නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයකුට හා රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරියකට අපහාසාත්මක වන ආකාරයේ වීඩියෝ ''එස් එල් දේශීය'' යූටියුබ් නාළිකාව ඔස්සේ උඩුගත කිරීම වළක්වමින්
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හඳුන්ගොඩ ට එරෙහිව නිකුත් කර තිබෙන වාරණ නියෝගය ලබන 24 වනදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය අද (10) නියෝග කළේය.
ඊට අදාල පැමිණිල්ල අද කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම ඉදිරියේ කැඳවනු ලැබීය.
දර්ශන හදුන්ගොඩ විසින් පවත්වාගෙන යන එස් එල් දේශීය youtube නාලිකාව විසින් අන්තර්ජාලයට මුදා හරින ලද ''එක්ස්ප්‍රස් පර්ල් නෞකා'' සිද්ධියට අදාලව කළ ප්‍රකාශයකින් තමන්ට අපහාසයක් සිදුව ඇතැයි පවසමින් නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයෙකු හා එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරියක් විසින් ඉදිරිපත් කළ පැමිණිලි දෙකක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම විසින් ඉකුත් දා මෙම වාරණ නියෝගය නිකුත් කර තිබුණි.
එකී අපහාසය වෙනුවෙන් රුපියල් බිලියනයක හා රුපියල් මිලියන 500 බැගින් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා එම පෙත්සම් දෙක ඉදිරිපත්ව තිබේ.
මෛත්‍රී ගුණරත්න මාධ්‍යවේදීන්ගේ අයිතිය වෙනුවෙන් පෙනිසිටියි
ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න
කොළඹ දිසා අධිකරණය හමුවේ අද (10) මෙම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරික දර්ශන හඳුන්ගොඩ ගේ අයිතීන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න ඇතුළු නීතිඥ කණ්ඩායමක් කිසිඳු ගාස්තු අය කිරීමකින් තොරව ඉදිරිපත්ව සිටියේය.
වගඋත්තරකාර දර්ශන හඳුන්ගොඩ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා විසින් මහජනතාවට තොරතුරු දැනගැනීමේ අරමුණින් එම වාර්තාව ඉදිරිපත් කළ බව සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා තමන්ට දිනයක් ලබා දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා ඉල්ලීම් කළේය.
ඒ අනුව අදාළ පැමිණිල්ල ලබන 24 වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදින තෙක් දැනට නිකුත් කර තිබෙන වාරණ නියෝගය දීර්ඝ කරන බවත් නියෝග කළේය.
දර්ශන හඳුන්ගොඩ වෙනුවෙන් හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න සමග අශාන් නානායක්කාර, චාන් ගොඩකුඹුර , මිගාර ගුණරත්න යන නීතිඥයින් ද පෙනී සිටියහ.
පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා යි.
සබැඳි පුවත් :
සමාජ මාධ්‍ය ක්‍රියාකාරික දර්ශනට එරෙහිව වාරණ නියෝගයක්!