IMF සැරසෙන්නේ ශ්‍රී ලංකාවේ ජනතාව "නිරාහාරව මියයෑමට" සලස්වා හෝ "තම ස්වාමිවරුන්ට" ගෙවිය යුතු ණය වාරික අඛණ්ඩව ලබා ගැනීමේ ක්‍රියාදාමයකටයි" යයි උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක විමල් වීරවංශ පවසයි.

 

ජනතාවට බදු පිට බදු ගැසීමට, පොලී අනුපාත ඉහළ දැමීමට, මහ බැංකුව ස්වාධීන කිරීමට, දේශීය බැංකු කඩාවැටීමට සැලැස්වීමට ආදාළ කොන්දේසි පනවමින්, මෙරට ජනතාව නිරාහාරව මියයෑමට සලස්වා හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සැරසෙන්නේ "තම ස්වාමිවරුන්" වන ඇමරිකානු, බ්‍රිතාන්‍ය, ජර්මානු ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලට ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය පොලී වාරිකය හෝ අඛණ්ඩව ලබා ගැනීමට යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටියි.

ඉහත සඳහන් ජාත්‍යන්තර මූල්‍ය ආයතන ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර(ISB) මගින් ණය ලබාදීමෙන් ශ්‍රී ලංකාවේ සමස්ත ව්දේශීය ණය ප්‍රමාණයෙන් 36%කට පමණක් හිමිකම් කියූවත් මෙරට සමස්ත ණය පොලී වාරිකයෙන් 76%කට හිමිකම් කියන බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය පහසුකම් ලබා ගැනීමට සමත් වීම පිළිබඳව පාර්ලිමේන්තුවේ පසුගිය 23 දා පැවැති විවාදයේදී අදහස් දක්වමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා මෙම කරුණු අනාවරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උත්තර ලංකා සභාගයේ සභාපතිවරයා මෙසේද සඳහන් කළේය.


"ණයට රතිඤ්ඤා"


PHOTO 2023 03 26 11 43 01"මම හිතන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණයක් අනුමත වීමෙන් පසුව රතිඤ්ඤා පත්තු කරපු රටක් ඇත්නම් එය ශ්‍රී ලංකාව පමණයි. ඒ වගේම එම ණය ලබා ගැනීමට මුල් වුණු ජනාධිපතිතුමාට ප්‍රණාමය පුද කරලා ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීතුමන්ලා බැනර් ප්‍රදර්ශනය කරලා තිබුණා. මේ ජවනිකා දිහා බලලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් කාටත් නොපෙනෙන ආකාරයෙන් හිනා වෙනවා ඇති. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යන ගමනේ පළමු අදියරේදී තමයි මේ ජවනිකා දැක ගැනීමට සිදු වුණේ.

 

20200223001450966290 original

Yanis Varoufakis

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යන මේ ගමනේ දෙවැනි අදියරේදී තමයි දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ ක්‍රියාවලිය ආරම්භ වීමට නියමිතව ඇත්තේ. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ගියාම තමයි අපේ රටේ මූල්‍ය පද්ධතියට, බැංකු පද්ධතියට දැවැන්ත හානිකර බලපෑමකට ලක් වීමට සිදු වන්නේ. අපි කොහොමත් බොහෝ දුර දකින මිනිස්සු නොවෙයි. මේ රට මේ විපතට ඇදවැටීමට ඒකත් එක හේතුවක්. මූල්‍ය අරමුදල සමග යන මේ ක්‍රියාවලිය කෙළවර වන්නේ රට මීටත් වඩා අසීරු අඩියකට ඇද දමමින්. ඒක මම නෙවෙයි කියන්නේ ග්‍රීසියේ හිටපු මුදල් අමාත්‍යවරයකු වන Yanis Varoufakis මැතිතුමා විසිනුයි.

