මේ රටේ සෑම අම්මා, තාත්තා කෙනෙක්ගේ දරුවා අපේම දරුවෙක් ලෙස රැකබලාගෙන, හොඳ අධ්‍යාපනයක් ලබාදී,

හොඳ තරුණ පරපුරක් බිහිකරන, තරුණ පරම්පරාවට අනාගතය පිළිබඳ විශ්වාසය ගොඩනැගෙන සමාජයක් අපි හදන්න ඕනෙ. ඒ පාලනය මාලිමාවේ අපි හදනවා යැයි 2023.02.28 දින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පොළොන්නරුව කදුරුවෙල පැවැති  ජාතික ජන බලවේගයේ ජනතා රැලිය අමතා යැයි පැවසීය. වැඩිදුටත් අදහස් දක්වමින් ජවිපෙ නායකයා මෙසේ ද පැවසීය.

මාර්තු 09දා පැවැත්විමට නියමිතව තිබූ මැතිවරණය කල්ගොස් තිබෙනවා. මැතිවරණය පැවැත්වීම සඳහා දිනයක් ප්‍රකාශයට පත්කිරීම, මාර්තු මස 03දාට යෙදී තිබෙනවා. 09වෙනිදා සිට දින 21ක් ගතවූ පසු දිනයක් ලබාදීමට මැතිවරණ කොමිසමට බලය තිබෙනවා. ඡන්ද ඉතිහාසයේ ඡන්දයක් සඳහා දින නියම කොට, නාම යෝජනා බාරගෙන, ඡන්ද කල්ගිය අවස්ථා ඉතිහාසයේ නැහැ. පසුගියදා රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා, “ජනතා විමුක්ති පෙරමුණ ජය ගැනීම වළක්වන්න ඡන්දය කල් දමන්න” කියා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද ඉල්ලා සිටි බව. රනිල් වික්‍රමසිංහගේ ඡන්දය කල්දැමීමේ වුවමනාවට විපක්ෂයේ ආශීර්වාදය පවා තිබෙන බවයි මේ පවසන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මැතිවරණ කොමිසම ස්වාධීන ආයතනයක්. ඡන්දය ප්‍රකාශයට පත්කිරීම, ඇප මුදල් බාර ගැනීම, නාම යෝජනා බාර ගැනීම, ඡන්ද දිනය ප්‍රකාශයට පත්කිරීම, ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම, ජයග්‍රහණය කළේ කවුද ප්‍රකාශයට පත්කිරීම යන මැතිවරණ ක්‍රියාවලියේ සියලුම බලය මැතිවරණ කොමිසම සතුව තිබෙනවා. එය ජනාධිපතිට හෝ පාර්ලිමේන්තුවට යටත් ආයතනයක් නොවෙයි. මැතිවරණ කොමිසම ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා කර, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කර දෙන්න ගොඩනඟා තිබෙන ආයතනයක්. රනිල් වික්‍රමසිංහ මැතිවරණ කොමිසම අඩපණ කළා. භාණ්ඩාගාරයේ ලේකම් කැඳවලා මැතිවරණයට මුදල් දීම වැළැක්වුවා. මුද්‍රණාලයාධිපතිනිය කැඳවලා මුදල් දෙනතෙක් ඡන්ද පත්‍රිකා අච්චු ගැසීම වැළැක්වුවා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, ජනතාවගේ පරමාධිපත්‍ය බලයත්, පළාත් පාලන නීතියත්, පාර්ලිමේන්තුව සතුව තිබෙන මුදල් බලයත්, රනිල් වික්‍රමසිංහ විසින් අනීතිකව උල්ලංඝනය කර තිබෙනවා.



මේ සිදුවෙමින් යන්නේ ලංකා ඉතිහාසයේ සිදුවෙමින් යන සුවිශේෂීමය දේශපාලන හැරවුම. අපේ රට දීර්ඝ කාලයක් පාලනය කළේ උඩ ඉන්න අතළොස්සක් වූ පවුල් සංඛ්‍යාවක්. අපේ ජනතාව බියට පත් කළා. ජනතාව නිවටභාවයට පත් කළා. එහෙම කරලා එයාලා හිතුවා ජනතාව සෑමදාම නිවටයින් බවට පත්කරන්න පුළුවනියි කියලා. එයාලා ප්‍රභූවරු, එයාලා බලය සඳහාම උපන් අය, අපේ රටේ බලය හොබවන්න ඕනෙ එයාලා පමණයි, යන මතය ජනතාව තුළ හැදුවා.

