ඉතාමත්ම ප්‍රගතිශීලි පනතක් වන මැතිවරණ වියදම් නියාමන පනත ඊයේ (19) දින තුළ හදිසියේම

පාර්ලිමේන්තුවට ගෙන එමින් වැඩි ඡන්දයෙන් සම්මත කරගැනීම 'කිරි කලයට ගොම බින්දුවක් දැමුවා සේ' ඉතාමත්ම නරක පූර්වාදර්ශයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

එහිදී මෙතරම් ප්‍රගතිශීලි පනතක් මැතිවරණ වියදම් පාලනය කිරීමේ පනතට වඩා පළාත් පාලන මැතිවරණ කල් දැමීමේ පනතක් බවට ආණ්ඩුව පත්කළ බව ඔහු කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මෙසේද සඳහන් කළේය.

"2023 ජනවාරි 19 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා ඉතා වැදගත් පනතක්. ඒ මගින් ජනාධිපතිවරණය, මහ මැතිවරණය, පළාත් සභා මැතිවරණය හා පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අපේක්ෂකයින්ගේ වියදම්, විශේෂයෙන්ම ඔවුන්ගේ ප්‍රචාරක වියදම් පිළිබඳව උපරිම සීමාවක් පැනවීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට ලැබුණා. මේක ඉතාමත්ම වැදගත් පියවරක්. රට තුළ පාදඩ සල්ලි, පාදඩ මාධ්‍ය ආයතන යනාදිය පාවිච්චි කරලා තමන්ගේම වූ අපේක්ෂකයින් දිනවීම සඳහා ගෙන යන වැඩපිළිවෙලට තියපු ලොකු 'තිතක්' හැටියට අපි මේක හඳුනා ගන්නවා.

මෙහි තියෙන එකම අඩුපාඩුව තමයි අපේක්ෂකයන්ට මේ දැන්වීම් දාන්න කොහෙන්ද මුදල් ලැබුණේ කියන එක පිළිබඳව ඒක ප්‍රකාශ කරන්න තැනක් නොමැති වීම. සාමාන්‍යයෙන් වෙනත් රටවල ක්‍රියාදාමය එයයි. එහි ඉතාම ප්‍රගතිශීලි වගන්ති 9 ක් අවසාන මොහොතේ අර ප්‍රචාරණ කටයුත්තට මවිසින් යෝජනා කළා විජේදාස රාජපක්ෂ මැතිතුමාට. රූපවාහිනී, ගුවන් විදුලි සේවාවනුත් ඇතුල් කරන්න කියලා. ඒවා ඩිජිටල් මාධ්‍ය හැටියටයි ඔවුන් හඳුනාගෙන තිබුණේ. නමුත් ඒවා අපි දන්නවා මාධ්‍ය හැටියටත් තියෙනවා. ඉතින් ඒක අපේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී එරාන් වික්‍රමරත්නත්, මමත් යෝජනා කළා. අධිකරණ ඇමතිතුමා ඒක ඇතුළත් කලා.



ඒ අනුව මින් ඉදිරියට රූපවාහිනී, ගුවන් විදුලි සේවාවන්, පුද්ගලික නාලිකාවන් අවභාවිතා කරලා තමන්ගේ අපේක්ෂකයින් දිනවීමට කටයුතු කිරීමට, පාලනයක් එල්ල වෙයි කියලා අපි හිතනවා. මින් ඉදිරියට මැතිවරණ කොමිසමට උසාවිය දෙන නියෝගය මත අදාළ පනත් වෙනස් කිරීමෙන් හෝ (පළාත් පාලන ආයතන පනත, මහ මැතිවරණ පනත, පළාත් සභා පනත, ජනාධිපතිවරණ පනත) මාර්ගෝපදේශයන් නිකුත් කරන්න නොහැකි වෙනවා. ඒ කියන්නේ අපේක්ෂකයෙකුට වැඩියෙන්ම වියදම් කරලා ප්‍රචාරණය කරන්න පුළුවන් සීමාව මෙච්චරයි. ඔවුන් ඒ අනුව නොයෙක් කාරණා සැලකිල්ලට ගනී. කොට්ඨාශයේ ප්‍රමාණය, කොට්ඨාශයේ ජන සංයුතිය, භූගෝලීය පටිපාටිය මේ සියල්ලම සැලකිල්ලට අරගෙන ඔවුන් ඒ නියමයන් කරයි.



