සිය සොයුරු විලියම් කුමරු තමාට පහරදුන්නේයැ යි හැරී කුමරු ප්‍රකාශ කළබවට ගාඩියන් පුවත්පත

වාර්තා කොට තිබේ. ගාඩියන් පුවත්පත පවසන්නේ සසෙක්ස් ආදිපාද හැරී කුමරුගේ මතක සටහන් අඩංගු 'ස්පෙයා' හි (Spare) නම් කෘතියේ පිටපතක් ඔවුන් දුටුබව යි.

හැරීගේ බිරිඳ මෙගන් සම්බන්ධයෙන් සොහොයුරන් දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් කෘතියෙහි වන බව එහි වැඩි දුරටත් සඳහන්ය.

"ඔහු මගේ කමිස කොලරයෙන් අල්ලගෙන, මාගේ බෙල්ලේ පළඳනාව ඉරලා, මම බිම වැටෙන විදියට පහර දුන්නා " ගාඩියන්, හැරී කුමරුන් උපුටා දක්වා තිබේ.
කෙසේ වෙතත් කෙන්සිංටන් මාළිගාව හා බකිංහැම් මාළිගාව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙන් වැළකී සිටියේය.

sdtrw

'ඕනෑම මතභේදාත්මක ප්‍රකාශයකට ප්‍රතිචාරයක් නොදැක්වූ විට එය වේගයෙන් අතුරුදන් වනු ඇතැයි' යන උපායමාර්ගය වත්මන් වේල්ස්හි කුමරු වන විලියම්ගේ හා තුන්වන චාල්ස් රජුගේ මාළිගය විසින් ගෙන ඇති බව පෙනෙන්නට තිබේ.

කෙසේ වෙතත් මේ අතර ITV සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවක පුර්ව ප්‍රචාරක පටයක දර්ශන වල, මැයි මාසයේ දී පැවැත්වෙන රජුගේ රාජාභිෂේකයට සහභාගීවීමට පොරොන්දුවීම හැරී ප්‍රතික්ෂේප කර ඇති බව දක්නට ලැබුණි.

"අදත්, ඒ දවස අතරත් බොහෝ දේවල් සිද්ධ වෙන්න පුළුවන් " පවසන ඔහු, "බෝලය තියෙන්නේ [රාජකීය පවුලේ] පිටියේ" යි එහිදී පවසයි.

හැරීගේ මතක සටහන් සහිත මෙම ග්‍රන්ථය මීළඟ අඟහරුවාදා (ජන. 10) තෙක් ප්‍රකාශයට පත්වීමට නියමිත අතර කෘතිය නිකුත් වීමට පෙර පැවතී දැඩි ආරක්ෂක ක්‍රියාමාර්ග මධ්‍යයේ පවා තමන් පිටපතක් එය ලබාගැනීමට සමත්වූබව ගාඩියන් පුවත්පත පවසයි.

BBC ප්‍රවෘත්ති සේවය තවමත් 'ස්පෙයා' කෘතියේ පිටපතක් දැක නැත.

කෙසේ වෙතත්, මෙම ග්‍රන්ථය එහි අපේක්ෂිත ප්‍රකාශන දිනයට දින පහකට පෙර පෙර ස්පාඤ්ඤයේ විකිණීමට තිබුණි - එය 'එන් ලා සොම්බ්‍රා', එනම් "සෙවණැලි අතර" ලෙස පරිවර්තනයට ලක්ව තිබුණි.

එක්සත් රාජධානියේ පොත් සාප්පු පවසා සිටින්නේ, මෙම ස්වයංචරිතාපදානය නිසි දිනට කලින් ප්‍රකාශයට පත් නොකරන බවට සැලකිලිමත්වන්නැ'යි දැඩි නීති පැනවී ඇති බවකි.

ගාඩියන් පුවත්පතට අනුව, 2019 වසරේදී විලියම් හැරීගේ ලන්ඩන් නිවසේ දී හැරීට පැවසූ ඇතැම් කරුණු හේතූවෙන් මෙම ආරවුල ඇතිවී තිබෙන බව කියවේ.