ඔහු තමන් දරපු ග්‍රීසියේ මුදල් අමාත්‍ය ධුරය අතහැරියේ තම රටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කළ හුටපටය නිසයි. එතුමා කියනවා, 'ශ්‍රී ලංකාව තිත්ත බෙහෙතක් යැයි සිතා වස පානය නොකළ යුතුය' කියා. ඔහු හොඳින් පෙන්වා දී තිබෙනවා, ග්‍රීසියේ ඇති වූ ආර්ථික අර්බුදයට IMF දොස්තරගෙන් ගත්තු බෙහෙත්වලින් ඇති වූ මානුෂවාදී අර්බුදය කොතරම් බරපතලද, කියා. ඔහු අවධාරණය කර තිබෙනවා, 'ග්‍රීසිය 2010, 2015, 2016, 2018 යන වර්ෂවල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගියත් තම රටට අයහපතක් මිස කිසිදු යහපතක් සිදුව නැහැ' කියා. ඒ වගේම ඔහු වැඩිදුරටත් අවධාරණය කරනවා, 'ග්‍රීසිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැන වූ කොන්දේසි ඉටු කිරීමට යාමෙන් සිදු වුණේ කබලෙන් ලිපට වැටීමට' කියා. තමන් සිදු කළ ප්‍රතිකර්ම හේතුකොට ගෙන ග්‍රීසියේ ජනතාව පත් වූ අන්ත අසරණ ඉරණම පිළිබඳව එම ජනතාවගෙන් සමාව ඉල්ලීමට අවසානයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සිද්ධ වුණා. IMF දොස්තරගෙන් බෙහෙත් ගන්න ගිය ආජන්ටිනාව පත් වූ අන්ත අසරණ ඉරණම පිළිබඳවත් මෙවැනි නිදසුන් තිබෙනවා.

Globalization and Its Discontentsනොබෙල් ත්‍යාගලාභී, ආර්ථික විද්‍යාඥයකු මෙන්ම, 1997 - 2000 වකවානුවේ ලෝක බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ තනතුර දරපු Joseph Stiglitz මැතිතුමා තමාගේ 'Globalization and Its Discontents(2002)' කෘතියෙන් 'ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු දුප්පත්ම රටවල අසාර්ථක ආර්ථික ප්‍රතිසංස්කරණ අනුගමනයෙන් කරවීමේ මූලික වරදකරු' බව පෙන්වා දී තිබෙනවා එතුමාට අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටකට ණය පහසුකම් ලබාදීමට සුලබව ඉදිරිපත් කරනු ලබන කොන්දේසි අතර බදු ඉහළ දැමීම, පොලී අනුපාත ඉහළ දැමීම, ආනයනික සීමා ලිහිල් කිරීම, පෞද්ගලීකරණය, ප්‍රාග්ධන වෙළෙඳපොළ විවෘත කිරීම, නීති රීති සීමා ලිහිල් කිරීම යන බරපතළ ගණයේ කොන්දේසි ඇතුළත් වෙනවා. මේ කොන්දේසිවලට අවනත වෙලා, ඒවා ක්‍රියාවට නැංවීමෙන් කෙටිකාලීනව විශාල වියවුලක් නොපෙනුනත් මධ්‍යකාලීන සහ දිගුකාලීනව යම් රටකට බරපතළ වියවුලකට මුහුණ දීමට සිදු වෙනවා.


මහ බැංකුව පරම ස්වාධීන ආයතනයක්? 


ශ්‍රී ලංකාවට ණය ලබාදීමේදීත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කර තිබෙන්නේ ඉහත කී ආකාරයේ ඉතා බරපතළ කොන්දේසි ගණනාවක්. එක් කොන්දේසියක් තමයි මහ බැංකුව ස්වාධීනකරණය කිරීම. දැන් බලන්න, මැතිවරණ කොමිසම නම් ස්වාධීන විය යුතුයි. එහි මූලික වගකීම තමයි කලින්කලට, නිසි පරිදි මැතිවරණ පැවැත්වීම. ඒ වුණාට මහ බැංකුව පරම ස්වාධීන ආයතනයක් වෙන්නේ කොහොමද? එය රාජ්‍යයේ කොටසක් නොවෙයිද? දැනටමත් මහ බැංකුව ස්වාධීන කිරීමේ ක්‍රියාවලිය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ප්‍රකාරව මේ ආණ්ඩුව අරඹා තිබෙනවා. ඊට අදාළ පනත් කෙටුම්පත දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව මහ බැංකුව ශ්‍රී ලංකා රාජ්‍යයට වගකියන්නේ නැහැ. ඒක කොතරම් අපූරු පනත් කෙටුම්පතක් ද කියනවා නම් 'මහ බැංකු නිලධාරීන් බදුවලින් නිදහස් කළ යුතුයි' කියලත් එහි සඳහන්.
 