 

අගමැතිකම, ජනාධිපතිකම අයිති ඒ පවුල්වලට. බණ්ඩාරනායක අගමැති, සිරිමාවෝ බණ්ඩාරනායක අගමැති, චන්ද්‍රිකා ජනාධිපති. ඒව අයිති එයාලගේ පවුල්වලට. ඩී.එස්. සේනානායක අගමැති, ඩඞ්ලි සේනානායක අගමැති, ඒවා අයිති ඒ පවුල්වලට. මහින්ද රාජපක්ෂ ජනාධිපති, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති. ඒවා අයිති ඒ පවුල්වලට. ජනාධිපති මහින්ද, මල්ලි ගෝඨාභය ජනාධිපති, පුතා නාමල් අනාගත ජනාධිපති පවුල් පෙළගැස්මක් තිබුණා. ප්‍රේමදාස ජනාධිපති, පුතා අනාගත ජනාධිපති ලෙස පිඹුරුපත් සකසා තිබුණා. අගමැති ධුර, ජනාධිපති ධුර ඔය පවුල් හතර ඇතුලේ තිබුණේ. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති, එයාගේ බෑනා රනිල් වික්‍රමසිංහ ජනාධිපති.

ජනතාව තුළ හැදුවා, මතයක් රට පාලනය කරන්නේ සේනානායකලා, බණ්ඩාරනායකලා කියලා. සාමාන්‍ය ජනතාව හිතුවා, අපි සාමාන්‍ය මිනිස්සු. ඒ පවුල්වල තමයි රාජ කුමාරවරු බිහිවෙන්නේ. ඒ පවුල්වල තමයි අනාගත රාජ්‍ය නායකයන් බිහිවෙන්නේ. ජනතාවත් හිතුවා ඒ පවුල් තමයි අපි ගලවා ගන්න ඉන්න පවුල්. ඒ ගොල්ලො වාහන හතර පහක එනවා. හතර වටෙන් ගාඞ් එක දාගන්නවා. ඇඟිලි හතරේ මුදු. කඹයක් තරමට බ්රේස්ලට් එකක්. කළු කණ්ණාඞ්. සුදු පිරුවට. මේවා දාගෙන වාහනෙන් බහිනකොට ජනතාව හිතුවා මේ තමයි අපව පාලනය කරන්න ඉන්න ප්‍රභූවරු. ඔවුන්ගේ වාහනවලට, ඔවුන්ගේ පාටට, ආරක්ෂක වළල්ලට ජනතාව වශීකෘත වුණා. අපව පාලනය කරන්න උපන්නම පවුල් තමයි මේවා කියලා කල්පනා කළ ජනතාව අවුරුදු 75ක් ඔය පවුල්වලින් අගමැතිවරු, ජනාධිපතිවරු හැදුවා. එයාලා දැන් වාහන හතරක් පහකින් එනකොට, මහා ආරක්ෂක වළල්ලක් හදාගෙන, ලොකු වාහනවලින් බහින කොට, ජනතාව දන්නවා මේ තමයි කම්බ හොරු කියලා.



දැන් ලංකාවේ දේශපාලනය මුළුමනින්ම වෙනස් වෙලා. ජනතා මුදල් කෝටි ප්‍රකෝටි ගණන් කොල්ලකාපු බව තේරුම්ගෙන තිබෙනවා. පාලකයන්ගේ බල සැලැස්ම වෙනස් වෙලා. ප්‍රාදේශීයව ගත්තත් මෙහෙමයි. මාතලේ ජනක බණ්ඩාර, ඊළඟ සැලසුම හදා තිබුණේ පුතාට. දැන් ඔහු ඇමති. මාතලේ කවිරත්න, එයාගේ පුතා, දියණිය. මාතරට ගියොත් විජේසේකරලා. පෙළපත එළලා තියෙන්නේ. අනුරාධපුර, මාතලේ, රත්නපුර මේ කොහේ බැලුවත් බලය සඳහා පෙළපත් එළලා තිබෙන්නේ. නමුත් දැන් ජනතාව අවදිවෙලා. මේ පෙළපත් අපේ රට විනාශ කරපු, අපේ රටේ මහජනයාගේ දේපළ හොරකම් කරපු, චෞර පවුල් සංස්ථාවක් බව දන්නවා. ජනතාව නැගිට්ටා. පාලකයෝ නොසිතපු දේශපාලනයක් අද ලංකාවේ මතුවෙලා තිබෙනවා.



