පසුගිය ඉරිදා (ජූනි 18) ටයිටැනික් නෞකාවේ සුන්බුන් වෙත කිමිදෙන අතරතුරේ අතුරුදන්වූ සංචාරක සබ්මැරීනයේ ගමන් ගත් සියලු දෙනා මේ වන විට මියගොස් ඇති බවට විශ්වාස කෙරේ.
අතුරුදන්වූ සංචාරක සබ්මැරීනය සෙවීම සඳහා මධ්‍ය අත්ලාන්තික් සාගරයේ ඇරඹුණු මහා පරිමාණ සෙවීමේ හා ගලවාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක විය.
ඕෂන්ගේට් පවසන්නේ සෙවුම් ක්‍රියාත්මක ප්‍රදේශයෙන් සබ්මැරීනයේ සුන්බුන් සොයා ගැනීමෙන් පසු යානයේ සිටි පුද්ගලයින් පස් දෙනා "කණගාටුදායක ලෙස මිය ගොස් ගොස් ඇති" බවට තමන් විශ්වාස කරන බවයි.
එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය මීට ස්වල්ප මොහොතකට පෙර ( ශ්‍රී ලංකා වේලාවෙන් ජුනි 23 වන දින අලුයම 12 පසුවී ) පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ සොයාගත් සුන්බුන් "ව්‍යසනකාරී පිපිරීමකට" අනනුකූල වන බවයි.
එහිදී අදහස් දැක්වූ රියර් අද්මිරාල් ජෝන් මෝගර් කියාස් සිටියේ ටයිටැනික් නැවේ සුන්බුන් අසල සිට දළ වශයෙන් අඩි 1600 ක් පමණ දුරින් ටයිටන් සබ්මැරීනයේ කොටස් හමු වූ බවයි.
රියර් අද්මිරාල්වරයා පවසන්නේ එය ඇදහිය නොහැකි තරම් සංකීර්ණ පරිසරයක මෙය සිදුව ඇති බැවින් මඟීන්ගේ සිරුරු ගොඩගැනීමට හැකිද යන්න තහවුරු කළ නොහැකි බවයි.
"මෙම අතිශය ඛේදජනක කාලය තුළ අපේ හදවත් ඔවුන් පස්දෙනා සහ ඔවුන්ගේ පවුල්වල සෑම සාමාජිකයෙකුම සමගයි" යාත්‍රාවේ ක්‍රියාකරු වන ඕෂන්ගේට් සමාගම මීට පෙර පවසා තිබුණි.
ටයිටැනික් සංචාරක සබ්මැරීනය සෙවීම 'අභියෝගයක්' - එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකායේ රියර් අද්මිරාල් ජෝන් මෝගර්
අතුරුදහන් වූවන් සොයා ක්‍රියාත්මක වූ මෙහෙයුම
පෙර දී සිදුකරන ලද ඇස්තමේන්තුවලට අනුව ජුනි 22 පස්වරුව වන විට ( ශ්‍රී ලංකා වේලාවෙන්) සබ්මැරීනය තුළ ඉතිරිව තිබුණේ පැය කීපයකට අඩු වේලාවකට සරිලන ඔක්සිජන් ප්‍රමාණයක් පමණි.
කෙසේ නමුත්, ඔක්සිජන් අවසන්වීමේ කාලරාමුව අනම්‍ය කාලරාමුවක් නොවේ. නිව්ෆවුන්ඩ්ලන්ඩ්හි සේන්ට් ජෝන්ස් නගරයේ මෙමොරියල් විශ්වවිද්‍යාලයයේ සේවය කරන ඔක්සිජන් සහ වායු පීඩන වෛද්‍යක්‍රම පිළිබඳ විශේෂඥ වෛද්‍ය කෙන් ලෙඩෙස් බීබීසීය වෙත පවසන පරිදි, යාත්‍රාවේ තත්ත්වයන් අනුව, එහි මඟීන්ගෙන් ඇතැමෙකුට අනෙකුන්ට වඩා වැඩිකලක් දිවි ගලවාගත හැකි ය.
ඔක්සිජන් අවසන්වීම ක්ෂණයෙන් සිදුවන්නක් නොව ක්‍රමික ක්‍රියාවලියකැ යි ඔහු ප්‍රකාශ කරයි. "ඒක ලයිට් එකක් ඕෆ් කරනවා වගෙ [දෙයක්] නෙවේ, ඒක කන්දක් නගිනවා වගෙ දෙයක් - උෂ්ණත්වය ක්‍රමයෙන් සීතලට හැරෙද්දී, පරිවෘත්තීය අඩුවෙද්දී, ඔයා ඒ කන්ද කොච්චර වේගයෙන් නගිනවා ද කියන එක [මත පදනම්වෙනවා]," ඔහු පැවසීය.