 
මේ පරම ස්වාධීනත්වය හදපුවාම ශ්‍රී ලංකා මහ බැංකුව අයිති වෙන්නේ ශ්‍රී ලංකා රාජ්‍යයට නොවෙයි, ඉන් බාහිර බලවේගවලට. ශ්‍රී ලංකා මහ බැංකුව කියන්නේ මේ රටේ ආර්ථිකයේ හදවත වගෙයි. එතැනින් තමයි මේ රටේ ආර්ථිකයට අදාළ ප්‍රතිපත්ති සැකසෙන්නේ. එය මහ බැංකුවේ නිලධාරීන් පිරිසකට විතරක් සිදු කළ හැකි කාර්යයක් ද? මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට වෙනස් ආකාරයේ ප්‍රතිපත්ති තිබෙන ආණ්ඩුවක් ඉදිරියේදී බලයට ආවොත් ඒ ආණ්ඩුවේ උපායමාර්ගික සැලසුම්, ප්‍රතිපත්ති අනුව මහ බැංකුවේ ක්‍රියාකාරීත්වය වෙනස් කරගන්න ඔවුන්ට පුළුවන් වෙන්න ඕනේ. එහෙම කරන්න බැරි නම් මහ බැංකුව පරමාධිපත්‍ය බලය හිමි ජනතාවට වගකියන ආයතනයක් වන්නේ ද නැහැ.
 
 
'ස්වාමිවරුන්ගේ' ණය ලබා ගැනීමට ක්‍රමයක්!


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණය ලබාදීමට ඉදිරිපත් වීමට විශේෂ හේතුවක් ද තිබෙනවා. ඒ හේතුව කුමක්ද, කියා අපි බලමු. අපි දන්නවා, අපේ විදේශීය ණය තොගයෙන් 36%කට වැඩි ප්‍රමාණයක් රැගෙන තිබෙන්නේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මගින් කියලා. ඇමරිකානු, බ්‍රිතාන්‍ය, ජර්මානු මූල්‍ය ආයතනවලින් තමයි මේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර රැගෙන තිබෙන්නේ. මේ ජාත්‍යන්තර මූල්‍ය ආයතන තමයි අවසන් විග්‍රහයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ස්වාමිවරුන් බවට පත්වන්නේ. අපි අරන් තිබෙන සමස්ත විදේශ ණය ප්‍රමාණයෙන් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර(ISB) හරහා ලබාගෙන ඇත්තේ සියයට තිස්හයක් වුවත් අපට ගෙවීමට සිදුව ඇති ණය පොලී වාරිකයෙන් සියයට හැත්තෑහයක් ඒ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වෙනුවෙන් ගෙවීමට සිදුව තිබෙනවා.
 
 
එහෙමනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය වෙලා තිබෙන්නේ කුමක්ද? ශ්‍රී ලංකාවේ ජනතාවට බදු පිට බදු ගහලා හරි, පොලී අනුපාත හැකි පමණ ඉහළ දමලා හරි, මහ බැංකුව 'පට්ට' ස්වාධීන කරලා හරි, දේශීය බැංකු කඩාවැටීමට සලස්වලා හරි තමන්ගේ ස්වාමිවරුන් වන ඉහත කී මූල්‍ය ආයතනවලට ගෙවීමට ඇති මේ 76%ක ණය පොලී වාරිකය අඛණ්ඩව ගෙවීමට හැකි අන්දමට ශ්‍රී ලංකාවේ ආර්ථිකය හැඩගස්වා ගැනීමටයි. ඒ වුවමනාව ඉටු කර ගැනීම හැර මේ රටේ වෘත්තිකයාට, ගොවියාට, සෙසු වැඩ කරන ජනතාවට තමන්ගේ කොන්දේසිවලින් කුමන ඉරණමක් අත් වෙනවාද, ඔවුන් නිරාහාරව මිය යනවාද, යන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වැදගත් නැහැ.
 
 
රෝගයට අදාළ රෝග නිදානය...


අපි මේ ප්‍රපාතයට ඇද වැටුණේ ණය උගුලේ වැටුණු නිසයි. මුලින්ම ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හරහා ණය ලබා ගැනීමට උපදෙස් දුන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසිනුයි. 'ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් බවට පත්ව තිබෙනවා' කියා ඔවුන් කීවා. එවිට අපට දුප්පත් රටක් ලෙස මූලික ප්‍රවාහවලින් ණය ලබා ගැනීමේ ක්‍රමවේදය අහිමි වුණා. අපි අපේ ජීවන රටාව වෙනස් කර ගන්න සූදානම් වුණේ නැහැ. 'ණයට අරන් - සැපට කාලා - ජොලියේ ඉන්න' නම් 'රෝල ගහගන්න' ඕනේ. ඒ නිසා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මගින් ණය ගැනීමට මාරු වුණා.