තමා හා මෙගන් මාක්ල්ගේ විවාහය තම සොයුරා විවේචනය කළබවත්, විලියම් ඇය "[ආශ්‍රය කිරීමට] දුෂ්කර", "අවිනීත", හා "රළු" තැනැත්තියක ලෙස හැඳින්වූබවත් හැරී මෙම කෘතියේ ලියා තිබෙන බව පුවත්පත පවසයි.

මෙම ආරවුල උත්සන්නවීමත් සමග, ඔහුගේ සහෝදරයා "පුවත්පත්වල පළ කෙරෙන විස්තරයන් ගිරවෙකු මෙන් කියවන්නට පටත්ගත්බව" ඔහු ලියා ඇතැ යි වාර්තා වේ. ඉන්පසුව ඔහුට සිදුවූ කායික පහරදීමක් ඇතුළු අනෙකුත් සිදුවීම් මෙහි හැරී විස්තර කරන බව පැවසෙයි.

"ඔහු වතුර [වීදුරුව] තබා, මට [අවිනීත] නමකින් අඬගැහුවා, මම හිටිය තැනට [පහරදෙන්නට] ආවා. ඒක ඉතා ඉක්මනින් සිද්ධ වුණා. හරිම ඉක්මණින්."

"ඔහු මගේ කමිස කොලරයෙන් අල්ලගෙන, මාගේ බෙල්ලේ පළඳනාව ඉරා දමලා, මට බිම වැටෙන විදියට පහරදුන්නා."

"මම බල්ලන්ගේ කෑම පිගන් උඩට වැටුණා, මගේ ඇඟට යටවෙච්ච කෑම පිගන් බිඳීලා, ඒකේ කෑලි වලින් මට තුවාල වුණා. මම මොකක් ද උනේ කියලා තේරුම් ගන්න එහෙමම හිටියා. ඊටපස්සේ නැගිටලා, ගෙදරින් එළියට බහින්න කියලා එයාට කිව්වා."

විලියම් පිටවගිය නමුත්, "පසුතැවිලි වන පෙනුමකින්" ආපිට පැමිණ "සමාව ඇයද " සිටි බව හැරී එහි ලියා තිබූ බව ගාඩියන් පුවත්පත පවසයි.

විලියම් නැවත පිටවයද්දී "ආපසු හැරීලා බළලා මෙහෙම කිව්වා: 'මේක මෙග්ට කියන්න ඕනේ නෑ "යි හැරී ලියා ඇති බවද එහි කියවේ.

"'ඔයා කියන්නේ ඔයා මට ගහපු එක ද?'

"'මම ඔයාට ගැහුවේ නෑ, හැරල්ඩ්," විලියම් එසේ පිළිතුරු දුන්බව ද එහි සඳහන් කොට තිබේ.

හැරීගේ නාමය 'හැරල්ඩ්' යන නම කෙටිකර සෑදුවක් නොවුණත් - ඔහුගේ සැබෑ සම්පූර්ණ නම හෙන්රි චාල්ස් ඇල්බර්ට් ඩේවිඩ් ය.

2019 සැප්තැම්බර් තරම් මෑතක දී ඉන්වික්ටස් ගේම්ස් වැනි ඉසව්වල දී සහ මෙගන් සමග විදේශ සංචාරවල යෙදෙද්දී හැරී නිතර අඳුරු පැහැ ගෙල පළඳනාවක් පැළඳ සිටිබව ඡායාරූපවලින් පෙනෙයි.

oirtlk

මේ හෙළිදරව් කිරීම් මඟින් රාජාණ්ඩුව කේන්ද්‍රයේ ඇතිව තිබෙන, සංහිඳියාවේ කිසිදු සලකුණක් නැති පවුල් ගැටුමක අඳුරු හැඟීමක් ඇති කර තිබේ.

මෙය සංහිඳියාවට වඩා දරුණු දික්කසාදයක් ඇති කළ හැකි භූමියකි.

