ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඇ) ව්‍යවස්ථාවෙන් පැනනගින බලතල සහ වරප්‍රසාද උල්ලංඝණය වන අවස්ථාවලදී ඒ සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේ බලය පාර්ලිමේන්තුව සතු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත පාර්ලිමේන්තුවේදී ඊයේ (මාර්තු 7) පැවසීය.



මන්ත්‍රී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් මන්ත්‍රීවරයා එම කාරණය අවධාරණය කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ එස්සී (එෆ්ආර්) ඉල්ලුම්පත් අංක 69/2023හි, 2023 මාර්තු 3 වැනි සිකුරාදා දිනැතිව සිදු කරන ලද අතුරු නියෝග මගින් පැන නගින පාර්ලිමේන්තුවේ වරප්‍රසාද සහ බලතල උල්ලංඝණය කිරීමක් සම්බන්ධව කතානායකවරයාගේ අවධානයට යොමු කරමින් මන්ත්‍රීවරයා ඒ පිළිබඳව වැඩිදුරටත් ඉදිරිපත් කළ කරුණු මෙසේ ය.


“රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ පූර්ණ බලතල හිමි වන්නේ පාර්ලිමේන්තුවටයි”


# ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148, 149 සහ 150 ව්‍යවස්ථා මගින්,

(i) ඒකාබද්ධ අරමුදල ඇතුළුව රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතුවේ;
(ii) ඒකාබද්ධ අරමුදලින් මුදල් ඉවත් කර ගත හැක්කේ මුදල් අමාත්‍යවරයාගේ අස්සනින් යුත් බලපත්‍රයක අධිකාරය යටතේ පමණක් වන අතර
(iii) බලපත්‍රයක් නිකුත් කළ හැක්කේ එම මුදල් රජයේ නියමිත සේවාවක් සඳහා යෙදවීමට පාර්ලිමේන්තුව විසින් ඡන්දයදී සම්මත කිරීමෙන් පමණකි.


# 2022 අංක 43 දරන විසර්ජන පනත මඟින් 2023 මුදල් වර්ෂයේ රජයේ ක්‍රියාකාරකම් සඳහා ඒකාබද්ධ අරමුදලට ලැබෙන බදු, අයබදු, වරිපනම් හා තීරුබදු සහ අනෙකුත් සියලු ම ආදායම්වලින් මුදල් වෙන් කරනු ලැබ ඇත. එම පනතේ ම 7 වන වගන්තිය මගින් පූර්වයෙන් අපේක්‍ෂිත තත්ත්වයට වඩා ආදායම් ලැබීම අඩු නම්, කලින් බලය දෙනු ලැබූ වියදම් සීමා කිරීමේ බලය අමාත්‍යවරයා සතු වේ.

# තව ද, 2003 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනතේ 3 වන වගන්තියට අනුව රජය පහත අරමුණු පිළිපැදිය යුතු වේ;

“(ආ) වෙනස් වෙන ආර්ථික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් රජය මුහුණ දෙන මූල්‍ය අවදානම් පිළිබඳ විචක්ෂණශීලී කළමනාකරණය

(ඇ) රජයේ ණය අත්‍යන්ත මට්ටමට වැඩි නොකරන වියදම් සම්බන්ධ ප්‍රතිපත්ති සම්මත කිරීම.”


# 10, 11 සහ 12 වගන්ති යටතේ, වසර මැද මූල්‍ය තත්ත්වය වාර්තාවේ ඇස්තමේන්තු ගත ආදායමේ හෝ මුදල් ප්‍රවාහයේ හිඟයක් පවතී නම්, මුදල් විෂය භාර අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතු ය.

# ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි ව්‍යවස්ථාව සමඟ කියවන 43(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, මෙම නීති සහ මූල්‍ය රෙගුලාසි බලාත්මක කිරීමේදී රාජ්‍ය මූල්‍ය පාලනය කරන අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වගකිව යුතු ය.

 

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් කිහිප දෙනෙකු විසින් නිකුත් කරන ලද අතුරු නියෝගය මගින් මෙම නීති ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට සහ පාර්ලිමේන්තුව විසින් රාජ්‍ය මූල්‍ය පාලනය ශුන්‍යතාවට පත්කිරීමට උත්සාහ දරන බවත්, එය රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට පැවරී ඇති අනුල්ලංඝණීය බලතලවලට ද ඇගිලි ගැසීමක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

 

නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත තවදුරටත් මෙසේද කරුණු පැහැදිලි කළේය.

