කදුරුවෙල සිට අක්කරේපත්තුව බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික මගී බස් රථයක් ඊයේ (09) රාත්‍රී 7.30 ට පමණ පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය කොටලීය පාලමේ හැපී කොටලීය ඔයට
පෙරළීමෙන් 11 දෙනෙක් මරුමුවට පත්ව 40 දෙනෙක් බරපතළ තුවාල ලබා පොලොන්නරුව සහ මනම්පිටිය රෝහල්වලට ඇතුළත් කරනු ලැබ සිටිති.
මියගිය සහ තුවාල ලැබූ මගීහු අක්කරේපත්තුවේ පදිංචිකරුවෝ වෙති. මෙම බස් රථයේ මගීන් හැට හත් දෙනකු ගමන් කර ඇති බව පොලිසිය පවසයි.
බස් රථයේ සිරවී සිටි මගීහු යුද හමුදාවේ, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් සහ ප්‍රදේශවාසීන් විසින් කඩිනමින් බේරා ගෙන රෝහල් ගත කරනු ලැබූහ.
බස් රථයේ සිටි මගීන් කිහිපදෙනකු ඔයේ ගසාගෙන යන්නට ඇතැයි සැක කෙරෙන අතර කිමිදුම්කරුවෝ කණ්ඩායමක් ඔවුන් සොයා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දරා ඇත.
වේගයෙන් පැමිණි බස් රථය එක වරම කොටලීය පාලමේ හැපී ගඟට පෙරළී ගිය බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
බස් රථය ඔයට පෙරළෙද්දී මගීන් මර හඬදී කෑ ගැසූ බව ඔවුහු වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
අනතුර සම්බන්ධයෙන් මනම්පිටිය පොලීසියේ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
තවත් බස්රථයක් අනතුරක - දෙදෙනෙක් මරුට
මේ අතර අඹන්පොළ ප්‍රදේශයේ දී අද (10) අලුයම සිදුවු තවත් බස්රථ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 29 දෙනෙකු තුවාල ලබා තිබේ.
කූරගල වන්දනාවේ ගොස් යළි නිවෙස්න බලා ගමන් කරමින් සිටි බස් රථයක් අඹන්පොළ ප්‍රදේශයේ දී මාර්ගයේ අයිනේ නවතා තිබු කන්ටේනර් රථයක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
තුවාල ලැබූවන් අතර කාන්තාවන් 6ක් හා පිරිමි පුද්ගලයෙක් අඹන්පොළ රෝහලේ ප්‍රතිකාර ලබන අතර තවත් කාන්තාවන් 18දෙනෙක් හා පිරිමි පුද්ගලයින් සිව්දෙනෙක් ගල්ගමුව රෝහලේ ද ප්‍රතිකාර ලබයි.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තලාව ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි සහ 71 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.
කිරිදිකැටිය දී බසයක් පෙරළී 12ක් රෝහලට
මේ අතර තලවකැලේ, වටගොඩ සිට මඩකුඹුර වත්ත දක්වා ගමන් ගත් පුද්ගලික බස් රථයක් ඊයේ (09) සවස දුනුකේදෙණිය, කිරිදිකැටිය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් 12 කු පමණ තුවාල ලබා ඇතැයි පුඩළුඔය පොලීසිය පවසයි.
අනතුරුට පත් වන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයන් 25 කු පමණ ගමන් කරමින් සිට ඇති බවත්, ඔවුන්ගෙන් තුවාල ලැබුවන් කොත්මලේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබිණි.
වටගොඩ වතුයායේ වැඩ කිරීම සඳහා වැවහේන ප්‍රදේශයේ පිරිසක් රැගෙන ගොස් ආපසු වැඩ අවසන්ව ඔවුන් නිවෙස් බලා රැගෙන ගිය බස් රථයක් මෙසේ අනතුරට ලක්ව තිබේ.