මෙම මතක සටහනේම වෙනත් තැනක දී, 2005 වසරේ විකට ඇඳුම් සාදයකට පෙර ඔහුගේ සොහොයුරා නාසි ඇඳුමකින් සැරසී සිටිනු දුටු විලියම් "කොක් හඬලා සිනාසුනු" වග සඳහන්බව නිව් යෝර්ක් පෝස්ට් වාර්තා කොට තිබේ.

හැරී එම ඇඳුමෙන් සැරසී සිටින පින්තූරයක් එක්සත් රාජධානියේ පුවත්පත්වල ප්‍රකාශයට පත්කරන විට ඔහුගේ වයස අවුරුදු 20කි.

නිව් යෝර්ක් පෝස්ට් වාර්තා කරන පරිදි, හැරී විලියම්ගෙන් සහ ඔහුගේ අනාගත බිරිඳ කැතරින්ගෙන්, ඔහු එම ඇඳුම ඇඳිය යුතු ද, නැතහොත් ගුවන් නියමුවෙකු ලෙස සැරසිය යුතුදැ යි විමසා ඇති අතර, යුවළ සිනාසෙමින් නාසි නිල ඇඳුම අඳින්නැ' යි පවසා තිබේ.

හැරීගේ කෘතිය පිළිබඳ වාර්තාව ලියූ ගාඩියන්හි එක්සත් ජනපද වෙබ් අඩවියේ මාධ්‍යවේදියෙකු වන මාටින් පෙන්ගෙලි පවසන්නේ, කෙසේ වෙතත් තමා විලියම්ගේ සන්නිවේදන කණ්ඩායමෙන් මේ සම්බන්ධයෙන් කිසිදු විමසීමක් නොකළ බවයි.

තම ලිපිය "හැරී විසින් ලියැවුණු, ඔහුගේ ග්‍රන්ථය පිළිබඳ වාර්තාවක් - එය හැරීගේ ප්‍රකාශයක් " බව එම වාර්තාකරු පවසා තිබේ.

පෙන්ගෙලි BBC රේඩියෝ 5 සජීව විකාශයේ සම්බන්ධ වෙමින් කියා සිටියේ "අපි එය වාර්තා කිරීමේ දී ප්‍රවේශමෙන්, පැහැදිලිවම, එය 'සටනක්' ලෙස වාර්තා කිරීමෙන් වැළකුණා. මොකද මේ සම්බන්ධයෙන් තමා ආපිට සටන් කළේ නැතිබව හැරී කියන නිසා."

zer435

පෙන්ගුයින් රැන්ඩම් හවුස්හි ප්‍රකාශකයින් මෙම කෘතියෙන් 'ලීක්වූ' උපුටන සත්‍යදැ යි තවමත් තහවුරුකර නැති නමුත්, මෑතක දී, තම සොයුරා සමග ඇතිව තිබු අයහපත් සබඳතාව ගැන හැරී අදහස් දක්වා තිබේ.

තම මතක සටහනේ දී විලියම් තම "ආදරණීය සහෝදරයා සහ පරම සතුරා" ලෙස හඳුන්වන වග, හැරී ගුඩ් මෝනිං ඇමරිකා සමග පැවැති සම්මුඛ සාකච්ඡාවක දී පැවසීය.

එම සම්මුඛ සාකච්ඡාවේ දී හැරී කියා සිටියේ ඔවුන් දෙදෙනා අතර "සැමවිටම මෙම තරගය" පැවතිබවත්, එය තම පොතේ මාතෘකාවට පදනම වූ "උරුමකාරයා/අමතරයා" (heir/spare) යන ඝට්ටනයට හේතුවූබවත් ය.

"උරුමක්කාරයා සහ අමතරයා" යන සංකල්පය රාජකීය කවයන් තුළ සියවස් ගණනාවකට පෙර සිට පැවත එන අතර, රාජකීය පරපුරේ අඛණ්ඩ පැවැත්මට පිළිබඳ එය සඳහනකි: පළමු පුත්‍රයා සහ උරුමකරුවා යනු සිංහාසනය උරුමකර ගන්නා තැනැත්තා වන අතර, දෙවන පුත්‍රයා පළමුවැන්නාට යමක් සිදුවුවහොත් [යොදාගත හැකි] අමතරයෙකි.