සබ්මර්සිබල් යාත්‍රාව අභ්‍යන්තරයේ තත්ත්වය අප නොදන්නාබව පිළිගත් වෛද්‍ය ලෙඩෙස්, එම තත්ත්වයන් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්විය හැකිබව ද, එය "සිත් කම්පා කරවනසුළු සංවාදයක්" වුව ද, ඇතැමුන්ට අනෙක් අයට වඩා වැඩි කලක් ජීවත්විය හැකිබව ද කියා සිටියේ ය.
සබ්මැරීනය අතුරුදන් වූ ප්‍රදේශයෙන් මිනිත්තු 30ක කාල පරතරයක් සහිතව "යමකින් යමකට සැරෙන් පහරදෙනවාක් වැනි හඬක්" කැනේඩියානු සෙවීමේ ගුවන් යානයකට නිරීක්ෂණය වී ඇතැ යි පැවසෙන ඊමේල් කීපයක් එක්සත් ජනපද මාධ්‍ය වාර්තාකර තිබුණි. මෙම ශබ්දය කොපමණ වේලාවක් ඇසුනේ ද යන්න අපැහැදිලි ය.
කෙසේ නමුත්, එක්සත් ජනපද නාවික හමුදාවේ හිටපු න්‍යෂ්ටික සබ්මැරීන අණ දෙන නිලධාරී ඩේවිඩ් මාර්කේ අනතුරු අඟවන්නේ, මෙම බලාපොරොත්තු සහගත ශබ්දය ටයිටන් යාත්‍රාවෙන් පැමිණෙනවා විය නොහැකිබව ය.
"ශබ්දය එන්නෙ ඔවුන්ගෙන් කියලා මම හිතන්නෙ නැහැ. ඒවා ස්වභාවික ශබ්ද වෙන්න පුළුවන්. අපට ශබ්ද ඇහෙනවා, තවත් නැව් [යාත්‍රාව අතුරුදන්වූ] ප්‍රදේශයට එනවා, එතකොට අපට තවත් ශබ්ද ඇහෙනවා. මේක අහම්බයක් කියලා මම හිතන්නේ නැහැ," ඔහු බීබීසීයට පවසයි.
කිමිදීම අරඹා පැයකුත් මිනිත්තු 45කට පමණ පසු එම කුඩා සබ්මැරීන යාත්‍රාව සමග පැවැති සබඳතා බිඳවැටුණුබව එක්සත් ජනපද වෙරළාරක්ෂක සේවාව පැවසීය.
යාත්‍රාවේ සිටි පුද්ගලයින් පස්දෙනා ගලවාගැනීම සඳහා සියලු උපක්‍රමයන් ගවේශනය කෙරෙනබව ඕෂන්ගේට් සංචාරක සමාගම ප්‍රකාශ කළේ ය.
මීටර 3800ක ගැඹුරේ පිහිටි නෞකා සුන්බුන් වෙත කිමිදීම ද ඇතුළු දින අටක සංචාරයක් සඳහා වන ටිකට්පතෙහි මිල ඩොලර් 250 000කි.
මේ ගලවාගැනීමේ මෙහෙයුම සඳහා රජයේ ආයතන, එක්සත් ජනපද හා කැනඩා නාවික හමුදාවන් හා ගැඹුරු මුහුදේ වාණිජ කටයුතු සිදුකරන ආයතන සහාය ලබාදෙනබව බලධාරීහු ප්‍රකාශ කළහ.
ටයිටැනික් නෞකාවේ සුන්බුන් පිහිටා ඇත්තේ කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ්හි සේන්ට් ජෝන්ස් නගරයට කිලෝමීටර 700ක් දකුණෙන්වුව ද, ගලවාගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කෙරෙන්නේ එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ බොස්ටන් සිට ය.
අතුරුදන්වී ඇත්තේ ඕෂන්ගේට් සමාගමේ 'ටයිටන්' නම් සබ්මර්සිබල් යාත්‍රාවබව විශ්වාස කෙරෙයි. එය, පුද්ගලයින් පස්දෙනෙකු රඳවාගත හැකි, සාමාන්‍යයෙන් දින හතරකට සෑහෙන හදිසි ඔක්සිජන් සැපයුමක් සමග කිමිදෙන, ලොරි රථයක ප්‍රමාණයේ සබ්මැරීන යාත්‍රාවකි.
සඳුදා (ජූනි 19) අපරභාගයේ දී, එක්සත් ජනපද වෙරළාරක්ෂක සේවයේ රියර් අද්මිරාල් ජෝන් මෝගර් පුවත් සාකච්ඡාවක දී මෙසේ පැවසීය: "මේ අවස්ථාවේ දී තියෙන්නේ [පැය] 70ත් සම්පූර්ණ පැය 96ත් අතර කොහේ හෝ කියලා අපි අපේක්ෂා කරනවා."
