ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ ආරාධනයකට අනුව ජනපතිවරයා ඉන්දියාව බලා පිටත්වුයේ ඔහුගේ පදවි ප්‍රාප්තියේ පළමු වර්ෂ පූර්ණය හෙට දිනට යෙදී තිබිය දී ය.
ජනපතිගේ ඉන්දීය සංචාරය විශේෂ වන්නේ ඇයි?
දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනයකර 75 වසරක් සපිරීමේ සංවත්සරයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජූලි මස 20 සහ 21 යන දිනවල දී මෙලෙස ඉන්දියාවේ නිල සංචාරයක යෙදෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනු ලැබීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඔහුගේ දෙදින නිල සංචාරයේ දී ඉන්දීය ජනාධිපති ද්‍රෞපර්දී මුර්මු, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ඇතුළු ඉන්දීය රජයේ ඉහළ පෙළේ ප්‍රධානීන් රැසක් හමුවී අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කරුණු රැසක් පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත ය.
දෙරට අතර පවත්නා දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉහළ නැංවීමට සහ තහවුරු කිරීමට මෙම සංචාරය ඉවහල් වනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.
දුකේ දී අත්නොහළ අසල්වැසියා
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුද මධ්‍යයේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් පසුගිය මාර්තු 18 වැනිදා ප්‍රකාශ කළේ,
"රුධිරය ජලයට වඩා ඝන" බැවින් ඉන්දියාව ශ්‍රී ලංකාවේ දුෂ්කර කාලවල දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීම ස්වාභාවික බව යි.
ඉන්දු - ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 75ක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවා පිළිබඳ ප්‍රදර්ශනයක් අමතමින් ඔහු මේ බව පැවසීය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ විදෙස් ප්‍රතිපත්තිය අනුව 'පළමුව අසල්වැසියා' යන සංකල්පය මත ඉන්දියාව ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට ඉදිරිපත් වූ අවස්ථා රැසක් තිබේ.
ඉකුත් 2022 වසරේ ආරම්භයේ සිට ශ්‍රී ලංකාව මුහුණදුන් මහා ආර්ථික අර්බුදය හමුවේ ඉන්දියාව ලබාදුන් සහයෝගය මෙරට ජනතාවට දැවැන්ත ශක්තියක් විය.
ඉන්ධන මිළදී ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය මුදලක් (2022)
විශේෂයෙන්ම ඉන්ධන හිඟය, ඖෂධ හිඟය, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු ඇමෙරිකානු ඩොලර් බිලියන හතරක හදිසි ආධාර සැපයීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී රජය පියවර ගත්තේ ය.
මීට අමතරව ශ්‍රි ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය අනුමතකර ගැනීම සඳහා අවශ්‍ය වූ ණයහිමියන්ගේ සහතිකය ලබා දීමේ දී ඉන්දියාව ප්‍රමුඛ කාර්යය භාරයක් ඉටු කළේ ය.
පදවි ප්‍රාප්තියෙන් පසු ජනපතිගේ විදෙස් සංචාර
2022 වසරේ ජූලි 21 වැනිදා ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවස්ථා හයක දී විදේශ සංචාරයන්වල නිරතව ඇත.
තුන්වන චාර්ල්ස් රජු හමුව
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය වසරේ දී බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණගේ රාජකීය අවමංගල්‍ය සඳහා සහභාගීවීමට ද, පසුව තුන්වන චාර්ල්ස් රජුගේ පදවි ප්‍රාප්ති උත්සවයට ද ඇතුළුව අවස්ථා තුනක දී බ්‍රිතාන්‍යයේ සංචාරය කරනු ලැබුවේ ය.
ඔහු අවස්ථා දෙකක දී ජපානයේ නිල සංචාරවල ද නිරත විය.
පිලිපීනයේ පැවති ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ සැසිවාරය, ඊජිප්තුවේ පැවති 2022 එක්සත් ජාතීන්ගේ කාලගුණික විපර්යාස පිළිබඳ සමුළුව සහ ප්‍රංශයේ පැවති නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට ද ජනාධිපතිවරයා සහභාගී වූයේ ය.
මීට අමතරව, සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයෙන් ජනාධිපති වික්‍රමසිංහ එරට සංචාරයක නිරත වූයේ ඉකුත් මැයි මාසයේ දීය.
