18 වන වතාවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට තමා කිසි සේත්ම බලාපොරොත්තු නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.



පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් පසුව IMF එකඟතාවයේ  ප්‍රධාන කරුණු නීතියක් බවට පත් කරන බවත් හෙතෙම සඳහන් කළේය.

යළිත් ඇෆ්ගනිස්තානයෙන් පිටුපස්සට ශ්‍රී ලංකාව වැටෙන්න දෙන්න බැරි බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන පිළිබඳ විශ්ව විද්‍යාල ආර්ථික විද්‍යා අධ්‍යනාංශයන්හි ආචාර්යවරුන් දැනුවත් කිරීමේ අවස්ථාව අමතමිනි. මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ඊයේ (02) මෙම හමුව පැවැත්විණි.

ඕනෑම ප්‍රශ්නයකට විසඳුමක් දිය හැක්කේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි රාමුව තුළ පමණක් බව කී ජනාධිපතිවරයා, එයින් පිට යන්න හැකියාවක් නැතැයි ද මාස හයක රාමුවක් ලබා දී තිබෙන අතර වැඩ කටයුතු කළ යුත්තේ ඒ රාමුව තුළ පමණක් බවද පැවසිය.

පෞද්ගලිකරණය කරන්න එපා යැයි වෘත්තීය සමිති කියන බවත් මේවාට වියදම් කරන මුදල්වලින් තුනෙන් එකක් විශ්වවිද්‍යාලවලට සහ පාසල්වලට දුන්නා නම් මීට වඩා දියුණුවක් තිබෙන බවත් පැවසූ ජනාධිපතිවරයා වෘත්තීය සමිතිවලට ඕන විදිහට වැඩ කරන්න බැරි බව අවධාරණය කළේය.



ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන පිළිබඳව රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට සහ අදහස් ලබා ගැනීම සඳහා සෑම විශ්වවිද්‍යාලයකින්ම ආර්ථික විද්‍යා අධ්‍යනාංශවල දක්ෂතම සිසුන් දස දෙනකු යොමු කරන ලෙසද ජනාධිපති වික්‍රමසිංහ එහිදී දැනුම් දුන්නේය. ඒ අතරින් සිසුන් පිරිසකට පිළිගත් විදේශ විශ්වවිද්‍යාලවල ශිෂ්‍යත්ව ලබා දීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.



ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත, සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම සහ දූෂණ විරෝධී පනත් කෙටුම්පත යන කෙටුම්පත් තුනම ජූනි මාසය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඊට සහාය දෙනවාද? නැද්ද? යන්න පිළිබඳව ඡන්ද විමසීමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් අනතුරුව එම එකඟතාවයේ ඇති ප්‍රධාන කරුණු නීතියක් ලෙස ගෙන ඒමට කටයුතු කරන බවත් ජනාධිපති වික්‍රමසිංහ පැවසීය.

මෙරට නිෂ්පාදන හා සේවා ස්වයංක්‍රීය ක්‍රමයකට යා යුතු බවත්, එසේ නොවුවහොත් ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල් සමඟ තරග කළ නොහැකි බවත් පැවසූ ජනාධිපති වික්‍රමසිංහ, ඒ සඳහා අධ්‍යාපන ක්‍රමය අලුතින්ම සකස් කළ යුතු බව ද පැවසීය.

{gallery}University Lecturer - RW{/gallery}

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image