තුන් පැත්තකින් බෝම්බ ගසා නිරායුද දෙමළ වැසියන් තිහකට වැඩි පිරිසක් ඝාතනය කළ බවට රජයේ හමුදා වෙත චෝදනා එල්ල වී තිබෙන සමුහ ඝාතනයක විසි පස් වැනි අනුස්මරණය වන්නියේ දී සිදු කර තිබේ.
මුලතිව් දිස්ත්රික්කයේ මුහුදු වෙරළ බඩ පිහිටි ගම්මානයක් වන සුදන්දිරපුරම්හිදී මරා දමා දශක දෙක හමාරක් ගතවීත් යුක්තිය නොලද 33 දෙනකු සිහිපත් කරමින් ජුනි 10 වැනිදා මලින් පහනින් උපහාර දක්වා එම අනුස්මරණය සිදු කළ බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.
1998 වසරේ ජූනි 10 වැනිදා සුදන්දිරපුරම් වැසියන් සුපුරුදු පරිදි තමන්ගේ එදිනෙදා ජීවන රටාව අරඹමින් සිටිය දී හදිසියේ ම ගම්මානයට ශ්රී ලංකා ගුවන් හමුදාවේ ප්රහාරයක් එල්ල කෙරුණු අතර ඒ පසු පසින්ම ෂෙල් වෙඩි වරුසාවක්ද එල්ල වී තිබුනි. එදින උදේ 09.15 පමණ සිට 10.30 පමණ වන තෙක් පැයකට වැඩි කාලයක් තිස්සේ මේ හදිසි ප්රහාරය නොකඩවා පැවැතීම නිසා ගම්වාසීන්ට සුරක්ෂිත ස්ථාන සොයා ගැනීමට අපහසු වූ අතර බෝම්බ ප්රහාරයෙන් 33 දෙනෙක් ඝාතනයට ලක් වී 50 කට වැඩි පිරිසක් තුවාල ලැබී ය.
ලක්ෂ ගණනක දේපල හානියක් ද සිදු කෙරුණි. ඒවා අතර මේ ගම් වැසියන්ගේ ජීවන පැවැත්ම රැක දුන් වගාවට අයත් පොල් ගස් සිය ගණනින් විනාශ වී ගියේ ය.
මේ බිහිසුනු සිදුවීමට මුහුණ දුන් ගනේෂන් කාසිමලර් ඒ හෝරාව මීට ඉහත දී විස්තර කර තිබුනේ පහත අයුරිනි.
“එදා උදේ 09.30 ට විතර බෝම්බ වැටෙන කොට මම හිටියේ ගෙදර. අපේ ගෙදරටත් බෝම්බ වැටුනා. අපි ගෙවල් අතෑරලා දුවන්න පටන් ගත්තත් කොහාට දුවන්න ද කියලා තේරුමක් තිබුනේ නැහැ. හැම තැනක්ම බෝම්බ වලට අහුවෙලා තිබුණේ. වියවුලෙන් හිස හැරුන හැරුන පැත්ත ට දුව ගිය නිසා පවුලේ සාමාජිකයන් එකිනෙකාගෙන් වෙන් වෙලා ගියා. මගේ අම්මා, මල්ලී, නංගීට සිදුවුනේ මොකක්ද කියලා මම දැන හිටියේ නෑ. ඒ අතර ආයෙත් තවත් ජෙට් එකක් ආවා. දැන් කරන්න ඕනේ මොකක්ද , ජීවිතාරක්ෂාව තියෙන්නේ කොතැනද? ඒ කිසිවක් නොදැන පන බයේ එහාට මෙහාට දිව්වා විතරයි. ෂෙල් වෙඩි කොච්චරද කියනව නම් ගම පැත්තට යන්නත් බෑ. යාළුවන්, අසල්වැසියන්, නෑදෑයන් ගේ සිරුරු තැන් තැන් වල දකින්න තිබුනා. ඒ වෙන කොටත් උන්හිටි තැන නැතිවෙලා, අමාරුවෙන් දිවි ගෙවමින් හිටිය අපිට සැලසුම් සහගතව එල්ලකරපු ප්රහාරයක් විදියටයි මේක පෙනුනේ.”
ඇය තවදුරටත් කියා තිබුනේ මේ ප්රහාරය නිසා උන්හිටි තැන් අහිමි වූ වැසියන් සිද්ධියෙන් දින 15 කට පමණ පසු යලි තම වාසස්ථාන වෙත පැමිණියත් සියල්ල විනාශ කර තිබුණු බවයි.
සියළුම පොල්ගස්, ගෙවතු, ගොඩනැගිලි විනාශ වී ගොස් තිබූ අතර, තමන් වාසය කළ නිවස තව දුරටත් නිවසක් ලෙස නොතිබු බවත් ඇය පවසා තිබුනි.
"නිජබිම අනුස්මරණ සංවිධානයේ" නායක මුල්ලෙයි ඊසන් හෙවත් තංගයියා ලෝගේෂ්වරන්ගේ සංවිධානත්වයෙන් පැවැති 25 වැනි අනුස්රමණය සදහා පාර්ලිමේන්තු මන්ත්රී විනෝ නෝහරාදලිංගම්, උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්රී තුරෙයිරාසා රවිහරන් ප්රමුඛ පුදුකුඩිඉරිප්පු හා කරච්චි ප්රාදේශිය සභාවල හිටපු මන්ත්රීවරුන් කිහිප දෙනෙකු සහභාගී වී සිටි බව පලාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.