ඉන්දීය සංචාරයට පෙර ජනපති දෙමළ දේශපාලඥයින් හමුවෙයි
ඉන්දීය නිල සංචාරයට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මෙරට දෙමළ දේශපාලන පක්ෂ නායකයින් අතර හමුවක් පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.
උතුරු හා නැගෙනහිර ජනතාවගේ ගැටලු විසඳීමට අදාළ හොඳම යෝජනාවලිය මේ වන විට ඉදිරිපත් කර අවසන් බවත්, එය ක්‍රියාත්මක කරනවා ද, නැද්ද යන්න එම දේශපාලඥයින් තීරණය කළයුතු බවත්, එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ය.
එම සාකච්ජාවේ දී මූලික වශයෙන් අවධානයට යොමු වූ කරුණු මොනවා ද?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අදාළව ඉදිරිපත් කර ඇති යෝජනාවේ ඇතුළත් සියලු බලතල ලබාදීමට හැකියාවක් ඇති නමුත් පොලිස් බලතල ලබාදිය හැක්කේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් ඊට එකඟවන්නේ නම් පමණක් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.
තමා රනිල් වික්‍රමසිංහ මිස රනිල් රාජපක්ෂ නොවන බවත්, ඔහුට අවශ්‍ය උතුරු නැගෙනර ද්‍රවිඩ ජනතාවගේ ගැටලු විසඳීම මිස ඉන් දේශපාලන ප්‍රතිලාභ ලබා ගැනීම නොවන බවත් ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ය.
ජාතික සමගිය සහ ප්‍රතිසන්ධාන කාර්යාලය සඳහා වන කෙටුම්පතක් එහි ව්‍යවස්ථානුකූලභාවය විමසා බැලීම සඳහා නීතිපතිවරයා වෙත යොමුකර ඇති අතර, එය නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත්, ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කාර්යාලය විසින් කෙටුම්පත් කරන ලද සංහිඳියාව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම ද ළඟඳීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමේ සූදානමක් හෝ ඒ පිළිබඳ සංවාදයක් හෝ රජය මතු කර නොමැති බව ද ඔහු අවධාරණය කළේ ය.
'ඉන්දීය සංචාරයට පෙර නාටකයක්'
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග පැවති සාකච්ජාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් දෙමළ දේශපාලකයින් ප්‍රකාශ කර සිටියේ මෙය ඉන්දීය සංචාරයට පෙර සිදුකළ නාටකයක් බව යි.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන්, ජාතික ප්‍රශ්නයට විසඳුමක් දීමට ජනපති සතුව නිසි සැලැස්මක් නොමැති බව ප්‍රකාශ කළේ ය.
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්ක තිබ්බ සාකච්ජාවේ දී ජාතික ප්‍රශ්නයට විසඳුමක් දෙන්න ඔහු සතුව නිසි සැලසුමක් නොමැති බව පැහැදිලි වුණා. ලෝකයට පේන්න, විශේෂයෙන් ඉන්දියාවට පේන්න කරපු නාට්‍යක් විදිහටයි අපි එය දකින්නේ. ෆෙඩරල් ක්‍රමයක අවශ්‍යතාවය පිළිබඳ එම හමුවේ දී අපි ප්‍රකාශ කළා. නමුත් 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයක ජනාධිපතිවරයා සිටියේ. එය ජාත්‍යන්තරයට පෙන්වන්න ගත් උත්සහයක් බව කියන්න කැමතියි," මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ ය.
මේ අතර ජූලි 19 වෙනිදා පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් කොළඹ විශ්වවිද්‍යාලයයේ නීති පීඨයේ මහාචාර්ය ඒ. සර්වේෂන් පැවසුවේ ජනාධිපතිවරයා එක ගලෙන් අඹ ගෙඩි දෙකක් කඩා ගැනීමේ උත්සාහයක නිරතවන බව ය.
වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා, "උතුරු නැගෙනහිර එක් නොකර පොලිස් බලතල නොදුන් පළාත් සභා තමයි පසුගිය සමයේත් තිබුනේ. ඒ ක්‍රමය නැවත ලබා දෙන්න දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් කැඳවලා ආපහු සාකච්ජා කරන්න අවශ්‍යතාවයක් නැහැ.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරයෙන් ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් කුමන ප්‍රතිලාභයක් අත්වෙයි ද? ඒ පිළිබඳ බොහෝ පර්ශව උනන්දුවෙන් පසුවෙති.
(BBC සිංහල සේවය)