“අස්වැසුම” සමාජ සුබසාධක ප්‍රතිලාභ ගෙවීම මෙන්ම සමෘද්ධි සහ වැඩිහිටි ආධාර ඇතුළු දැනට රජය මගින් ලබා දෙන සුබසාධක මූල්‍යාධාර ජූලි මස සිට සෘජුවම ප්‍රතිලාභියාගේ බැංකු ගිණුමට බැර කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
සුබසාධක ප්‍රතිලාභීන් සිය දීමනා ලබා ගැනීමට යෑමේදී මුහුණ දෙන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇත.
එසේම බැංකු ගිණුම් නොමැති ප්‍රතිලාභීන්ට ද බැංකු ගිණුම් විවෘත කිරීමට ද අවශ්‍ය පියවර ගෙන ඇතැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජයරත්න පෙන්වා දුන්නේය.
ඔහු මෙම අදහස් පළ කළේ ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිෂ්පාදනය කරන ‘101 කතා’ වැඩසටහනට එක්වෙමිනි.
පවතින ආර්ථික අර්බුදයෙන් ජනතාව මුදවා ගැනීම සඳහා ජනාධිපති වික්‍රමසිංහගේ යෝජනාවක් අනුව ක්‍රියාත්මක සමාජ ආරක්ෂක දැලෙහි එක් පියවරක් ලෙස ‘අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ ගේ අධීක්ෂණය යටතේ මුදල් අමාත්‍යාංශය ඇතුළු රේඛීය ආයතනවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ක්‍රියාවට නංවා ඇත.
# අන්ත දිළිඳු කාණ්ඩයේ සිටින පවුලක් සදහා මාසිකව රුපියල් 15,000 ක්.
‘අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන යටතේ සමාජයේ පහළ ආදායම් ලබන 40% ක පිරිසට කාණ්ඩ 4ක් ඔස්සේ මුල්‍ය අධාර ලබාදීමට නියමිත අතර අන්ත දිළිඳු කාණ්ඩයේ සිටින පවුලක් සදහා මාසිකව රුපියල් 15,000 ක් රජය මගින් ලබා දෙයි.
‘101 කතා’ වැඩසටහනේ දී යොමු කළ ප්‍රශ්නයකට සුබසාධක මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රතිචාර දක්වමින් සඳහන් කළේ, ‘අස්වැසුම’ ප්‍රතිලාභීන් තෝරා ගැනීම මධ්‍යම දත්ත පද්ධතියක් මගින් සිදුවන නිසා දේශපාලන හිතවත්කම් මත ආධාර ලබා ගැනීම සඳහා පුද්ගලයන් ඇතුළත් කළ නොහැකි බවය.
ප්‍රතිලාභ අහිමි වී ඇත්නම් දැනුම් දෙන්න !
“අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ක්‍රමය ජුලි මස සිට ක්‍රියාත්මක වීමත් සමග මෙතෙක් සමෘද්ධි ඇතුළු සුබසාධක ප්‍රතිලාභ ලැබු ඇතැම් අයට එම ප්‍රතිලාභ අහිමි විමේ ඉඩක් ඇති බවත්, ස්ථීර ආදායමක් තිබීම, “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ සදහා අයදුම් නොකිරීම වැනි කරුණු ඊට හේතු විය හැකි බවත් ඔහු පැවසීය.
එවන් අයෙකු සිටි නම් ප්‍රතිලාභ ලැබිමට සුදුසුකම් ලත් අයගේ ලැයිස්තුව ප්‍රසිද්ධ කල විගස ඒ බව අභියාචනයක් මගින් ඉදිරිපත් කිරිමට හෝ ජුලි මාසයෙන් පසුව දෙවැනි අදියර මගින් අයැදුම්පත් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇති බවත් පෙන්වා දුන් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.