ඒගොල්ලෝ ගමේ ජනතාව යටපත් කර සිටියේ කොහොමද? ප්‍රභූත්වයෙන් ජනතාව ආකර්ෂණය කර ගත්තා, ගමේ ප්‍රාදේශීයව චණ්ඩි හදලා, වෙනත් දේශපාලනයක් නියෝජනය කළ ගම්මුන්ට ගහලා, ගෙවල් ගිනිතියලා, පක්ෂ කාර්යාල ගිනි තියලා ගම්වල ජනතාව බය කළා. අද ජනතාව තේරුම් ගෙන තිබෙනවා. ජනතාව නැති බැරි තත්වයට පත් කළා. සිඟමන් යදින තත්වයට පත්කළා. එහෙම කරලා සිමෙන්ති කොට්ට දෙකක්, ටකරං තහඩු දෙකක්, වැසිකිළි පෝච්චියක්, හාල් කිලෝ පහක් බෙදලා ඡන්දෙ ලබා ගත්තා. අපේම ධනය හොරාගෙන නැවත ජනතාවට බෙදන බව ජනතාව දැන් තේරුම් ගෙන තිබෙනවා.

අපේ ගම්වල අම්මා තාත්තාට හොඳ සෞඛ්‍ය පහසුකම් නැහැ. වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගීන්ට, ගැබිණි මව්වරුන්ට, දරුවන්ට සෞඛ්‍ය පහසුකම් නැහැ. හදවත් සැත්කම් කළ යුතු අයට ඒ සඳහා දිනයක් ලබාගන්න වසර 5ක් හෝ 6ක් බලාගෙන ඉන්න ඕනෙ. සෞඛ්‍ය පරීක්ෂණ කර ගන්න බැහැ. නමුත් උඩ ඉන්න පැලැන්තියක් ඉන්නවා. ඖෂධවලින් හොරා කනවා. කෙහෙලිය රඹුක්වැල්ල ඉන්දියාවෙන් ණය ආධාරයක් ලැබුණා ඖෂධ ගේන්න. ඖෂධවලින් 80%ක් ලංකාවේ ලියාපදිංචි නොකරන ලද ඖෂධ. ඒවායින් හොරකම් කරනවා. ඇන්ටිජන් කිට්වලින්, සැනිටයිසර්වලින්, වෛද්‍ය උපකරණවලින් හොරකම් කරනවා. අපට ලෙඬේ විපතක් වුණාට උඩින් ඉන්න කොටසකට ලෙඬේ උල්පතක් බවට පත්වෙලා. අද ඖෂධවලින් හොරාකෑමේ බලය නතර වෙන්න හදන්නේ.

අපි පිටරටින් භාණ්ඩ ගෙන්වීමට යන මුදල්වලින් 20%කට වැඩි ප්‍රමාණයක් වැය කරන්නේ තෙල් ගෙන්න. මේ තෙල් ගෙන්වන එකෙන් හොරකම් කරනවා. බාල තෙල් ගෙනත් හොරකම් කරනවා. අත්සන් කළ හෙජින් ගිවිසුමේ පාඩුව කෝටි 8000යි. සිංගප්පූරු ප්ලැට් රේට් යනුවෙන් රේට් එකක් තිබෙනවා. ඒ රේට් එක ප්ලස් ඩොලර් එකයි. ඩොලර් දෙකයි. ලංකාවේ පසුගිය අවුරුදු 30ම තෙල් ගෙන්වන රේට් එක ඩොලර් හතරකට වඩා වැඩිවුණේ නැහැ. පසුගිය අවුරුද්දේ ඩොලර් 28යි, ඩොලර් 30යි. මේ ටෙන්ඩර් ගනුදෙනුව නිසාම පෙට්්‍රල් ලීටරයක මිල රුපියල් 68/-ක් වැඩි වෙනවා. රනිල් වික්‍රමසිංහ අගමැති වුණා. අගමැතිවෙලා දැමූ ප්‍රධාන කමිටුව තමයි තෙල් මිලදී ගැනීමේ කමිටුව. ඒ කමිටුවේ ප්‍රධානියා සාගල රත්නායක. ඉස්සර තෙල් ගෙනාවෙ යෝෂිතට සබඳකම් තිබූ සමාගමක්. දැන් ඒ සමාගමම සාගලත් එක්ක. පෙට්්‍රල් ලීටරයක් ගත්තොත් ඒක ඇතුලේ රුපියල් 68/-ක හොරකමක් තිබෙනවා. අද මහජනයාගේ භාණ්ඩ ආනයනය කරන කොට කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරනවා. කිරිපිටි, ලූනු, ගේනවාට වඩා සිය ගුණයකින් වැඩියි ගල් අඟුරු ගෙන්වීමට යන මිල. ඒවායින් හොරකම් කරනවා. එහි ප්‍රතිඵලයක් විදිහට අපේ ලයිට් බිල වැඩිවෙනවා. විදුලි බල මණ්ඩලය පාඩු විඳිනවා. ඒ බරත් ජනතාව මත පටවනවා.

