පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සඳහා ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේ පියවර ගත යුතුව තිබූ නමුත් මාස තුන හමාරකට අධික කාලයක් කල් මැරීමෙන් පසු ආර්ථික අර්බුදය උග්‍ර වූ අවස්ථාවේදී මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසම පියවර ගත් බව නීතිපතිවරයා ඊයේ (16) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.



පළාත් පාලන ආයතනවල ධුර කාලය අවසන් වීමට නියමිතව තිබූ මාර්තු මස 19 දාට පෙර පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීරණය කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මේ බව සඳහන් කළේය.

ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණි අමරසේකර, ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවිණි.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු විසින් මෙම පෙත්සම ගොනු කර තිබිණි. මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා සහ එම කොමිසමේ සාමාජිකයන් ඇතුළු පිරිසක් පෙත්සමෙහි වගඋත්තරකරුවෝ වූහ.

 

පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වන විට එම නිල කාලය වසරක කාලයකට දීර්ඝ කිරීමේ බලය මහ ඇමැතිවරයා සතු වන අතර, එලෙස දීර්ඝ කරන ලද නිල කාලය මාර්තු මස 19 වැනිදා අවසන් වන බව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විරාන් කොරයා සඳහන් කළේය. ඊට පෙර මැතිවරණය පැවැත්විය යුතු නමුත් ඊට පියවර නොගැනීම නිසා ඡන්ද දායකයින් ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට ඔහු සඳහන් කළේය.

 

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන සඳහන් කළේ මෙම පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස මැතිවරණ කොමිසම නම් කර නැති බවයි.

ඡන්දය පැවැත්වීම සඳහා පහසුකම් සැලසීමට ඇති බාධක රාජ්‍ය නිලධාරීන් විසින් මැතිවරණ කොමිසමට දැනුම් දී ඇති නමුත් එම කොමිසම මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවකු නොවීම නිසා එම කරණු අධිකරණය හමුවට ඉදිරිපත් කළ නොහැකි බවයි. කරුණු සලකා බැලූ අධිකරණය පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නේය.

එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10, 12(1), 14 (1)a යන ව්‍යවස්ථා මගින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය විය හැකිය යන පදනම මත මෙම පෙත්සම් විභාගයට අවසර දෙන ලදි. පෙත්සම් විභාගය ජුනි 27වැනිදා සිදු කිරීමට නියම කළේය.


(dinamina.lk)

 

 

JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්