යාත්‍රාව සෙවීමේ කටයුතු සඳහා ගුවන්යානා දෙකක්, සබ්මැරීනයක් හා සෝනා (sonar) බෝයාවන් යොදවා ඇතැ යි පැවසූ ඔහු, සෙවීමේ කටයුතු සිදුකෙරෙන ප්‍රදේශය "දුරස්තර" නිසා මෙහෙයුම් කටයුතු සිදුකිරීම දුෂ්කරබව ද ප්‍රකාශ කළේ ය.
ගලවාගැනීමේ කණ්ඩායම් මෙය "තමාගේම කටයුත්තක් ලෙස සලකා" කටයුතු කරනබව ද, යාත්‍රාවේ සිටින සියලුදෙනා "ආරක්ෂිතව ගෙදර" ගෙන ඒම සඳහා හැකි සෑම දෙයක්ම සිදුකරනබව ද රියර් අද්මිරාල් මෝගර් පැවසීය.
බ්‍රිතාන්‍ය ජාතික බිලියනපති ව්‍යාපාරිකයෙකු හා ගවේශකයෙකු වන 58-හැවිරිදි හේමිෂ් හාඩින්ග් ද අතුරුදන්වූ සබ්මැරීනයේ සිටියවුන්ගෙන් අයෙකුබව ඔහුගේ පවුල විසින් ප්‍රකාශ කෙරිණ.
ගෙවුණු සති අන්තයේ දී, ඔහු ටයිටැනික් සුන්බුන් වෙත ගමන් කෙරෙන මෙහෙයුමකට සම්බන්ධවෙතැ යි "අවසානයේ ආඩම්බරයෙන් නිවේදනය කරන" බව හාඩින්ග් සමාජමාධ්‍යයන්හි සටහනක් තබා තිබුණි - නමුත්, "නිව්ෆවුන්ඩ්ලන්ඩ් වෙත වසර 40කින් පැමිණි දරුණුතම සීත කාලය [නිසා], 2023 වසරේ දී ටයිටැනික් වෙත මිනිසුන් ද සහභාගීව සිදුකෙරෙන පළමු හා එකම ගමන වනු ඇති," යනුවෙන් ද ඔහු සඳහන්කර තිබුණි.
පසුව ඔහු මෙසේ ද ලිවීය: "කෙටි කාලෙකට හොඳ කාලගුණයක් ඇවිත් තියෙන නිසා අපි හෙට [ටයිටැනික් වෙත] කිමිදෙන්න උත්සාහ කරනවා."
ඕෂන්ගේට් පවසන්නේ එහි "පූර්ණ අවධානය සබ්මර්සිබල් යාත්‍රාවේ කාර්යය මණ්ඩලය හා ඔවුන්ගේ පවුල් වෙත යොමුවී ඇති" බව යි.
"සබ්මර්සිබල් යාත්‍රාව සමග සබඳතා යළි පිහිටුවාගැනීම සඳහා වන අපගේ ප්‍රයත්නයේ දී රජයේ ආයතන කීපයකින් හා ගැඹුරු මුහුදේ [කටයුතු කරන] සමාගම් කීපයකින් අප වෙත ලබාදුන් පුළුල් සහයෝගයට අපි දැඩි සේ ස්තුතිවන්ත වෙනවා," එය ප්‍රකාශ කළේ ය.
සමාගම, එහි කාබන්-ෆයිබර් සබ්මර්සිබල් යාත්‍රාවෙහි අටදින සංචාරය විස්තර කරන්නේ "එදිනෙදා දිවියෙන් පිටතට විත්, සැබැවින්ම අපූර්ව දෙයක් අනාවරණයකර ගැනීමේ අවස්ථාවක්" ලෙස ය.
සමාගමේ වෙබ් අඩවියට අනුව එක් මෙහෙයුමක් මේ වන විට සිදුවෙමින් පවතින අතර, 2024 ජූනි මාසය සඳහා තවත් මෙහෙයුම් ද්විත්වයක් සැලසුම්කර තිබේ.
සාමාන්‍යයෙන් මෙම යාත්‍රාවක නියමුවෙක්, ගෙවීම් සිදුකර ගමනට සම්බන්ධවන අමුත්තෝ තිදෙනෙක් හා සමාගම විසින් "අන්තර්ගත පිළිබඳ ප්‍රවීණයෙක්" ලෙස හඳුන්වන්නෙක් ගමන් කරති.
ගමන ඇරඹෙන්නේ නිව්ෆවුන්ඩ්ලන්ඩ්හි සේන්ට් ජෝන්ස් වෙතිනි.
සාගර ගැඹුරට හා ආපිට මතුපිටට කිමිදීම ද ඇතුළුව, නෞකා සුන්බුන් වෙත සිදුකෙරෙන මුළු ගමන සඳහා පැය අටක් පමණ ගතවෙයි.