පාරිභෝගික ඇමති, තෙල් ඇමති, ගල් අඟුරු ඇමති, පරිසර ඇමති, මුදල් ඇමති, මේ එක් එක් ඇමතිවරුන් එනකොට ඒ වටා හත් අට දෙනෙක් එකතු වෙනවා. එයාලා තමයි ඒ ඒ බිස්නස් කරන්නේ. මේ දේශපාලකයන් පමණක් නොවෙයි ඒ වටා ඉන්න චෞර වළල්ලට මේ රටේ සාරය උරාගන්න මේ පාලකයෝ ඉඩ දෙනවා. මේ වෙනස් වෙන්න යන්නේ මොකක්ද? ජනතාවගේ භාණ්ඩ හා සේවා සපයන කොට ඒ ගොඩනැගී තිබුණු චෞර වළල්ල මාලිමාව පාලනය යටතේ අහෝසි වීමට නියමිතව තිබෙනවා. අපි කර්මාන්තයක් දෙන්නේ ඥාතිකම්, හිතවත්කම්වලට නොවෙයි.

 

ග්‍රාමීය දරුවාගේ අධ්‍යාපනය කඩා වට්ටවා තිබෙනවා. දුප්පත් ජනතාවගේ දරුවෝ අධ්‍යාපනයෙන් පෝෂණය කරන්න එයාලට වුවමනා නැහැ. පාලකයන්ට වුවමනා ඒ ගොල්ලන්ගේ කසිප්පු වීදුරුව පස්සේ යන, රස්සාවක් ගන්න ඇමති කැම්පේන් එකට යන තරුණ පරම්පරාවක්. ඒගොල්ලන්ගේ දරුවන්ට විදෙස් රටවලින් උසස් අධ්‍යාපනය, අපේ දරුවා ගුරුවරයා නැති, විද්‍යාගාර නැති පාසලේ. මේ රටේ සෑම අම්මා, තාත්තා කෙනෙක්ගේ දරුවා අපේම දරුවෙක් ලෙස රැකබලාගෙන, හොඳ අධ්‍යාපනයක් ලබාදී, හොඳ තරුණ පරපුරක් බිහිකරන, තරුණ පරම්පරාවට අනාගතය පිළිබඳ විශ්වාසය ගොඩනැගෙන සමාජයක් අපි හදන්න ඕනෙ. ඒ පාලනය මාලිමාවේ අපි හදනවා.



අපේ රටේ පවතින්නේ සාමාන්‍ය ජනතාවට නීතියෙන් දඬුවම් ලැබෙන, උඩ ඉන්න අය නීතියෙන් සුරකින පාලනයක්. ශිරන්ති රාජපක්ෂගේ සිරිලිය ගිණුමේ සොරකමේදි ඇය අත්අඩංගුවට නොගන්න කැබිනට් තීරණ ගත්තා. සජිත් ප්‍රේමදාසගේ නැගණිය හොර මුදල් නෝට්ටු සමග අත්අඩංගුවට පත්වුණා. නමුත් එයාලාට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි නීතිය කාටත් සමාන ලෙස සලකන, නීතියට කවුරුත් යටත් වන ආණ්ඩුවක් හදනවා.