අතුරු නියෝගය මගින් 2023 වර්ෂය සඳහා සක්‍රිය අයවැය ඇස්තමේන්තු බලාත්මක කිරීමට අපේක්‍ෂා කරයි. සක්‍රිය අය-වැය ඇස්තමේන්තු නීතියක් හෝ නීතිමය ලේඛනයක් නොවේ. එය 2023 විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී පාර්ලිමේන්තුවට සහායවීම සඳහා වන සාරාංශයකි.

මෙම අතුරු නියෝගය මගින් පාර්ලිමේන්තු පනතක්, එනම් 2022 අංක 43 දරන විසර්ජන පනත අභිභවා යමින් සක්‍රිය අයවැය ඇස්තමේන්තුවලට නෛතික වලංගුභාවයක් ලබා දීමට අපේක්‍ෂා කරයි. මෙය රාජ්‍ය මූල්‍ය පිළිබඳ විචක්ෂණශීලී කළමනාකරණයට ද බලපානු ඇති අතර එමඟින් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතේ විධිවිධාන උල්ලංඝණය වේ.

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තුවට වගකියනු ලබයි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් කොමිෂන් සභාව විසින් මුහුණ දෙන ගැටලු පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මේ වන විටත් ගරු කතානායකුතුමන් වෙත දන්වා ඇත. තව ද, මැතිවරණ කොමිෂන් සභාව විසින් එම ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කිරීමට යෝජනාවක් න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇත. එබැවින් මෙම කරුණු දැනටමත් පාර්ලිමේන්තුවේ විෂය පථය තුළට පැමිණ තිබෙන කරුණු වන අතර එවිට පාර්ලිමේන්තුවේ කටයුතු බවට පත්වන කරුණු වේ. මෙම අතුරු නියෝගය ලබා දීමට පෙර නීතිපති දෙපාර්තමේන්තුව විසින් මෙම කරුණ අධිකරණයේ අවධානයට යොමුකර ඇති අතර එයින් පෙනී යන්නේ එම නියෝගය නිකුත් කළ ගරු විනිසුරුවරුන් එය නොසලකා හැර ඇති බව යි.

 

2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉල්ලුම්පත් ගණනාවක් ගොනුකර තිබිණි. මෙම ඉල්ලුම්පත් පිළිබඳ අධිකරණ ක්‍රියාමාර්ග වෙනත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග වෙමින් පවතී. එම අධිකරණ ක්‍රියාමාර්ගවලදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කිරීමට නියමිතව ඇති එක් කරුණක් වන්නේ, මුදල් නොමැතිකම පිළිබඳ භාණ්ඩාගාර ලේකම් විසින් සිදුකළ දිවුරුම් ප්‍රකාශය යි. මැතිවරණ කොමිෂන් සභාවේ නීතිඥවරයා විසින් එම දිවුරුම් ප්‍රකාශයට අදාළව ප්‍රතිචාර දැක්වීම සඳහා අධිකරණයෙන් තවදුරටත් කල් ඉල්ලා ඇත. එවැනිම දිවුරුම් ප්‍රකාශයක් මෙම ඉල්ලුම්පතෙහි ගොනුකර ඇත.

අතුරු නියෝගය මගින් මෙම දිවුරුම් ප්‍රකාශය නොසලකා හැර ඇති අතර එහි අන්තර්ගතය අනෙක් විනිසුරු මඬුල්ල විසින් සලකා බලනු ලැබේ.

 

ශ්‍රේෂ්ඨාධිකරණයේ එක් විනිසුරු මඩුල්ලක් මෙම කරුණ නොසලකා හැර අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට කටයුතු කර ඇත්නම්, එය අධිකරණ අරාජිකත්වයට තුඩු දෙන ස්ථාපිත භාවිතයන් සහ සම්මතයන් උල්ලංඝණය කිරීමකි.

 

මැතිවරණ කොමිෂන් සභාව මෙම ඉල්ලුම්පත – එස්සී (එෆ්ආර්) ඉල්ලුම්පත් අංක 69/2023හි පාර්ශවකරුවෙකු නොවේ. මැතිවරණ කොමිෂන් සභාවේ කිසිදු සම්බන්ධයක් නොමැතිව මෙම අතුරු නියෝගය නිකුත් කර ඇත.

අතුරු නියෝගය මගින් ස්වාභාවික යුක්තියේ මූලධර්මයක් උල්ලංඝණය කරයි. මෙම අතුරු නියෝගය නිකුත් කළ එක් උගත් විනිසුරුවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ අනෙක් විනිසුරු මඬුල්ල ඉදිරියේ විභාග වන එවැනිම නඩුවක පෙත්සම්කරුවකුට සම්බන්ධ ය. උගත් විනිසුරුවරයා එම සම්බන්ධය හෙළි කර නොමැති අතර ඔහු නඩුවෙන් ඉවත් වී නොමැත.


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image