ජන මාධ්‍යයේ ප්‍රගමනය වෙනුවෙන් විකාශන අධිකාරී පනතක් හඳුන්වා දීමට කලක සිට තිබූ යෝජනාවට මුවාවී වත්මන් ආණ්ඩුව මාධ්‍ය

තමන්ට අවශ්‍ය පරිදි හීලෑ කරගනිමින් මර්දනය කිරීමට හැකි විකාශන අධිකාරී පනත් කෙටුම්පතක් සම්පාදනය කර තිබෙන බවත් එය පරාජය කිරීම අනිවාර්යෙන්ම කළ යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කරයි.

කොළඹදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ සිය මතවාදයට එකඟ නොවන මාධ්‍ය වෙත පීඩනයක් එල්ල කරමින් ඒවා අවශ්‍ය පරිදි හැසිරවීමට සහ පාලනය කිරීමට හැකි ප්‍රතිපාදන මෙම පනත් කෙටුම්පතේ ඇතුළත් බවයි. මෙය ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රමයක සදාචාරයට නොගැලපෙන්නක් බව හෙතෙම මෙහිදී කීය.

“අපි හැමෝගෙම මතය එක සමාන නෑ. හැබැයි, ඒ විවිධ මතවාදයන්ට අවස්ථාවක් තිබිය යුතුයි. යම් අධිකාරියකට ඕන විදිහට මාධ්‍යයට වැඩකරන්න බෑ. මාධ්‍යයට ස්වාධීනව තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙන්න ඕන. ඒක ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික අයිතියක්. යෝජිත විකාශන අධිකාරී පනතින් මාධ්‍ය දඬු කඳේ ගහන්නයි හදන්නේ. අපි ඒකට ඉඩ දෙන්නේ නෑ.“

ආණ්ඩුව ත්‍රස්ත විරෝධී පනත ගෙන එමින් මාධ්‍ය මර්දනය කිරීමට උත්සාහ ගත් බවත් එය ව්‍යර්ථ වූ පසුව මෙම විකාශන අධිකාරී පනතින් එම අවශ්‍යතාවය ඉටුකර ගැනීමට උත්සාහ කරන බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.

.

පනත් කෙටුම්පත ගැන අධ්‍යනයට සජබ - නිදහස එකමුතුවෙන් කමිටුවක්

යෝජිත විකාශන අධිකාරි පනත් කෙටුම්පත ඇතුළු ඉදිරියේදී ආණ්ඩුව ගෙන ඒමට යෝජිත ‍පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් අධ්‍යනය කිරීම සඳහා විපක්ෂයේ පක්ෂ එකමුතුව කමිටු කිහිපයක් පත් කර තිබේ.

ඒ අනුව යෝජිත විකාශන අධිකාරි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා වන කමිටුව පත් කර ඇත්තේ, මහාචාර්ය චරිත හේරත් ගේ ප්‍රධානත්වයෙන් ය.

එහි සෙසු සාමාජිකයින් ලෙස ඉම්තියාස් බාකිර් මාකර්, ගයන්ත කරුණාතිලක, ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න ඇතුළු මන්ත්‍රීවරුන් පත් කර තිබේ.

අදාළ කමිටුව මේ වනවිට යෝජිත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු විවිධ පාර්ශ්වවලින් අදහස් විමසීම ආරම්භ කර ඇතැයි එහි ප්‍රකාශකයකු පැවසීය.

ඔහු පැවසුවේ, සියලු පාර්ශ්වවල අදහස් විමසීමෙන් අනතුරුව යෝජිත විකාශන අධිකාරි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විපක්ෂ එකමුතුවේ ස්ථාවරය ප්‍රකාශයට පත් කරන බවයි.

මේ අතර යෝජිත විකාශන අධිකාරි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් ලබන 7 වැනි දා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව ඇත.

ඒ, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙනි.


සබැඳි පුවත් :
විකාශන අධිකාරි නව පනත භාෂණයේ නිදහස අහිමි කරනවා


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්