මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක එහි සාමාජික ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට සහය නොදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.


ජනක රත්නායක එම කොමිෂන් සභාවෙන් ඉවත් කිරීමේ යෝජනාව මැයි මස 24 වන දින විවාදයට ගැනීමට නියමිත අතර එදින පස්වරුවේ ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට ද නියමිතය.

මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ බඩට ගහන යෝජනාවක් එපා කියන මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාව තනතුරෙන් ඉවත් කරන්න ඔබ ඡන්දය දෙනවාදැයි පොහොට්ටු මන්ත්‍රීවරුන්ගෙන් අප අහනවා. මිනිස්සුන්ගේ ඔළුවට තව තවත්  බරක් දෙන වැඩකට අත උස්සන්න පුළුවන් කාටද ? පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගෙන් ඇත්තටම මේ රටේ මිනිස්සුන්ට ආදරේ කරන්නේ කවුද වෛර කරන්නේ කවුද කියලා 24 වැනිදා බලාගන්න පුළුවන් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසිය.

''විදුලි බිල වැඩිවන්නේ මහජන උපයෝගිතා කොමිසම මගින් කරුණු ගණනාවක් මත ගණනය කිරීම් කර සකසන යෝජනාවලියක් අනුවයි.

නමුත් අවුරුදු 7 ක් තිස්සේ මේ ක්‍රමය ක්‍රියාත්මක වුණේ නෑ. හේතුව, මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබුණා නොරෙච්චෝලේ බලාගාරය හැදුවාම සියයට 25 ක් විදුලි බිල අඩු කරනවා කියලා. ඒ අනුවයි එදා විදුලි බිල අඩුවුණේ. ඒත් බලාගාරයක් හදන්න තමන් මූලික වුණ පලියට විදුලි බිල අඩුකරනවා කියලා කවුරු හරි දේශපාලන නායකයෙක් කීවයි කියන්නේ ඒක හරියට ඡන්ද පොරොන්දුවක් වගේ. අන්තිමට වුණේ මොකක්ද? සියයට 25 ක් අඩු කරපු එක සියයට 75 ක් විතර වැඩිකරන්න වුණු එකයි. ඒකට මහජන උපයෝගිතා කොමිසම විරුද්ධ වුණා. ඔවුන් කීවේ මෙච්චර වැඩිකරන්න එපා කියලා. වැඩිකළ යුතු ගණනට අදාළ නිර්දේශ ඔවුන් දුන්නා. ඒත් අමාත්‍යවරයාට වුවමනා විදිහට සියයට 75 කින් විදුලි බිල වැඩිකළා. ආපහු සියයට 66 කින් වැඩිකළා. මේ සියල්ල උපයෝගිතා කොමිසමට පිටින් ගිය දේවල්. අ.පො.ස. උසස් පෙළ විභාග කාලේ විදුලිය කපන්න එපා කියලා කොමිසම කීවාම ඒක පිළිගත්තෙත් නෑ. ළමයි විභාගයට පාඩම් කළේ කුප්පි ලාම්පු එළියෙන්. ඒක මොන තරම් අසාධාරණයක්ද ?



''රටට ආදරේ කවුද? නැත්තේ කවුද? 24 බලා ගමු''


දැන් ඇමති සියයට තුනකින් විදුලි බිල අඩුකරන්න හදනවා. ඒත් සියයට 30 කින් අඩුකරන්න පුළුවන් කියලා උපයෝගිතා කොමිසම කියනවා. මේ ඇමති ලංකාවෙ දුප්පත් මිනිස්සුන්ගේ විදුලි බිල සියයට 250 කින් වැඩිකළා. ඒ එයාගෙ තනි තීන්දු. දැන් ඒක බේරගන්න කටයුතු කළ මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාව එළවන්න හදනවා. ඒක හරියට ශිරාණි බණ්ඩාරනායක පාර්ලිමේන්තුවට ගෙනත් ශ්‍රේඨාධිකරණය එ එලෙව්වා වගේ. අපි මේකට විරුද්ධයි. ඔහු ජනතාවගේ යහපතට තීන්දු ගන්න නිසයි මේ ආණ්ඩුව ඔහුව එළවන්න හදන්නේ.

අපි පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගෙන් අහනවා, මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ බඩට ගහන යෝජනා එපා කියන මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාව තනතුරෙන් ඉවත් කරන්න ඔබ ඡන්දය දෙනවාද ?  

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගෙන් ඇත්තටම මේ රටේ මිනිස්සුන්ට ආදරේ කරන්නේ කවුද- වෛර කරන්නේ කවුද කියලා 24 වැනිදා රටේ ජනතාවට බලාගන්න පුළුවන්.''



 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් නොව, විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගයද ආණ්ඩුවේ මෙම යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශකිරීමට තීරණය කර තිබේ. එසේම පොහොට්ටු පක්ෂයෙන් ඉවත්වී ස්වාධින මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන විමල් විරවංශ ගේ උත්තර පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හා ඩලස් අලහප්පෙරුමගේ 'නිදහස' මන්ත්‍රී කණ්ඩායම ද ආණ්ඩුවේ යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට තීන්දු කර ඇත.

 



ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව අනිවාර්යය කෙරේ


කැබිනට් අමාත්‍ය ධුර නොලැබුන පොහොට්ටු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් 10 දෙනා මෙම යෝජනාව ඉදිරිපත් කරන දිනයේ පාර්ලිමේන්තුවට නොපැමිණ ජනාධිපතිවරයාට සිය විරෝධය පලකිරීමට තීරණය කර ඇතැයි වාර්තා පළවීමත් සමග, ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට ලබන 24 වන දින පාර්ලිමේන්තු සැසිවාරයට අනිවාර්යයෙන්ම සහභාගි වන ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් ලිඛිතව දැනුම් දී තිබේ.

ඉරි තුනේ නිවේදනයක් ලෙස එම දැනුම්දීම සිදුකර ඇති බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු සඳහන් කළේය.

පාර්ලිමේන්තු සභා වාරයට අනිවාර්යය‍ෙන් සහභාගී වීම සඳහා ඉරි තුනේ නිවේදනය නිකුත් කරන අතර, එම නිවේදනයට අනුව පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී නොවුන හොත් ඊට මන්ත්‍රීවරුන් විසින් නිදහසට කරුණු දැක්වීම සිදුකළ යුතු වේ.

අයවැය ඡන්ද විමසීම ඇතුළු විශේෂ පනත් සම්මත කරන අවස්ථාවලදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් මෙවැනි ඉරිතුනේ නිවේදන නිකුත් කිරීම සිදුවන බව වාර්තා වේ.

මෙම නිවේදනය නිකුත් කළ විට මන්ත්‍රීවරුන්ට විදෙස් සංචාර සඳහා ද තහනමක් පැන වේ.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image