ගොවිජන සංවර්ධන පනත හා කුඹුරු ඉඩම් පනත කාලයට ඔබින පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ජනපතිවරයා විසින් අවධාරණය කර සිටියි.


ඊයේ (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ සම්බන්ධයෙන් රජයේ බලධාරීන්ගේ අවධානය යොමුකර ඇත.

 ආයෝජන ප්‍රවර්ධනය සඳහා ඉදිරිපත් කර ඇති 2023 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සහ ඉඩම් කාර්යක්ෂමව භාවිතය පිළිබඳ 2023 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබිණි.

රජයේ ආයතන හා දෙපාර්තමේන්තු සතුව භාවිතයට නොගෙන පවතින රජය සතු ඉඩම් ප්‍රමාණය කඩිනමින් හඳුනා ගැනීම සහ එම හඳුනාගත් ඉඩම් පිළිබඳව තොරතුරු ඇතුළත් දත්ත බැංකුවක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත.

හඳුනාගත් ඉඩම් කාර්යක්ෂමව භාවිතා කිරීම සඳහා ආර්ථිකමය වශයෙන් ඵලදායී ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කිරීමටත්, ඒ සම්බන්ධව අවශ්‍ය තීරණ ගැනීමට කමිටුවක් පත් කිරීමටත් ජනාධිපතිවරයා විසින් උපදෙස් දී තිබේ.

  ගොවිජන සංවර්ධන පනත හා කුඹුරු ඉඩම් පනත කාලයට ඔබින පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර ඇති ජනාධිපතිවරයා, ඒ අනුව වගා කළ හැකි කුඹුරු ඉඩම් නැවත වගා කිරීමටත් අනෙකුත් කුඹුරු ඉඩම්වල වෙනත් භෝග වගාකීරීමට හැකි වන පරිදි අදාල අනපනත් සංශෝධනය කිරීමේ වැදගත්කමත් පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.


ආයෝජන තොරතුරු ඩිජිටල්කරණයට උපදෙස්


ආයෝජන තොරතුරු අවශ්‍ය ඕනෑම පාර්ශවයක් වෙත පහසුවෙන් හා කඩිනමින් ලබා ගත හැකි වන පරිදි  ඩිජිටල්කරණය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාල බලධාරීන්ට උපදෙස් දී ඇත.

මෙරට ආයෝජන අවස්ථා දිරි ගැන්වීම සහ ප්‍රවර්ධනය එහි අරමුණ වන අතර ඒ තුළින් නව ආයෝජන අවස්ථා පහසුවෙන් හඳුනාගැනීමට ආයෝජකයින්ට අවස්ථාව උදාවන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.  

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති  ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග,  ක්‍රමෝපායික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් චාන්දනී විජේවර්ධන සහ රේඛීය ආයතන ප්‍රධානීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

 
 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්