රාජගිරිය ප්‍රදේශයේ කාර්යාලයක් විවෘත කරනු ලැබුවේ දේශපාලන පක්ෂයක් ගොඩනැගීමට බවත්, එම දේශපාලන පක්ෂයේ කටයුතු එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට අරඹන බවත් පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා පවසයි.
ඔහු එබව සඳහන් කර ඇත්තේ, 'අනිද්දා' විකල්ප ජාතික පුවත්පතට විශේෂ ප්‍රකාශයක් කරමිනි.
'' ලාන්සාගේ අලුත් පක්ෂය සැප්තැම්බරයේ එනවා '' යන ප්‍රධාන සිරස්තලයෙන් යුතුව ඊට අදාල පුවත් පළකර ඇත.
තමා ආණ්ඩුවෙන් ඉවත්වූයේ මිට වසර එකහමාරකට පෙර බවත්, තමා මෙන්ම ආණ්ඩුවෙන් ඉවත්වූ තවත් මන්ත්‍රීවරුන් 69ක් ස්වාධීනව ඉන්නා බවත්, ඔවුන් සමග එක්වී අලුත් පක්ෂය ගොඩනගන බවත්, ලන්සා මන්ත්‍රීවරයා 'අනිද්දා' පුවත්පතට පවසා ඇත. එතෙක් පක්ෂයේ බිම් මට්ටමේ කටයුතු සිදුකරමින් සිටින බවත් ඔහු පවසා තිබේ.
ගොඩනැගීමට යන පක්ෂයේ ප්‍රධාන කාර්යාලය ජුලි 20 වනදින රාජගිරිය ලේක් ඩ්‍රයිව් පාරේ විවෘතකරනු ලැබූ අතර එය විවෘත කළේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාරයි. එම අවස්ථාවට කලක් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත් එම පක්ෂයේ වෘත්තීය සමිති නායකයකු ලෙස කටයුතු කරමින් සිට බැසිල් රාජපක්ෂ සමග එක්ව ඔහුගේ මැතිවරණ යාන්ත්‍රණයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ සිරිපාල අමරසිංහ ද සහභාගී වී තිබිණ. මේවනවිට එම පක්ෂ කාර්යාලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ද ඔහුය.
ලාන්සා මන්ත්‍රීවරයා සමග එම මෙම අලුත් දේශපාලන ව්‍යාපාරයට ආණ්ඩුවෙන් ස්වාධීනව සිටින අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු පිරිසක් ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්ව සිටින ලසන්ත අලගියවන්න ඇතුළු පිරිසක්ද සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මන්ත්‍රීවරිය ඇතුළු පිරිසක් ද මේවනවිට එක්ව සිටින බව වාර්තාවේ.