මහින්ද රාජපක්ෂ පාලනය තුළ, යුද්ධය පැවති සමයේ ඩොලර් බිලියන තුනකට අධික මුදලක් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මගින් ණයට අරගෙන තිබෙනවා. පොහොට්ටුවේ ඔබතුමාලා තෝරාගත්තු 'දොස්තර මහත්තයා - රනිල් වික්‍රමසිංහ'ගේ යහපාලන අවුරුදු හතරහමාර තුළ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ඩොලර් බිලියන 12.5ක් අරගෙන තිබෙනවා. මේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය තොගය තිබුණේ නැත්නම් අප රටක් ලෙස ගෙවිය යුතු විදේශ ණය පොලී වාරිකය 76%කින්ම අඩු වෙනවා. ඒ කියන්නේ අපට විදේශ ණය ගෙවා ගන්න හැකියාවක් තිබෙනවා. ඇත්ත කතාව තමයි, රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ යහපාලන ආණ්ඩු කාලය තුළ තමයි මේ අද පවතින රෝගයට අදාළ රෝග නිදානය හැදුවේ. එතුමා තමයි අද දොස්තර වෙලා තිබෙන්නේ. දැන් ජාත්‍යන්තර දොස්තරගේ භූමිකාව, අපට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හරහා ණය ගන්න කියපු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතට ගිහින් තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා දේශීය දොස්තර මහත්තයාගේ භූමිකාව බාර අරන් තිබෙනවා.
 
 
 
මම දැක්කා, 'ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මුලින්ම ගියේ වර්තමාන ජනාධිපති මුදල් ඇමැති කාලයේ නොවෙයි, බැසිල් රාජපක්ෂ මුදල් ඇමැති කාලයේ' යනුවෙන් සඳහන් 'පෝස්ට්: සමාජ ජාලවල හුවමාරු වෙනවා. මෙයාලා හිතනවා, 'ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම ගෞරවයට කාරණයක්' කියලා. ග්‍රීසියේ මුදල් ඇමති 'මට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් ජනතාවට දුක් දෙන්න බැහැ' කියා මුදල් අමාත්‍ය ධූරය අතහැර ගියා. නමුත් ලංකාවේ හිටපු මුදල් ඇමති, 'රනිල් නොවෙයි මුලින්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියේ මමයි' යනුවෙන් කපුටු පැටවුන්ට කියා 'පෝස්ට්' හදවලා සමාජ මාධ්‍යට නිකුත් කරනවා. මෙහෙම පරිකල්පනයක් තිබෙන මිනිස්සු ඉන්න රටකට හරි යයි ද?
 
 
ආපදා ධනවාදය


W4 Book tem1418 20220425135317 theedgemarkets

Naomi Klein නමැති සුප්‍රකට ලේඛිකාව, ඇය ලියු 'The Shock Doctrine' කෘතියෙන් Disaster Capitalism(ආපදා ධනවාදය) කියන අදහස මතු කර තිබෙනවා. එමගින් ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ 'ධනවාදයෙන් ආපදාව හදනවා. එය වර්ධනය කරනවා. එවිට සමාජය නිර්වින්දනය වෙනවා. මොනවාද වෙන්නේ, මොනවාද නොවෙන්නෙ, කියා ජනතාවට තේරුම් ගන්න බැරි වෙනවා. නිර්වින්දන තත්ත්වයෙන් මිදිලා ඔවුන් ආයෙත් ඇස් දෙක අරින්න කලින්, කළ යුතු සියල්ල සිදුකර ගන්නවා.' යනුවෙන්. ඉහත කරුණ තව විදියකට කිව්වා, නව ලිබරල්වාදය විශ්වාස කරන අයගේ ගුරු දේවතාවන් ලෙස සැලකෙන Milton Friedman නමැති ආර්ථික විද්‍යාඥයා විසින්. ඔහු කියන්නේ 'නිර්වින්දනයට ලක්ව ඇති ජනයා පියවි ඇස් විවෘත කිරීමට ප්‍රථම සියල්ල සිදු කළ යුතුයි.' යනුවෙනුයි. අද ශ්‍රී ලංකාවේ සිදුවෙන්නේ ඒක.


රනිල් කල් තියා දැන සිටි බව...