ඕෂන්ගේට් සතු සබ්මර්සිබල් යාත්‍රා තුනක් ගැන එහි වෙබ් අඩවියෙහි සඳහන් ය. නමුත් ටයිටැනික් සුන්බුන් තැන්පත්ව පවතින ගැඹුර වෙත කිමිදීමට සමත් එකම යාත්‍රාව 'ටයිටන්' ය.
වෙබ් අඩවියට අනුව, බර කිලෝග්‍රෑම් 10 432ක් වන මෙම යාත්‍රාවට මීටර 4000කට ආසන්න ගැඹුරකට කිමිදිය හැකි අතර, පස්දෙනෙකුගෙන් යුත් මඟීන් පිරිසක් සඳහා පැය 96කට ප්‍රමාණවත් ජීවිතාධාරක තිබේ.
සබ්මර්සිබල් යාත්‍රාවන් නෞකා සුන්බුන් සහිත ප්‍රදේශයට ප්‍රවාහනය කිරීම සිදුකර ඇති 'පෝලා ප්‍රින්ස්' නම් නෞකාවක් ද මෙම මෙහෙයුමට සම්බන්ධවී තිබූබව, එම නෞකාවේ හිමිකරු බීබීසීය වෙත පැවසීය.
ගිය වසරේ දී ටයිටන් යාත්‍රාවෙන් සංචාරයක යෙදුනු CBS පුවත් සේවාවේ වාර්තාකරු ඩේවිඩ් පෝග්, සබ්මර්සිබල් යාත්‍රාවේ හා ගොඩබිමෙහි සිටින කාර්යය මණ්ඩලයන් මුහුණදෙනු ඇති ගැටලු පිළිබඳව බීබීසීය සමග ප්‍රකාශ කළේ ය. ඔහු පවසන පරිදි, GPS තාක්ෂණය හා රේඩියෝ "වතුර යට දි වැඩකරන්නේ නැති නිසා" අදාළ යාත්‍රාව සමග සන්නිවේදනය කිරීමට "කිසිම ක්‍රමයක් නැහැ."
"සපෝට් ෂිප් එක කෙලින්ම සබ් එකට ඉහළින් තියෙද්දි, ඒගොල්ලන්ට කෙටි ටෙක්ස්ට් මැසේජස් හුවමාරු කරගන්න පුළුවන්. පැහැදිලිවම, දැන් ඒවාට [එවැනි කෙටි පණිවිඩවලට] උත්තර ලැබෙන්නේ නැහැ," පෝග් කියා සිටියේ ය.
මඟීන් අදාළ යාත්‍රාව තුළට ඇතුළුවීමෙන් පසු පිටතින් බෝල්ට් ඇණ සවිකර යාත්‍රාව 'සීල් කරන' නිසාවෙන්, "එයාලම [සබ් එක] වතුර මතුපිටට අරන් ආවත්, එයාලට ගැලවෙන්න කිසිම ක්‍රමයක් නෑ. පිටතින් කෘ එක ඇවිත් ඔයාලව එළියට ගන්නකල්, ඔයාලට [තනියෙම] සබ් එකෙන් එළියට එන්න බැහැ," ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය.
එකල විශාලතම නෞකාව වූ ටයිටැනික්, 1912 වසරේ දී එංගලන්තයේ සවුත්හැම්ප්ටන් සිට නිව් යෝක් වෙත දියත් කෙරුණු මංගල ගමනේ දීම අයිස් පරයක ගැටුණි. නෞකාවේ ගමන් කළ 2200ක් වූ මඟීන් හා කාර්යය මණ්ඩලයෙන් 1500කට වැඩි පිරිසක් මරණයට පත්විය.
1985 දී නෞකාවේ සුන්බුන් හමුවූ දා පටන් එය පුළුල් ලෙස ගවේශනය කෙරිණ.
නෞකාවේ සුන්බුන් පිහිටා තිබෙන්නේ දෙකොටසකට ය. නැවේ ඇණිය සහ අවරය එකිනෙකට මීටර 800ක් පමණ දුරින් තැන්පත්වී තිබෙයි. කැඩුණු නෞකාව වටා විශාල දුරක එහි සුන්බුන් විසිරී පවතියි.
පසුගිය මාසයේ දී, ගැඹුරු මුහුදේ සිතියම්කරණය හරහා නෞකාවේ පළමු, පූර්ණ-පරිමාණ ඩිජිටල් ස්කෑනය නිර්මාණය කෙරිණි. ස්කෑනය හරහා නෞකාවේ විශාලත්වය මෙන්ම, එහි අවර පෙත්තක අනුක්‍රමික අංකය වැනි ඇතැම් කුඩා තොරතුරු ද දක්වයි.
(BBC සිංහල සේවය)
සබැඳි පුවත් :