ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබා දෙන ණය ඉල්ලුම්පත්‍රයේ දී ශ්‍රී ලංකාවට සහාය දෙන බවට

චීනයේ අපනයන - ආනයන බැංකුව සහතික වී ඇත.

 චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නින්ග් මෙම අදහස් පළ කර ඇත්තේ දෛනික මාධ්‍ය හමුවේදීය.

චීන අපනයන-ආනයන බැංකුව විසින් ශ්‍රී ලංකාවේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයට මූල්‍ය ආධාර ලේඛනයක්ද ලබා දුන් බව ඇය පවසා ඇත.

ශ්‍රී ලංකාවේ කෙටිකාලීන ණය ආපසු ගෙවීමේ පීඩනයෙන් මිදීම සඳහා චීන එක්සිම් බැංකුව 2022 සහ 2023 දී ගෙවිය යුතු ණය සේවා දිගුවක් ලබා දීමට සූදානම් බව එම ලිපියෙන් දන්වා ඇති බව විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකාව එහිදී පවසා තිබේ.

එහිදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳවද ඇයගෙන් විමසා ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමින් ඇය පවසා ඇත්තේ, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් ඇතුළු වාණිජ ණය හිමියන්ට සමානව සංසන්දනාත්මක ආකාරයකින් බහුපාර්ශ්වික ණය හිමියන්ටද ඔවුන්ගේ උපරිම දායකත්වය ලබා දෙන ලෙස චීන එක්සිම් බැංකුව අඛණ්ඩව ඉල්ලා සිටින බවයි.

චීනය අවංකවම ණය තිරසාරභාවය සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහය දැක්වීමට සූදානම් බවත්, ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ක්‍රියාශීලීව ක්‍රියාත්මක කිරීමේදී අදාළ මූල්‍ය ආයතනවලට චීනය අඛණ්ඩව සහාය දෙන බවත් ඇය වැඩිදුරටත් පවසයි.

අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ එක්ව ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය මඟ හරවා ගැනීමටත්, එහි ණය බර ලිහිල් කිරීමටත්, තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීමටත් ධනාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට චීනය කටයුතු කරන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නින්ග් වැඩිදුරටත් පවසා ඇත.


''වසර 10ක පමණ ණය සහන කාලයක් අවශ්‍යයි '' -මහාචාර්ය වසන්ත අතුකෝරල

කෙසේ වෙතත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසන්නේ ද්විපාර්ශ්වික ණය සම්බන්ධයෙන් චීනය සමඟ එකඟතාවයකට පැමිණෙන තෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ණය වැඩසටහනකට එළඹීමට ශ්‍රී ලංකාවට නොහැකි වනු ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ණය වැඩසටහන සාර්ථක කර ගැනීමට නම් ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති ණය සඳහා අවම වශයෙන් වසර 10ක පමණ ණය සහන කාලයක් ලබා දීමට චීනය එකඟ විය යුතු බවද මහාචාර්ය වසන්ත අතුකෝරල පෙන්වා දෙයි.


(nethnews.lk)


 JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්