හැරී සහ මෙගන්ගේ 'නෙට්ෆ්ලික්ස්' වාර්තා චිත්‍රපටයේ දී, හැරී තම සහෝදරයා සහ පියා (වත්මන් රජු) සහ ඔහුගේ මිත්තණිය වූ දිවංගත රැජින සමග තමන් සහභාගීවූ රැස්වීමක් විස්තර කර තිබුණි.

2020 වසරේ මුල්භාගයේ පැවති එම හමුව විස්තර කරමින් ඔහු කියා සිටියේ "මගේ සහෝදරයා මට කෑගහන එකත්, මගේ පියා නිරන්තරයෙන් බොරු කියන කියන එකත් , අත්තම්මා නිහඬව එහි වාඩිවී ඒ සියල්ල නිහඬව බලා ඉදීමත් හරිම භයානකයි".

2021 අප්‍රේල් මාසයේ දී, ඔහුගේ සීයා වන පිලිප් කුමරුගේ අවමංගල උත්සවයෙන් පසු එවකට වේල්ස් කුමරු සහ විලියම් සමග පැවති හමුවක් ගැන ද මෙහිදී හැරී විස්තර කරන වග ගාඩියන් සඳහන් කරයි.

මෙම 'ලීක් එක' නිවැරදි නම්, ඇතැම් විට එහි වඩාත්ම සිත් ඇදගන්නා රූපය වනුයේ, මේ දෙසොයුරන් අතරට මැදිවූ චාල්ස් රජු තම ජීවිතය "කාලකන්නි" නොකරන ලෙස සටන් වදින පුතුන්ගෙන් ඉල්ලා සිටීම යි.

මතක සටහන් කෘති රචකයෙකු වන ජේ. ආර්. මෝරින්ගර් විසින් හැරී වෙනුවෙන් රචනා කරන ලද, ඩොලර් මිලියන ගණනක පොත් ගනුදෙනුවක කොටසක් වන ස්පෙයා, එහි අන්තර්ගතය පිළිබඳ තොරතුරු කුඩා ප්‍රමාණයක් පමණක් ප්‍රසිද්ධ වූ අතිශය රහසිගත එකක් බව' මීට පෙර විශ්වාස කෙරිණි.

පෙන්ගුයින් රැන්ඩම් හවුස් ප්‍රකාශයයෙකු ඔක්තෝම්බර් මාසයේ දී පුර්ව ප්‍රචාරකදී කියා සිටියේ "හැරීට, අවසානයේ මේ ඔහුගේ කතාව යි," යනුවෙන් කිව හැකි බවයි.

සසෙක්ස් ආදිපාද යුවළගේ ආච්වෙල් සමාගම තවමත් ග්‍රන්ථය පිළිබඳ ඉදිරිපත්ව ඇති මෙම ප්‍රවෘත්තින් සඳහා අදහස් දක්වා නැත.

කෘතිය නිකුත් කිරීමට පළමුව , ජනවාරි 8 වන දා විකාශයවීමට නියමිත සම්මුඛ සාකච්ඡාවක පුර්ව ප්‍රචාරක විඩියෝවක දී හැරී මෙසේ පවසා තිබේ: "මම මගේ තාත්තා නැවත [මා වෙත] ලබාගන්න කැමතියි, මම මගේ සහෝදරයා නැවත ලබාගන්න කැමතියි".

කෙසේ නමුත්, "එයාලා කිසිසේත්ම සංහිඳියාවට කැමැත්තක් නෑ "යනුවෙන් හැරී ITVහි ටොම් බ්‍රැඩ්බිට පැවසූ නමුත්, ඔහු සඳහන් කරන්නේ කවුරුන් ගැනදැ යි නිශ්චිත නැත.

මේ සිදුවීම් සම්බන්ධයෙන් අදහස් දැක්වීම බකිංහැම් මාළිගාව විසින් ප්‍රතික්ෂේප කරන ලදී.


(BBC සිංහල සේවය)

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image