ඉතින් රජය බලාපොරොත්තු වෙනවා නම් මේක යටි අරමුණක් හැටියට මේක පාවිච්චි කරලා, පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ දිනය කල් දාන්න ඒක ඉතාමත්ම නරක පූර්වාදර්ශයක් වෙනවා. ඒ නිසා තමයි 19 වගන්තිය හැටියට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහත්මයා ගෙනාවේ මේ පළාත් පාලන මැතිවරණයට මෙය වලංගු විය යුතු නැහැ. ඉදිරි මැතිවරණ වලට වලංගු විය යුතුයි කියන යෝජනාව. ඒක රජය පිළිගත්තේ නැහැ. තුන්වෙනි වර ඡන්ද විමසීම පැවැත්වුණේ ඒ නිසා. එයට එරෙහිව මම ඡන්දය පාවිච්චි කළා. නමුත් අවාසනාවකට අපිට පේනවා මේ පාර්ලිමේන්තුවේ තත්වය, මේ දවස්වල හුඟක් දෙනෙක් අඩුයි. මොකද මේ මැතිවරණ කලබලය නිසා. නමුත් මෙවැනි වැදගත් පනතක්, ඉල්ලලා උස් හඬින් කතා කරන බොහෝ දෙනෙක් පාර්ලිමේන්තුවට ආවේ නැහැ. මේ පිළිබඳව මීට වඩා වගවීමෙන් යුතුව අපේ විපක්ෂයේ පිරිස් කතා කරනවා වගේම, තමන්ගේ කැපවීමත් ප්‍රදර්ශනය කළොත් හොඳයි කියන මතය අපි කියනවා.

මැතිවරණයට මුදල් නෑ කියලා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් උසාවියට දීපු දැනුම් දීමත් ඉතාමත්ම නරක පූර්වාදර්ශයක්. මොකද මේක ඉදිරියේදී ජනාධිපතිවරණයකට වුණත් කරන්න පුළුවන් දෙයක් නිසා. මැතිවරණයට අරමුණු දෙකයි තියෙන්නේ. එකක් පසුගිය මැයි 09 වෙනිදා හා ජූලි 09 වෙනිදා පලවා හරිනු ලැබූ මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂවාදය ප්‍රමුඛ ඒ සහචරවාදය, අනුචරවාදය, මේ රටේ 10% ගෙන ඒමේ වගකීම හා දෙවන එක ස්වයං ශක්ති ප්‍රාදේශීය සභා, නගර සභා ඇතිකර ගැනීමට හැකි පිරිසක් බලයට පත් කිරීම.



පොදුවේ අපි සියලුම විපක්ෂ කණ්ඩායම් වලට යෝජනා කරනවා, සීයට අනූවක විපක්ෂ බලයක් ගොඩ නඟමු. පාර්ලිමේන්තුවේ පස්ස දොරෙන් පාලනය කරන රාජපක්ෂලාට ඒක කරන්න බැරි කරමු. එමගින් ජනාධිපතිතුමාට තවදුරටත් පොහොට්ටුවේ කිහිලිකරු වලින් යන්න වෙන්නේ නැහැ. ජනාධිපතිතුමාට සිදුවෙනවා විපක්ෂයට අනුව යන්න. එහෙමත් නැත්නම් එතුමාට ඒ ධූරය හැර යන්න. ඉතින් ඒකට මෙය බලගතු ජනමත බලයක් බවට පත් කරගමු. කියන යෝජනාවත් අපි විවෘතව ඉදිරිපත් කරනවා."

 

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image