පෝක් සමුද්‍ර සන්ධිය දෙපස දෙරටේ සබඳතා පලුදු කිරීමේ අවදානමක් මතු කරමින් ඉන්දු - ලංකා

කතෝලික පුජා භුමියක් තුළ ඉදිකර තිබූ බුද්ධ ප්‍රතිමා නාවික හමුදාව විසින් ඉවත් කරගෙන තිබේ.

යාපනය පදවිය භාර පී ජෝසප්දාස් ජෙබරත්නම් පියතුමා පවසන්නේ ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානය පිහිටි කච්චතීවු දුපතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ස්ථාපිත කර තිබු බුදු පිළිමයක් ඉවත් කරන ලදැයි ඉහල නාවික බලධාරීන් විසින් තමන්ට දැනුම් දුන් බවයි.

අවුරුද්දකට වතාවක් පෝක් සමුද්‍රය දෙපස කතෝලිකයන් වන්දනාමාන සඳහා පැමිණෙන කච්චතීවු ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ පිහිටි දුපතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බෝ ගසක් සිටුවා බුදු පිළිම දෙකක් ස්ථාපිත කර ඇති බව උතුරේත්, තමිල්නාඩුවේත් දෙමළ මහජන නියෝජිතයන් මෙන්ම කතෝලික පුජකයන් ද පසුගිය මාසයේ හෙළි කර තිබුනි.



රජයේ හමුදාවක එම ක්‍රියා පිළිවෙත ඉන්දීය දේශපාලකයන්ගේ ද බලවත් විරෝධය ඇවිලවීමට හේතුවී තිබුනේ කලාපයේ ආගමික සංහිඳියාවට මෙන්ම ඉන්දියාවේ ආරක්ෂාවටත් හානිකරන්නක් ලෙසිනි.



ඉන්දීයාවේත්, ලංකාවේ උතුරේත් විරෝධය නැගී ඒමත් සමගම ශ්‍රී ලංකා නාවික හමුදාව පවසා සිටියේ කිසිදු මිනිස් වාසයකින් තොර දුපතේ රාජකාරි සිදුකරනු ලබන බහුතරයක් නාවිකයන් බෞද්ධාගමිකයන් වන හෙයින් “ඔවුන්ගේ වන්දනාමාන කටයුතු සඳහා අනුඛණ්ඩයේ භට නිවස අසල කුඩා බුදු පිළිමයක්” තැන්පත් කර ඇති බවයි.  

කවර කලෙක එම පිළිම තැන්පත් කරන ලද්දේදැයි ඔවුන් පැහැදිලි කර නැත.

කච්චතීවු ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය මෙවර පැවැත්වෙද් දී පෙර නොවූ විරූ ආකාරයෙන් මෙවර බෞද්ධ භික්ෂුන් හය දෙනකු පැමිණ සිටි අයුරු මාර්තු පළමු සතියේදී අප විසින් අනාවරණය කරණ ලදී.

කච්චතීවු දුපතේ බුද්ධ ප්‍රතිමා ස්ථාපිත කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සොයා බලා කච්චතීවු උරුමය සහ සුවිශේෂිතා ආරක්ෂා කිරීමට වග බලා ගන්නා ලෙස යාපනය පදවිය භාර ජෙබරත්නම් පියතුමා මාර්තු 27 වැනිදා යාපනය දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් ලිඛිතවම ඉල්ලා තිබුනි.

අප්‍රේල් 25 වැනිදා පී ජෝසප්දාස් ජෙබරත්නම් පියතුමා දිස්ත්‍රික් ලේකම්ට යළිත් වරක්  ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත්තේ කච්චතීවු දුපතේ ස්ථාපිත කර තිබු බුද්ධ ප්‍රතිමාව එතැනින් පිටතට ගෙනගියේ යැයි ඉහල නාවික බලධාරීන් විසින් දැනුම් දුන් බවයි.



පිළිම ඉවත් කරමින් ගැටළුව සාමකාමීව විසඳා ගැනීමට සහයෝගය දුන් නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට සහ  කච්චතිව් උරුමය සහ අපූර්වත්වය රැක ගැනීමට හඬ නැඟූ සියලු දෙනාට සිය කෘතඥතාව පළකරන බව එම ලිපියේ වැඩිදුරටත් සදහන්ව තිබේ.



ඉන්දීය අගමැතිනිය වූ  ඉන්දිරා ගාන්ධි 1974 දී කච්චතිව් දුපත ලංකා ආණ්ඩුවට සාමකාමිව පවරා දුන්නේ එවකට අගමැතිනිය වූ සිරිමා බණ්ඩාරනායක සමග පැවති මිත්‍රත්වය හේතුවෙනි.

ඉන්දියාවට ඉතාමත් සමීපයෙන් පිහිටි කච්චතිව් කොදෙව්ව ඉන්දීය හා ලාංකික ධීවරයන්ට සිය මසුන් මැරීමේ කාර්යයේදී ඉතා වැදගත් මධ්‍යස්ථානයක් ලෙස සැලකේ.

දුපතේ පිහිටි ඉපැරණි ශාන්ත අන්තෝනි දෙව් මැදුර දෙරටේම ධීවරයන්ගේ පුද සත්කාර ලබමින් වාර්ෂිකව දේව මංගල්‍යයක්ද පවත්වයි.


සබැඳි පුවත් :

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image