රටතුළට විදේශයන්හි සිට එතනෝල් ආනයනය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට රජය පියවර ගෙන ඇත්තේ,

රාජපක්ෂවරුන්ට හිතවත් දේශීය එතනෝල් ව්‍යාපාරිකයින් දෙදෙනෙකුට කළගුණ සැලකීමට දැයි අදාල ක්ෂේත්‍රයේ කතා බහට ලක්වෙමින් තිබේ.

මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන ඇමැතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂගේ නියෝගය අනුව ඊයේ සිට (01) ක්‍රියාත්මක වන පරිදි මත්පැන් නිෂ්පාදනය සඳහා ගනු ලබන එතනෝල් ආනයනය කිරීම අත්හිටුවීමට තීරණය කර තිබෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

දේශීය වශයෙන් එතනෝල් බහුලව නිෂ්පාදනය කරන බැවින් මෙම පියවර ගෙන ඇතැයි මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියි.

එහෙත් අදාල ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග පවසන්නේ, සෙවනගල, පැලවත්ත හා හිඟුරාන කර්මාන්ත ශාලාතුල දේශීය වශයෙන් එතනෝල් නිෂ්පාදනය කලද එය මෙරට මත්පැන් නිෂ්පාදනයට ප්‍රමාණවත් නොවන බවත්, ප්‍රමිතියෙන් අඩු බවත්ය. එසේම මිළ ගණන් ද ඉහල බව පැවසේ.

 

මන්ත්‍රීවරුන්ටත් එතනෝල් බලපත්  !

theleader.lk කළ විමසීමකදී අදහස් දැක්වූ එජාප මන්ත්‍රීවරයකු පැවසුයේ, මුදල් අමාත්‍යාංශය විසින් ගනු ලැබූ මෙම ක්‍රියාමාර්ගයත් සමග භාණ්ඩාගාරයට ලැබෙමින් තිබු රුපියල් බිලියන විශාල මුදලක් රජයට අහිමිවී වන අතර, ලංකාවේ එතනෝල් නිෂ්පාදනයේ නියුතු ප්‍රකට ව්‍යාපාරිකයකුට හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට තරඟකාරිත්වයකින් තොරව විශාල ධනස්කන්ධයක් උපයා ගැනීමට අවස්ථාවක් ලබාදී ඇති බවයි.

එසේම, පසුගිය රාජපක්ෂ පාලන සමයේදී මර්වින් සිල්වා, ජොන්ස්ටන් ප්‍රනාන්දු හා ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන මන්ත්‍රීවරුන්ට ද එතනෝල් ආනයනය බලපත් ලබාදී තිබු බව පැවසු එම මන්ත්‍රීවරයා, යහපාලන ආණ්ඩුව සමයේදී එතනෝල් ආනයනය කිරීමේදී අවභාවිතාවක් සිදුවී ඇති බවට කිසිඳු අකාරයේ චෝදනා එල්ල නොවූ බවද කියා සිටියේය.

 

හැරීට කැපිල්ලක් ද ?

රජය විසින් ලබාදී තිබු බලපත්‍රයක් යටතේ මෙතෙක් මෙරටම එතනෝල් ගෙවීමේ ප්‍රමුඛයා ලෙස කටයුතු කළේ  ප්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධනට අයත් ලංකා ඩිස්ටලරීස් සමාගමයි.

 මෙරට නිෂ්පාදනය කරන ප්‍රමිතියෙන් යුතු මත්පැන් සඳහා එම සමාගම විශාල වශයෙන් එතනෝල් ආනයනය කල අතර ඒ වෙනුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන ගණනක මුදලක් බදු වශයෙන් රජයට ලබාදී තිබිණ.

 

''තාවකාලික පියවරක් ''

සිය අනන්‍යතාවය හෙලිනොකරන්නැයි ඉල්ලා සිටිමින් එතනෝල් ආනයනය අත්හිටුවීමේ රජයේ තීන්දුව ගැන අදහස් දැක්වූ මුදල් අමාත්‍යංශයේ නිලධාරියකු පැවසුයේ මෙය තාවකාලික පියවරක් පමණක් බවයි.

''හැරී ජයවර්ධන වගේ කිහිප දෙනෙක් එතනෝල් ආනයනය කරනවා. දැන් අනෙක් මත්පැන් නිෂ්පාදකයින් සෙවනගලින්, පැලවත්තෙන් ස්ප්‍රිතු ගන්නේ නැහැ, එගොල්ලම හොරට හරි බලපත්‍ර අරගෙන හරි ස්ප්‍රිතු හදනවා. සෙවනගල, පැලවත්තේ එතනෝල් ස්ප්‍රිතු තොග වශයෙන් ගොඩගැහිලා. සේවකයින්ට පඩි ගෙවගන්නවත් සල්ලි නැහැ. එනිසා ඒ තොග අවසන් වනතෙක් මේ නියෝගය ක්‍රියාත්මක වේවි.

එහෙම නැතුව කාටහරි වාසියක් ගන්න ආණ්ඩුව මේවගේ තීන්දුවක් ගත්ත කියන කාරණය පිළිගන්න බැහැ . හැබැයි එතනෝල් ආනයනය අත්හිටුවීම නිසා රජයට විශාල අදායමක් අහිමිවන එක නම් ඇත්ත.'' යයි එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේ නමුත් අවසරයකින් තොරව දේශීයව නිෂ්පාදනය කරන ඇතැම් ස්ප්‍රීතු, ‘වල් රා‘ භාවිත කරමින් ප්‍රමිතියෙන් තොරව මහ පරිමාණයෙන් නිෂ්පාදනය කරනු ලබන බව ද ඔහු පවසා සිටියේය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්