සිද්ධ වීමට යන්නේ විශාල පරිවර්තනය ආරම්භයක්. දේශපාලන වේදිකා ගොඩක් තිබුණත්, සැබෑ බිමේ තිබෙන්නේ දේශපාලන මත දෙකයි, පැති දෙකයි. අනාගත පරම්පරාවේ සිහින බිඳ වැට්ටවූ පැත්ත හා සිහින සැබෑ කරන පැත්ත. ඡන්ද කල් දමා මාලිමාව දුර්වල කරන්න බැහැ. තව තවත් වර්ධනය වෙනවා. රනිල් ඔයා ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ නම්, අපි ප්‍රජාතන්ත්‍රවාදී පොරපිටියේ. ඔයා ප්‍රචණ්ඩකාරී නම්, අපි සාමකාමී පොරපිටියේ. ඔයා කඩාකප්පල්කාරී නම්, අපි රට ස්ථාවර කිරීම පැත්තේ. ඔයාලා දිනෙන් දින ඔප්පු කරමින් ඉන්නවා රටට හතුරු, ප්‍රජාතන්ත්‍රවාදයට හතුරු බව. අපි දේශපාලනයට ආධුනියන් නොවෙයි. අපි ඉතාමත් ශක්තිමත්ව, තව තවත් ජනතාව ඒකරාශී කර ගනිමින්, ජනතාව තුළ විශ්වාසය තහවුරු කරමින් මාලිමාව වේගවත්ව වර්ධනය කර ගන්නවා. එදාට වඩා අපි වැඩ කරනවා. ඔයාගේ බොරු වළවල්වලට අපිව වට්ටවන්න බැරි බව මතක තබාගන්න.

සම්පත් මත පදනම් වූ කර්මාන්ත සංවර්ධන වැඩපිළිවෙළක් අප සතුයි
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ලේකම්, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ටී.බී. සරත්

TBS

ඓතිහාසික පොලොන්නරු පුරවරය දේශපාලන පක්ෂ දෙකක, බල අධිකාරී බලයක් ලෙස හැමදාමත් ඉතිහාසයේ ලියැවුණා. මෛත්‍රීපාල සිරිසේනලාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බල ඇණියට එක විටෙක ලියැවෙනකොට, තව විටෙක ලියැවුණේ නෙල්සන්ලගේ බල අධිකාරිය වුණු, එක්සත් ජාතික පක්ෂයට.

 

ඉතිහාසයේ පළමුවෙනි වතාවට පුලතිසි පුරවරය ජාතික ජන බලවේගය විසින් අත්පත් කරගෙන අවසානයි. පසුගිය සතියේ පොළොන්නරුවේ සමුපකාර ඡන්ද තුනක් තිබුණා. විජිතපුර සමුපකාර සමිතිය, කොට්ඨාස 78න් 70ක්ම මාලිමාවේ කණ්ඩායම ජයග්‍රහණය කළා. කවුඩුල්ල විවිධ සේවා සමුපකාර සමිතිය කොට්ඨාස 59න් කොට්ඨාස 51ක බලය මාලිමාව අත්පත් කර ගත්තා. හිඟුරක්ගොඩ සමුපකාර සමිතියේ නිලවරණය ආවා. මේ නිලවරණය විශේෂත්වයක් ගත්තා. හෙලිකොප්ටරය, අත ලකුණ, ස.ජ.බෙ., එ.ජා.ප.ය, පොහොට්ටුව ප්‍රමුඛව කණ්ඩායමක් දැම්මා සියලුම පක්ෂ එකතුවෙලා අපිත් සමග තරග වැදුණා. නමුත් ඔවුන්ට ලබාගන්න පුළුවන් වුණේ ආසන 04යි. මාලිමාවේ අපි ආසන 50ක් ලබාගන්න සමත් වුණා. අපිට හරියටම පැහැදිලියි, එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී පොළොන්නරුවේ ආසන හතම ජයග්‍රහණය කරන්න මාලිමාවට හැකිවෙන බවට. කදුරුවෙලට ඇවිත් ඉන්න දස දහස් ජනතාව එක්රොක් වෙලා සිටින්නේ පොළොන්නරුව මහ නගර සභා සීමාව ඇතුලේ. පොලොන්නරුවේ මහ නගර සභාවේ බලයත් මාලිමාවෙ අපි අත්පත් කර ගන්නවා.



