ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් අද පෙරවරු 09.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වේ. ඒ, එම සභාවේ සභාපතිවරයා වන කථානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙනි.


21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටුවීමෙන් පසු එම සභාව රැස්වන පළමු අවස්ථාව මෙයයි.

කථානායකවරයා, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා නිල බලයෙන් එහි සාමාජිකයින් වන අතර ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයාගේ නියෝජිතයින් ලෙස මන්ත්‍රීවරුන් 03 දෙනෙකු ද ඊට ඇතුළත් වේ. සුළු පක්ෂ නියෝජනය කරමින් තවත් මන්ත්‍රීවරයෙකු එම සභාව නියෝජනය කළ යුතුවේ. සිවිල් සමාජ නියෝජනය කරමින් සෙසු සාමජිකයින් තිදෙනා පත් කර ගැනේ.

ඒ අනුව කථානායකවරයා, අග්‍රාමාත්‍යවරයා සහ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයාගේ එකඟතාවයෙන් යුතුව කථානායකවරයා විසින් ඉදිරිපත් කරන ලද නාමයෝජනා අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන පුද්ගලයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් ලෙස පත් කිරීම පසුගිය සතියේ ජනාධිපතිවරයා විසින් සිදු කරන ලදී. ඒ අනුව ආචාර්ය ප්‍රතාප් රාමානුජම්, වෛද්‍ය දිල්කුෂි අනුලා විජේසුන්දර, ආචාර්ය වැලිගම විදාන ආරච්චිගේ දිනේෂා සමරරත්න යන මහත්ම මහත්මීන් පත් කර තිබේ.

එම නියෝජිතයන් තිදෙනා පත් කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය පසුගිය 18 වැනිදා ලැබිණ.

ආචාර්ය රාමානුජම් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇති අතර දශකයකට වැඩි කාලයක් අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරයෙකු ලෙස සේවය කර තිබේ. දිල්කුෂි අනුලා විජේසුන්දර වෘත්තියෙන් වෛද්‍යවරියක් වන අතර, ආචාර්ය දිනේෂා සමරරත්න නීති අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වන අතර කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස සේවය කරයි.


විපක්ෂ නායකවරයාගේ සැකය !


 අද පැවැත්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී එහි ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන 'නෙත් නිවුස්' වෙත කියා සිටියේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් ස්වාධීන කොමිෂන් සභා අළුතින් පත් කිරීම පිළිබඳ අද දිනයේ යම් තීරණයක් ගැනීමේ ඉඩකඩක් ඇති බවට විපක්ෂ නායකයා ඊයේ සැක පළ කර තිබිණ.

මැතිවරණ කල්දැමීමේ කුමන්ත්‍රණ අද පැවැත්වෙන ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීමේ න්‍යයපත්‍රයට ඇතුළත් නොකරන ලෙසත් ස්වාධින මැතිවරණ කොමිසමේ නියෝජිතයන්ට හානියක් වන කිසිවක් නොකරන ලෙසත් විපක්ෂ නායකවරයා ඊයේ රජයට දැනුම්දී සිටියේය.

කෙසේවෙතත්  කතානායකවරයා පැවසුයේ, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම සම්බන්ධයෙන් අද පැවැත්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී තීරණයක් නොගන්නා බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව සඳහා ප්‍රධාන විපක්ෂය නොවන විපක්ෂයේ සෙසු පක්ෂවල නියෝජිතයා තවමත් පත්කර නොමැති අතර අද සාකච්ඡාවේදී ඒ සම්බන්ධයෙන්ද තීරණයක් ගැනීමට නියමිතය.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්