකාරියක වන්නේ ලිංගික සම්භෝගයේ යෙදුණහොත් පමණක් ය යන්න ය. එය සමාජය කෙතරම් දුරට අනුමත කරන්නේ ද නැද්ද යන්න වෙනම සාකච්ඡා කළ යුතු ය.

 සැබැවින් ම එය එසේ විය හැකි යැයි අනුමාන කළ ද බොහෝ විට සමාජය එවන් දෙපළක් ලෙස බලන්නේ සහ ඔවුන් පිළිබඳ කතා කෙරෙන්නේ ‘‘එක මිනිහෙක් මදි ද මන්දා’’ හෝ ‘‘අරූට යන යන තැන ගෑනු’’ යනුවෙනි. එසේ පවසන ගැහැනු හෝ පිරිමි (බහුතරයක් පිරිමි) එබඳු සබඳතා නොපවත්වන්නේ ද, නොපවත්වා තිබේ ද යන්න ඔවුනොවුන්ගේ හෘද සාක්ෂියට එකඟව විමසා බැලිය යුතු ය.
 
තාවකාලිකව වුව ද දෙදෙනා අතර පවත්නා සබඳතාව කෙතරම් ප්‍රබල ද යන්න කදිමට සංකේතවත් කරන්නට රූප රචකයා සමත්ව ඇත. ඒ, කාන්තාව ත්‍රී රෝද රථයෙන් බැස යාමට තැත් කරන මොහොතේ පුරුෂයාගේ හැඟීම් සහ ක්‍රියාකාරකම් මැනවින් කැමරාවට හසුකර ගැනීමෙනී. කාන්තාව බැස ගිය පසු පුරුෂයාට දැනෙන තනිකම ද ඉතා මැනවින් ඉදිරිපත් කර ඇත.
 
 
වඩාත් විවාදාත්මක අවස්ථාව එළඹෙන්නේ පුරුෂයා ත්‍රී රෝද රථයෙන් බැස ගිය සැණින් එයට ගොඩවන පුද්ගලයා (ගායන ශිල්පියා) කවුද යන්න පිළිබඳව ය. බොහෝ විට මෙවන් අවස්ථාවක් පද රචකයා හෝ ගායකයා ද බලාපොරොත්තු නොවන්නට ඇත. එය රූප රචකයාගේ සංකල්පයේ ම පමණක් අන්තර්ගතව පැවති අදහසක් විය හැකි ය. කෙසේ වෙතත් ඒ අවස්ථාව ආකාර කිහිපයකින් ම කියවාගත හැකි ය යන්න මගේ පුද්ගලික හැඟී ම ය.
 
 

1. සමස්ත රූප රචනය පුරා ම මතු කෙරෙන්නේ ජීවිතය පුරාම පවත්නා තාවකාලික හමුවීම් සහ වෙන්වීම් ය. ඒ හමුවිම ත්‍රී රෝද රථ රියදුරාට ද, පෙම් යුවළට ද, පසුව ගොඩවෙන මගියාට ද පොදු කරුණකි. එමෙන් ම පුද්ගලයෙක් වෙතින් තවත් පුද්ගලකේ වෙන්ව ගිය පසු යළි කිසිවකු නොසිතන පරිදි ඒ දෙදෙනාට ම නොවුණ ද එක් අයෙකුට හෝ යළි කිසිවකු මුණ ගැසිය හැකි ය; මුණ ගැසේ යැයි බලාපොරොත්තුවෙන් තම ජීවන ගමන යා හැකි ය.
 

2. ඇතැම් විට ත්‍රී රෝද රථයේ ගමන් කරන්නේ අනියම් සබඳතාව පවත්වන යුවළ නොව අදාළ කාන්තාවගේ ස්වාමියා විය හැකි ය. තම බිරිඳ තවත් පුරුෂයකු සමග අනියම් යැයි සම්මත පෙමක පැටලී, එකම ත්‍රී රෝද රථයක අතිනත පටලා, පෙමින් වෙළී යනු ඇත්තේ මෙසේ යැයි ඔහු උපකල්පනය කරනු ඇත. එය හුදු සිතුවිල්ලක් පමණක් යැයි අවසන ඔහුට ඒත්තු යනවා වන්නට ද ඇත.
 

