සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් වූ Trust Sri Lanka විශේෂඥ උපදේශණ සේවාවේ සමාරම්භක සම්මන්ත්‍රණය, මාර්තු 26 වෙනිදා සවස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ Monarch Imperial උත්සව ශාලාවේ දී පැවැත්විණ.



ඒ, 43 සේනාංකයේ නායක පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙනි. මේවනවිට ප්‍රසිද්ධ දේශපාලනයට ප්‍රවිෂ්ඨවී සිටින ප්‍රකට ව්‍යාපාරික දීලිත් ජයවීර ද මෙම අවස්ථාවට එක්ව සිටීම සුවිශේෂී කාරණයකි.

රටේ සමස්ත ව්‍යාපාර වලින් 80%ක් වන, රටේ දළ ජාතික නිෂ්පාදිතයට 52% ක දායකත්වය සපයන, රටේ සමස්ත රැකියා වෙළෙඳපොළෙන් 45% ක් ආවරණය කරන රටේ ආර්ථිකයේ කොඳු නාරටිය වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මුහුණ දෙමින් සිටින ගැටළුවලට විෂයානුබද්ධ උපදෙස් ලබා දීම සඳහා බැංකු සහ නීති ක්ෂේත්‍රවල සහ  සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර /මූල්‍ය උපදේශකයගෙන්  සැදුම් ලත් විශේෂඥ උපදේශන සේවාවක් Trust SRI LANKA – “දිරියෙන් නැගිටිමු” නමින් සැම සතියකම 43 සේනාංක ප්‍රධාන කාර්යාලයේ පැවත්වීමට කටයුතු සුදානම් කර ඇත.

ඒ අනුව, සමාජ අර්බුද හමුවේ විකල්ප නොමැතිව බැන අඬගසන, අවලාද නගන, ඝෝෂාකාරී සුලබ දේශපාලනය වෙනුවට, වැටුනු මිනිසුන්ට දිරියෙන් නැගී සිටීමට අතදෙන, සහකම්පනීය දේශපාලන ගමනක තවත් පියවරක් ලෙස 43 සේනාංකයේ Trust Sri Lanka විශේෂඥ උපදේශණ සේවාවේ සමාරම්භක සම්මන්ත්‍රණය 26 වෙනිදා පැවැත්විණ.


මෙහිදී

1. දැනට පවත්නා බැංකු පොළී අනුපාතයන් පහළ නොගියහොත් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත බිඳවැටීමේ අවධානමක් පවතින බැවින් ඒ සඳහා මහ බැංකුවේ ප්‍රමුඛ අවධානය යොමු විය යුතු බව

2. අවසරයන් ලබාගැනීම වැනි කටයුතු සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනුවෙන්ම වෙන්වූ ආයතනයක් පිහිටුවිය යුතු බව

3. මහා පරිමාණ කර්මාන්තයන්ට හා සමානවම සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්තවලට ද,අවු. 3 ක් වැනි කාල සීමාවක් සඳහා බදු සහන වැඩපිළිවෙලක් කඩිනමින් අවශ්‍ය බව

4. අපනයනය ඉලක්ක කරගත් සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් දිරිගැන්වීම, ඊ-ව්‍යාපාර ක්‍රමය සම්බන්ධ අවධානය යොමු කරමින් රටේ ආර්ථික සංවර්ධනයට ලබා දිය හැකි දායකත්වය

5. සෑම බැංකුවකම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනුවෙන්ම වූ බැංකු ඒකකයක් පිහිටුවීමට කටයුතු කිරීම හෝ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් ම වූ තනි බැංකුවක් පිහිටුවීමේ වැදගත්කම


යන කරුණු ප්‍රමුඛව අවධාරණය කෙරිණ.

43 සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින් මෙහිදී ප්‍රධාන දේශණය සිදු කරන ලද අතර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මුහුණ දෙන නීතිමය ගැටළු සහ ඒ සම්බන්ධ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් නීතිඥ හසිත ගමගේ විසින් දේශණයක් සිදු කරන ලදී.

සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ බැංකුකරණය සම්බන්ධයෙන් දේශණය සිදු කරන ලද්දේ මහජන බැංකුවේ හිටපු සාමාන්‍යාධිකාරී සුමතිපාල කාරියවසම්  ය. ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් දැනුවත් කිරීමේ දේශණය HCT Consulting (Pvt) Ltd හි සභාපති, වරලත් ගණකාධිකාරී චාමින්ද කුමාරසිරි විසින් සිදු කරන ලදී.

 ඉන් අනතුරුව ඉහත සම්පත් දායකයන්ගේ සහභාගීත්වයෙන් සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මුහුණ දෙන ගැටළු සහ ඒවාට විසඳුම් පිළිබඳ සාකච්ඡාමය වැඩසටහන ක්‍රියාත්මක වූ අතර, නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්, 43 සේනාංකය මුදල් ලේකම් ඉංජිනේරු සුමේධ රත්නායක ද ඒ සඳහා එක් විය.

මේ අවස්ථාවට සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන්, බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රවල විද්වතුන් මෙන්ම 43 සේනාංකය නියෝජනය කරමින් එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන ද, විශේෂ ආරාධිතයන් ලෙස දෙරණ මාධ්‍ය ජාලයේ ප්‍රධානී දිලිත් ජයවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල, කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක ඇතුළු විශාල පිරිසක් ද එක්ව සිටියහ.

මෙම සම්මන්ත්‍රණයේ පූර්ණ මූල්‍ය සහ සම්පත් දායකයන් ලෙස වෛද්‍ය හර්ෂ ගමගේ සහ නන්දික බටේපොල දෙදෙනා කටයුතු කළ අතර, 43 සේනාංකයේ විධායක සභිකයන් රැසක් ද මේ අවස්ථාවට එක් විය.

Trust Sri Lanka වැඩසටහනේ නිල වෙබ් අඩවිය වන www.trustsrilanka.org එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරුණු අතර ඒ ඔස්සේ ද, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට මේ සඳහා සම්බන්ධ විය හැක.

{gallery}pcrdilith23328{/gallery}





JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්