"වගවීම පිළිබඳ යෝජනාව ශ්‍රී ලංකා රජය 'කණගාටුදායක' ලෙස ප්‍රතික්ෂේප කළත්, අපගේ වැඩකටයුතු සඳහා එය දිගටම යොදාගන්නවා,"යි නව මහකොමසාරිස් වෝකර් ටර්ක් කියා සිටියේ ය

 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ පනස් තුන්වන සැසිවාරය 2023 ජුනි 19 දින ජිනීවා නුවර දී ආරම්භ විය.

එහි පළමු සැසියේ දී, මානව හිමිකම් කවුන්සිලයේ නව මහ කොමසාරිස්වරයා වන වෝකර් ටර්ක් විසින් එම සැසියේ දී අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන රටවල සංක්ෂිප්ත තත්ත්වය පිළිබඳ වාචික වාර්තාවක් ඉදිරිපත් කළේ ය.

එහි දී, "ශ්‍රී ලංකා රජය 'කණගාටුදායක' ලෙස වගවීම පිළිබඳ යෝජනාව ප්‍රතික්ෂේප කළත්, අපගේ වැඩකටයුතු සඳහා එය දිගටම යොදා ගන්නවා,"යි නව මහ කොමසාරිස්වරයා අදහස් දැක්වූවේ ය.

ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව සම්මත කෙරුණේ පසුගිය වසරේ 2022 ඔක්තෝබර් හයවැනි දා ය. එම යෝජනාවේ කරුණු 19ක් අඩංගු වූ අතර, එයින් නවයක් ම ආර්ථික අර්බුදය සහ මෑතකාලීන මානව හිමිකම් කඩවීම් හා සම්බන්ධ ය.

කෙසේ වෙතත්, එම සැසිවාරයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සම්බන්ධ වූ ශ්‍රී ලංකාවේ විදේශ ඇමැති නීතිඥ අලි සබ්‍රි එම යෝජනාව ප්‍රතික්ෂේප කළේ ය.

සැසිවාරයේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ කොමසාරිස්වරයා, දශක ගණනක් තිස්සේ ජනවරම දරා සිටි අය ක්‍රියාත්මක නොකළ මෙම යෝජනාවේ අඩංගු කරුණු ක්‍රියාත්මක කිරීමට ඔහු ශ්‍රී ලංකාව උනන්දු කරන බව ප්‍රකාශ කළේ ය.

මෙවැනි යෝජනා පැමිණි විට, [බොහෝ රටවල්] ඒවා ක්‍රියාත්මක කරනවා වෙනුවට නව සැසිවාරයන්හි දී 'ඔහේ රෝල්කරමින් ඉදිරියට ගෙන යන' බවත්, එම නිසා එම යෝජනා ක්‍රියාත්මක කිරීමට ඉදිරියට එන්නැ යි සියලු රටවල්වලින් බලවත් ඉල්ලීමක් සිදු කරන බවත් ඔහු පැවසුවේ ය.

tw 1



නව මහකොමසාරිස් 'වෝකර් ටර්ක්' කවු ද?

ඔස්ට්‍රියානු ජාතික නීතිඥවරයෙකු වන වෝකර් ටර්ක්, වියානා විශ්වවිද්‍යාලයයෙන් ජාත්‍යන්තර නීතිය පිළිබඳ ආචාර්ය උපාධිය ලැබූ තැනැත්තෙකු වන අතර, ඔස්ට්‍රියාවේ ලින්ස් විශ්වවිද්‍යාලයයෙන් නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කළ අයෙකි.

ඔහු ජාත්‍යන්තර සරණාගත නීති සහ ජාත්‍යන්තර මානව හිමිකම් නීති සම්බන්ධයෙන් බොහෝ ලියවිලි ප්‍රකශයට පත් කර තිබේ.

ඔහුගේ දිගුකාලීන වෘත්තිය ජීවිතය තුළ දී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ විධායක කාර්යාලයයේ ප්‍රතිපත්ති පිළිබඳ උපලේකම්වරයා ලෙස කටයුතු කළ අතර, ඔහු රටවල් ගණනාවක ම මානව හිමිකම් සම්බන්ධයෙන් වසර ගණනාවක් විවිධ තනතුරු දරමින් කටයුතු කර ඇති බව මානව හිමිකම් කවුන්සිලයේ නිල වෙබ් අඩවියේ දැක් වේ.

ඔහු, මීට පෙර මහකොමසාරිස් ලෙස කටයුතු කළ මිචෙල් බැචලේගෙන් පසු 2022 ඔක්තෝබර් 17 සිට මෙම තනතුර දරයි.


මෙවර සැසියේ ප්‍රධාන මාතෘකා මොනවා ද?

මෙවර මානව හිමිකම් සැසිවාරය ජුනි 19 සිට ජුලි 14 දක්වා පැවැත්වීමට නියමිත ය.

වෙනිසියුලාව, මියන්මාරය, යුක්ක්‍රේනයේ තත්ත්වය, ඇෆ්ඝනිස්ථානයේ කාන්තාවන් සහ ගැහැණු දරුවන් මුහුණ පා සිටින තත්ත්වය හා සුඩානයේ මානව හිමිකම් පිළිබඳ තත්ත්වය මෙවර සැසියේ දී මූලික වශයෙන් ම සාකච්ඡා කිරීමට නියමිත ය.

මීට අමතර ව, ශ්‍රී ලංකාවේ මානව භිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් වාචික යාවත්කාලීන කිරීමක් සහ, ශ්‍රී ලංකාව, පාකිස්ථානය ඇතුළු රටවල් 13ක විශ්වීය වාර සමාලෝචනයේ අවසන් ප්‍රතිඵල පිළිබඳ සලකා බැලීමට ද නියමිත ය.

(BBC සිංහල සේවය )

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්