අප ඉදිරියේ තිබෙන්නේ බරපතළ අභියෝගයක්. ජයග්‍රහණය පිළිබඳව නොවෙයි, ජයග්‍රහණයෙන් පසුව අපට තිබෙනවා ලොකු අභියෝගයක්. ලක්ෂ හතරහමාරකට වඩා මේ පොළොන්නරු පුරවරයේ ජීවත් වෙනවා. ප්‍රධාන ආර්ථික මාර්ගය තමයි කෘෂිකර්මාන්තය. අපට ගොවිතැන සඳහා පොහොර ටික, තෙල් ටික නැහැ. ලබාගන්න අස්වැන්නට සාධාරණ මිලක් නැහැ. අද වී කිලෝ එකක් නිෂ්පාදනය කරන්න රුපියල් 130/-කට 135/-කට ආසන්න මුදලක් වැයවෙනවා. රනිල්ගේ ආණ්ඩුව දෙන්නේ වී කිලෝ එකකට රුපියල් 100/-යි. අද මේ මහ පොළොවේ තිබෙන සැබෑ මිල රුපියල් 60/-යි, 65/-යි. මේ දුර්දාන්ත, බෙලහීන, ආර්ථික ලෙස කඩා වැටුණු මේ ආණ්ඩුවෙන් සාධාරණ මිලක් ඉල්ලා සටන් කළාට සාධාරණ මිලක් දෙන්නෙ නැහැ. අපේ ගොවිබිම් සශ්‍රීක කරන්න, මේ ගොවිබිම් මීට වඩා තුන් ගුණයකින් සංවර්ධනය කරන්න සමත් ආණ්ඩුවක් අපිට නැහැ. ඒ නිසා මේ පුලතිසි පුරවරයේ ජනතාවට අපි කියනවා ගොවි ජනතාවගේ ආණ්ඩුවක් හදන්න අරගල කරනවා මිසක මේ ධනපති ආණ්ඩුවෙන් ඉල්ලීම් ඉල්ලලා අපි එන්නේ නැහැ. අපි අපේ ආණ්ඩුවක් හදන්න පෙරමුණ ගෙන සටන් කරනවා. ඒ සටනේ ආරම්භක මැතිවරණය ප්‍රාදේශීය සභා මැතිවරණය.

ඡන්දෙ තියන්න තවම හරියටම දිනයක් නැහැ. එහෙත් ඡන්දෙ එන්නේ මාසෙකින්ද, තව මාස දෙකකින්ද, තුනකින්ද ඒ ඕනම අවස්ථාවක එන මැතිවරණය ජයග්‍රහණයෙන් කෙළවර කරන්න මාලිමාව සූදානම්. පළාත් පාලන මැතිවරණය, මහ මැතිවරණය, ජනාධිපතිවරණයේ ජයග්‍රහණයෙන් පසුව පොළොන්නරුව ගොඩනගන ඓතිහාසික වගකීම අපි අතට ගන්නවා. කෘෂිකර්මාන්තය නගා සිටුවීමේ විද්‍යාත්මක වැඩපිළිවෙළක් අපි ක්‍රියාවට නගනවා. අපේ රටේ ගොවියන්ට උවමනා කරන, බීජ, පොහොර, තෙල්, ගොවි උපකරණ, ටික ලබාදෙනවා. එපමණක් නොවෙයි ලෝකයේ තිබෙන විද්‍යාත්මක දැනුම කෘෂිකර්මාන්තයට ගේනවා. අපේ රටේ ආර්ථිකයේ විශාලම තම පංගුව කෘෂිකර්මාන්තය බවට පත්කරන්න කටයුතු කරනවා. අපිට මේ ගොවිබිම්වලින් විශාල සංවර්ධනයක් ඇති කර ගන්න හැකිවෙනවා.

අපේ ගොවිජනතාවගේ විශ්වවිද්‍යාලයට සමත් වෙන සෑම දරුවෙකුටම විශ්වවිද්‍යාලයට යන්න වරම් ලැබෙන්නේ නැහැ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ විශ්වවිද්‍යාලයට සමත්වෙන සියලුම දරුවන්ට උසස් අධ්‍යාපනය ලබන්න හැකි අධ්‍යාපන නවෝදයක් අපි ඇති කරනවා. උසස් අධ්‍යාපනය ලබන්න කැමති සියලුම දරුවන්ට මාර්ගෝපදේශකත්වය දෙන්න, පහසුකම් සපයන්න අපි සූදානම්. අපේ දිස්ත්‍රික්කයේ සම්පත් මත පදනම් වුණු කර්මාන්ත, සංචාරක කර්මාන්තය දියුණු කරන්න වැඩපිළිවෙළක් අපි සතුව තිබෙනවා. පොළොන්නරුව නගාසිටුවීම සඳහා ජාතික ජන බලවේගයේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අපේ බලය තහවුරු කර ගත යුතුව තිබෙනවා. අප ඉදිරියේ එන ඕනෑම මැතිවරණයකින් මාලිමාව ජයග්‍රහණය කරවීමට අපි සූදානම් වෙමු.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්