ඉන්දියාවේ හිමාලය කඳු වැටිය ආශ්‍රිතව රික්ටර් මාපක 8ක ප්‍රභලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුවුවහොත් එහි බලපෑම් ශ්‍රී ලංකාවට ද දැනෙනු ඇතැයි භූ ගර්භ විද්‍යාව පිළිබඳ මෙරට ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු වන මහාචාර්ය අතුල සේනාරත්න පවසයි.



ඉන්දියාවේ විද්‍යාඥයින් අනුමාන කරන්නේ රික්ටර් මාපක 8ක ප්‍රභලත්වයෙන් යුත් භූ කම්පනයක් එරට සිදුවන බවටයි. එහෙත් එලෙස භූ කම්පනයක් සිදුවේ ද? නැද් ද? යන්න සම්බන්ධයෙන් මෙතෙක් කිව නොහැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අධ්‍යන අංශයේ විශ්‍රාමික ජේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පැවසිය.

ඉන්දියාවේ හිමාල ප්‍රදේශයට රික්ටර් මාපාංක ඒකක 8 ඉක්මවූ භූමිකම්පාවක් ඇති වූවොත් එය කොළඹට මෙන්ම යාපනයට ද ප්‍රබල ලෙස දැනිය හැකි බව මහාචාර්ය අතුල සේනාරත්න සඳහන් කරයි.

දැනට වසර 2කට පමණ පෙර හිමාලයේ සිදු වූ භූමිකම්පාවක් කොළඹට ඉතා තදින් දැනුනු බවත් එහි ප්‍රබලත්වය රික්ටර් මාපාංක ඒකක පහක් බවද ඔහු පැවසීය. නමුත් රික්ටර් මාපාංක ඒකක අටක් එමෙන් සිය ගුණයක් ප්‍රබලත්වයක් යුතු බවත් හානිය ද එතරම්ම ප්‍රබල බවත් හෙතෙම පෙන්වා දෙයි.

මෑතකදී තුර්කිය හා සිරියාව අසල භූමිකම්පා සිදු වූ රේඛාවට හිමාලය ද අදාළ විය හැකි බවද පැවසූ මහාචාර්ය අතුල සේනාරත්න, එනිසා එම කම්පනයන් අතර යම් සම්බන්ධයක් තිබිය හැකි බවද කියා සිටී.



යම් අවස්ථාවක භූමිකම්පාවක් දැනුනහොත් ගොඩනැගිලි තුලට වී සිටීම අනතුරුදායක බවත් වහා ඉවතට පැමිණ තැනිතලා භූමියක රැදී සිටින ලෙසත් වඩාත්ම ආරක්ෂිත වන්නේ තැනිතලා භූමියක් බව ද මහාචාර්ය අතුල සේනාරත්න වැඩිදුරටත් පැවසිය.



මේ සම්බන්ධයෙන් "අද දෙරණ" මෙරට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන් කළ විමසීමකදී භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ජානක අජිත්ප්‍රේම මෙසේ සඳහන් කළේය.  

"භූ කම්පන එහෙම උපකල්පනය කරන්න බැහැ. අද එනවා හෙට එනවා කියලා. ලෝකයේ සාමාන්‍යයෙන් රික්ටර් මාපාංක 8ක වගේ භූ කම්පනයක් අවුරුද්දට එකක් වගේ වෙයි කියන උපකල්පනයක් සාමාන්‍යයෙන් තියෙනවා. මේ අවුරුද්ද‍ අපි දන්නවා භූ කම්පනයක් වෙලා තියෙන්නේ. රික්ටර් මාපාංක 7.8ක වගේ තුර්කියෙන් මේ මෑතක වුණා. කිසිම ආකාරයේ උපකල්පනයක් කරලා.. භූ කම්පනයක් ඇතිවෙයි කියන තත්ත්වය පැවසීමට නොහැකියි."


භූ කම්පන පුරෝකථනය ගැන තවත් තොරතුරු


ඉන්දියාවේ හිමාලය කඳුවැටිය ආශ්‍රිතව රික්ටර් මාපාංක 8ක පමණ ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් නුදුරේදීම සිදුවිය හැකි බවට හයිද්‍රාබාද් හි ජාතික භූ විද්‍යා පර්යේෂණ ආයතනය අනතුරු අඟවා තිබේ.

කෙසේවෙතත් භූ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ භූ කම්පනයක් සිදුවන දිනය හා වේලාව කල්තියා නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි බවය.

ඉන්දියානු භූ තැටිය සෑම වසරකම සෙන්ටිමීටර 5 ක් පමණ චලනය වන අතර ඒ හේතුවෙන් ඉහළ ප්‍රබලත්වයකින් යුතු භූකම්පන ඇති වීමේ සම්භාවිතාවක් පවතින බව විද්‍යාඥයින් පවසයි.

ඒ අනුව බටහිර නේපාලය සහ හිමාලය අතර පෙදෙස්වල ඕනෑම මොහොතක භූ කම්පන තත්ත්ව වාර්තා විය හැකි බව සඳහන් වේ.

ඉන්දියාවේ උත්තර්කන්ද්, පන්ජාබ් සහ හරියානා පෙදෙස්වලට එමගින් වැඩි බලපෑමක් එල්ල වනු ඇති බවට පුරෝකථනය කර තිබේ.

පසුගිය සඳුදා හිමාලයේ ධරම්ශාලා ප්‍රදේශයට කිලෝමීටර 56ක් දුරින් පිහිටි ස්ථානයකින් රික්ටර් මාපාංක 3.6 ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් වාර්තා විය.
කම්පනය සිදුවී තිබුණේ කි.මී 10 ක ගැඹුරකිනි.


 JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image