පළාත් පාලන ආයතන කිහිපයක් විසුරුවා හැරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.



ඒ සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනසමඟ ද සාකච්ඡා කර ඇති බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව වංචා හා දූෂණ ක්‍රියාවන්ට සම්බන්ධ පළාත් පාලන ආයතන නීති උපදෙස් ලබාගනිමින් විසුරුවා හැරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර 'නෙත් නිවුස්' වෙත ප්‍රකාශ කළේය.

දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ, පෙබරවාරි 08 වෙනිදාට පසුව ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවයි.



පළාත් පාලන කොමසාරිස්වරු මැතිවරණ කොමිසමෙන් කළ ඉල්ලීම


පළාත් පාලන ආයතන විසුරුවා හැර ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට පහසුකම් සලසන්නැයි පළාත් පාලන කොමසාරිස්වරුන් මැතිවරණ කොමිසමේ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. ඔවුන් ඒ බව පවසා ඇත්තේ, මැතිවරණ කොමිසම රාජ්‍ය නිලධාරීන් ජනවාරි 31දා මැතිවරණ කොමිසමට කැඳ වූ අවස්ථාවේදීය.

පළාත් පාලන ආයතන විසුරුවා නොහැරීමෙන් එහි දේපොළ නීති විරෝධි භාවිතය වැළැක්වීම සඳහා දැඩි වෙහෙසක් දැරීමට තමන්ට සිදු ව ඇති බව එහිදී පළාත් පාලන කොමසාරිස්වරුන් මැතිවරණ කොමිසමට පෙන්වා දී ඇත.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ, එම ඉල්ලීම පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලෙස කොමිසම ඉල්ලා සිටි බවයි.

මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළව නිකුත් කර ඇති චක්‍රලේඛ ප්‍රකාරව රාජ්‍ය දේපොළ අවභාවිතය වැළැක්වීමට සෑම පියවරක්ම ගැනීමේ අවශ්‍යතාව කොමිසම රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දුන් බව ද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළේ ය.

එම රැස්වීමට අමාත්‍යාංශවල අතිරේක ලේකම්වරුන්, රජයේ ව්‍යවස්ථාපිත මණ්ඩලවල විධායක නිලධාරීන්, පළාත් පාලන කොමසාරිස්වරුන් ඇතුළු පිරිසක් සභභාගි වී තිබිණ.

 

මේ අතර මැතිවරණ  කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පවසන්නේ, පළාත් පාලන ආයතන විසුරුවා හැරීමේ බලය ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවට නොව පළාත් පාලන අමාත්‍යවරයාට බවත් ඒ  සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන ලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවත් ය.

 

මැතිවරණ නිරීක්ෂණ සංවිධානවලින් චෝදනා


ඒ අතර පළාත් පාලන ආයතනවල දේපළ මැතිවරණ කටයුතු සඳහා යොදාගන්නා බවට නිරීක්ෂණ සංවිධාන චෝදනා කරති.

ඒ සම්බන්ධයෙන් 'නෙත් නිවුස්' කළ විමසීමට පිළිතුරු ලබාදෙමින් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සඳහන් කළේ මැතිවරණයට අගතියක් වන කිසිදු ක්‍රියාවක් සිදුනොකරන ලෙසට තමන් පළාත් පාලන මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇති බවයි.



මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු මස 09 වැනි දා උදෑසන 7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වෙන බව ගැසට් නිවේදනයක් මගින් මේවනවිට ප්‍රකාශයට පත් කර ඇත. 


 

JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්