පළාත් පාලන ඡන්දයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම අද (23) නැවත කැඳවා තිබේ.


පළාත් පාලන ඡන්දයට අදාළ සියලු සංවිධාන කටයුතු වළක්වන්නැයි ඉල්ලා එම පෙත්සම ගොනු කර ඇත.

මෙම පෙත්සම පසුගිය 10 වැනි දා විභාගයට ගත් අතර ලේඛනවල ඇති වූ අපැහැදිලිකම් හේතුවෙන් පෙත්සම අද දිනය දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය එදින තීරණය කළේය.

රට තුල උග්‍ර ආර්ථික අර්බුදයක් මතු වී තිබෙන බැවින් මෙම අවස්ථාවේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම කල් දමන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මෙම පෙත්සම ගොණුකර තිබුණේ විශ්‍රාමික යුධ හමුදා කර්නල් ඩබ්ලිව්. එම්. ආර්. විජේසූන්දර විසිනි.

මෙම පෙත්සම අද දිනට පෙර සලකා බැලීම සඳහා කැඳවන ලෙස ඉල්ලමින් ඔහු මීට පෙර මෝසමක් ද ගොනු කර තිබිණ. එය පසුගිය 20 වනදා සලකා බැලුනු අතර එහිදී ඔහුගේ නීතිඥවරු ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ මෝසම මේ අවස්ථාවේ දී සලකා බැලීමට අනවශ්‍ය බවයි.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා අද දින කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් 10 වනදා තීන්දු කළ බව සඳහන් කළේය. එහෙත් තැපැල් ඡන්ද විමසීම ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ බැවින් ඊට පෙර මෙම නඩුව සලකා බැලීම සඳහා කැඳවන ලෙස ඉල්ලා අදාළ මෝසම ගොනු කළ බව ජනාධිපති නීතිඥවරයා එහිදී කියාසිටියේය.

එහෙත් නියමිත දිනයේ තැපැල් ඡන්ද විමසීම නොපැවැත්වෙන බවට තම සේවාදායකයාට විශ්වාසදායක තොරතුරු ලැබී තිබෙන හෙයින් මෙම මෝසම සලකා බැලීම අවශ්‍ය නොවන බව ජනාධිපති නීතිඥවරයා පසුගිය 20 වනදා අධිකරණය හමුවේ කියාසිටියේය.

එම ඉල්ලීමට මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ද විරෝධය පළ නොකල අතර ඒ අනුව එම ඉල්ලීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පෙත්සම කලින් නියම කළ පරිදි ලබන අද වැඩිදුර සලකා බැලීම සඳහා කැඳවන ලෙස එදින නියෝග කළේය.

 රට තුළ දැඩි ආර්ථික අර්බුදයක් නිර්මාණය වී තිබෙන හෙයින් මෙම අවස්ථාවේදී පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්විම තුලින් මහජනතාවට කිසිදු යහපතක් නොවන බව අදාල පෙත්සමේ දක්වා ඇත. එබැවින් අදාළ ඡන්ද විමසීම කල් දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ගොනු කර තිබේ.

මෙවන් පසුබිමක ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන නොලැබීම හා රජයේ මුද්‍රණාලය විසින් මුද්‍රණය කළ ඡන්ද පත්‍රිකා ලබා නොදීම හේතුවෙන් මීට පෙර අධිකරණයට ලබා දුන් ප්‍රතිඥාව පරිදි පලාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමේ කටයුතුවලට බාධා එල්ලවී ඇති බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉකුත්දා දැනුම්දුන්නේය.

මේ අතර මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ, මැතිවරණයේ ඉදිරි කටයුතු අද පැවැත්වෙන නඩු විභාගයෙන් පසුව ප්‍රකාශ කළ හැකි බවයි. 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්