මට බරපතළ සැකයක් තිබෙනවා, රනිල් වික්‍රමසිංහ මහත්තයා 2015 - 2019 කාලයේ විදේශ ණය තොගයට ස්වෛරී බැඳුම්කර මගින් ඩොලර් බිලියන 12.5ක් එකතු කළ නිසා, 'මේ රෝල මෙහෙම ගිහින් කොතැනක හෝ හිරවෙනවා' කියා, ඔහු කල් තියා දැන සිටි බව. ඔහු ඒ බව නොතේරෙන තරමේ ඥානයක් නැත්තෙක් නොවෙයි. ඒ වගේම එයාට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන්න හැකියාවක් තිබුණත් එහෙම එන්නේ නැතිව අවුරුද්දක පමණ කාලයක් බලා සිටියා. එයා පාර්ලිමේන්තුවට ආවේ මේ අර්බුදය ඇති වෙන්න කිට්ටු කරලා. ආවාට පස්සෙත් එයා කළේ සත්ගුණවත් කතා තමයි. කලින් අපි රනිල් වික්‍රමසිංහගෙන් අහපු කතා නොවෙයි අපි ඒ මාස දෙක තුනේ ඇහුවේ.


'ගෝඨා ගෝ ගම' පළමුවැනි හට් ගැහුවේ කවු ද?


ඇවිත් මාස දෙක තුනෙන් ඔන්න ආර්ථිකය පිපුරුවා. පිපිරෙන කොටම එතුමාගේ අතට අගමැතිකම ආවා. ඊට පස්සේ අගමැති වෙලා 'බීබීසී' එකට මොකද කිව්වේ? 'සංචාරකයන් ලංකාවට එන්න. ඇවිත් අරගලයට සම්බන්ධ වෙන්න' කියලයි. අගමැති ධුරය දරද්දී කිව්වේ 'ගෝඨා ගෝ ගම ඉවත් කරන්න එපා!' කියලයි. බලන්න, 'ගෝඨා ගෝ ගම' පළමුවැනි හට් ගැහුවෙ කවුද? එක්සත් ජාතික පක්ෂයේ ආශු මාරසිංහලා. ජනාධිපති වුණාට පස්සේ නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා නෙළන්න පටන් ගත්තා; නමුත් ඒක වෙන කතාවක්. ඉලක්කයට ආවාට පස්සෙ, 'ගෝඨා ගෝ'  වුණාට පස්සේ තමයි නෙළුවේ. මේවා වළක්වාගන්න බැරි වුණා වගේ අපි එක එක විග්‍රහවල හිටියාට අපේ ආර්ථිකය අද හසුරුවන්නේ අපි නොවෙයි.


වොෂින්ටන් පාලනයක්!

දැන් බලන්න, ජනාධිපතිතුමාට වෘත්තිකයන්ට කියන්න සිද්ධ වෙලා 'අපි IMF වැඩසටහන මාස හයෙන් හයට සමාලෝචනය කරනවා. ඊළඟ සමාලෝචනයේදී ඔයගොල්ලොන්ගෙ ඉල්ලීම් එයාලට කියලා බලන්නම්. ඔයගොල්ලොත් ඒ රැස්වීමට සහභාගි වෙන්න' කියලා. ඔන්න රට වැටුණු තැන. දැන් මේ රට වොෂින්ටන්වලින් තමයි පාලනය වෙන්නේ. මෙහෙම ගියොත් ආර්ථිකය පමණක් නොවෙයි, රටේ ආරක්ෂාවත් ඔවුන්ගේ අතට යනවා. අපි දන්නවා, අපේ රට ඉතාම වැදගත් උපායමාර්ගික ස්ථානයක පිහිටි රටක්. ඒ නිසා අපේ රටේ ඇතැම් දේශපාලනඥයන් අද මෙහෙයවන්නෙ විදේශ තානාපති කාර්යාලවලින්.


'සුබාස්කරන් අලිරාජා'
 
 
එහෙම තත්ත්වයකට වැටුණු රටේ, මහජනයා නිර්වින්දනයට ලක් කිරීම මගින් ලාභ ලබන ටෙලිකොම් ආයතනය, ලංකා හොස්පිට්ල්ස් සමාගම ආදියෙහි කොටස් 'සුබාස්කරන් අලිරාජා'ට ලබා දෙන්න යනවා. මට ඔහු දෙමළ වීම ප්‍රශ්නයක් නොවෙයි. අපි සැලකිල්ලට ලක් කරන්නේ ඔහුගේ ඓතිහාසික පසුබිමයි. කාට දුන්නත් දැන් මේ ලාභ ලබන රාජ්‍ය ආයතන ටිකයි දෙන්න යන්නේ. පාඩු ලබන ඒවා මහජනයාට නොන්ඩි ගහමින් කර තියාගෙන යන්න වෙනවා. මේ සිදු වෙන්නේ මේ ආපදාව තමන්ගේ උපායමාර්ගික වුවමනා වෙනුවෙන් දැනුවත්ව යොදා ගැනීමක්. මේක අපරාධයක්. මේ අපරාධයට ඉඩ දිය යුතු නැහැ"
 





JW

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image