3. එසේත් නොවේ නම් ත්‍රී රෝද රථයේ මෙම ගීතය වාදනය වනවා වන්නට ඇත. එවිට එහි ගමන් කරන පුරුෂයා තමන් පිළිබඳව ම හෝ තම බිරිද පිළිබද මේ ආකාරයට සිතනවා විය හැකි ය. පෙම් යුවළ ත්‍රී රොද රථයෙන් බැස යන තුරු මගියා ශරිරයෙන් ත්‍රී රෝද රථය තුළ සිටිය ද ඔහු මනසින් සිට ඇත්තේ වෙනත් තැනෙක විය හැකි ය. පෙම් යුවළ බැස ගිය පසු (ඔහුගේ මනසෙන්) ඔහු යළි පියවි සිහියට පත්වෙන ආකාරය පිළිබිඹු කළා ද විය හැකි ය.

 

මගේ පුද්ගලික: අදහස, විඳීම හෝ කියවීම මෙය වුව ද තවකෙකුගේ: අදහස, විඳීම හෝ කියවීම මීට සපුරා වෙනස් වන්නට පිළිවන. ඒ කෙසේ වුව ද ගීතයක් නරඹා විඳීමට වඩාත් රුචිකත්වයක් දක්වන මා ගීතයක් අසා, ඊට අදාළ රූප රචනයක් නරඹා එය පද රචනය ඉක්මවා යන රුප රචනයක් ලෙස දුටු පළමු අවස්ථාව මෙය බව පැවසිය යුතු ම ය. තනි ගීතයක් සහ ඊට අදාළ රූප රචනයක් පිළිබද මෙතරම් දිගු ලියවිල්ලක් සිතට නැගුණේ ද එකි ප්‍රබලත්වය හේතුවෙනි.
 
මා මෙම ලිපිය ආරම්භ කළේ කිසියම් පැනයක් නගා එයට පිළිතුරක් සැපයීමේ අටියෙනි. පැනය නම් ‘‘මෙම ගීතය මෙතරම් ජනප්‍රියත්වයට පත්වූයේ කෙසේ ද යන්න ගීතය ශ්‍රවණය කළ රසික ප්‍රජාවට මෙන් ම ශ්‍රවණය කරන අතර නැරඹූ හෝ නරඹන අතර ශ්‍රවණය කළ ප්‍රේක්ෂක ප්‍රජාව ද විමතියට පත් නොවූවා යැයි අනුමාන කළ නොහැකි ය. නමුදු එය එසේ සිදුවී තිබේ. එහි රහස කුමක් ද?’’ යන්න ය.
 
ඊට අදාළ සරල පිළිතුර නම් ගීතයේ අනුභූතිය වඩාත් සුපැහැදිලි ලෙස රසික ප්‍රජාවට මතු නොව ප්‍රේක්ෂක ප්‍රජාව වෙත සමීප කරවන්නට මෙහි රූප රචකයා සහ අධ්‍යක්ෂකවරයා වන නිම්න දෙව්පුර දක්වා ඇති සමත්කම ය. එය වඩාත් ස්ඵුට වන්නේ Audio පටය සහ Video පටය නරඹා ඇති පිරිස සංසන්දනය කිරීමෙනි.
 
අවසන් වශයෙන් පැවසිය යුත්තේ යොහානි විසින් ගයන ලද ‘‘මැණිකේ මගේ’’ ගීතයට වඩා සිය දහස් ගුණයක වින්දනයක් මෙම ගීතය ශ්‍රවණය කර සහ ඊට අදාළ රූප රචනය නරඹා ලැබූ බවයි.

 

 
 


jayasiri 04 e1619629387941.jpg(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
2021/11/27  
 





සබැඳි ලිපි :

අන්සතු ප්‍රේමය හරිහැටි දැකීම - Faculty of Sex

'අන්සතු ඔබ' වයිරල් වෙයි -දහස් ගණනක හිත් රිද්දයි

 

 


THE  LEADER  TV

 

පී.බී ගේ පදයට නැටවෙන ජනාධිපති රූකඩයක් ! | Gossip
 

 
  
බීප්... බීප්... ජාතකය ! | මොණරවිලගේ ලියමන
 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්