ආසාත්මිකතා හා සංකූලතා ඇතුළු සිද්ධීන්ගෙන් මෙරට රෝහල් කිහිපයක සිදු වූ බවට සැක කරන සිදුවීම් සම්බන්ධයෙන් විද්‍යාත්මකව සොයාබැලීම සදහා
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත් කරන ලද විශේෂඥ කමිටු වාර්තාව ඊයේ (09) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාර දී තිබේ.
ඒ, එම කමිටුවේ සභාපති, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දේදුණු ඩයස් ඇතුළු කමිටු සාමාජිකයින් පිරිසක් විසිනි.
එම වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල වෙත නිල වශයෙන් බාරදෙනු ලැබීය.
පේරාදෙණිය ශික්ෂණ රෝහල ඇතුළු රෝහල් කිහිපයක රෝගීන්ගේ සිදු වූ ආසාත්මිකතා සහ සංකූලතා හේතුවෙන් ඒ පිළිබදව විද්‍යාත්මකව සොයාබැලිමට ඉකුත් ජුලි 17 දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් මෙම කමිටුව පත් කරනු ලැබීය.
මෙම වාර්තාවේ අරමුණ වූයේ පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ කතාබහට ලක්වුණු ආසාත්මිකතා හේතුවෙන් ඇති වූ සංකූලතා හා මරණ සම්බන්ධ වූ විශ්ලේෂණයක් ඉදිරිපත් කිරිමයි.
ඇති වූ සිද්ධි 06 සැළකීමේ දී ඉන් 05 ක්ම දරුණු ආසාත්මිකතා (Anaphylaxis) හේතු කොටගෙන සිදු වූ බව වාර්තාවේ සදහන් වේ. මෙම සිද්ධීන්ට හේතු වූ ඖෂධයන්හි තත්ත්ව පරීක්ෂණ තවදුරටත් සිදුවෙමින් පවතින අතර, එම පරීක්ෂණ ගැඹූරින් විග්‍රහ කිරිමට වැඩි කාලයක් ගත වන බැවින් එම වාර්තාවේ නිරික්ෂණ ද සහිතව සවිස්තරාත්මක ඇගයීම් කමිටු වාර්තාවක් සමග ඉදිරිපත් කිරිමට නියමිතය.
ආසාත්මිකතා විෂයට අදාළ සිද්ධීන්ට සම්බන්ධ ඖෂධයන්හි තත්ත්ව පරික්ෂණ ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ රසායනාගාරය (NDQAL) ආයතනය මගින් සිදුවෙමින් පවතී. ඒ අනුව සෞඛ්‍ය පද්ධතිය තුළ තවදුරටත් පෙර සුදානම, හදුනාගැනීම හා කළමණාකරණය සදහා නිර්දේශයන්ද වාර්තාවේ ඉදිරිපත් කර ඇත.
මෙම විශේෂඥ කමිටු වාර්තාව සෞඛ්‍ය අමාත්‍යවරයාට බාරදීමේ අවස්ථාවට කමිටු සභාපති වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දේදුණු ඩයස්, ශ්‍රී ජයවර්ධපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා සහ ප්‍රතිශක්ති විද්‍යාව පිළිබද මහාචාර්ය චන්දිම ජීවන්දර, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකර්ම පිළිබද විශේෂඥ වෛද්‍ය සෙනිත ලියනගේ ඇතුළු කමිටු සාමාජිකයින් සහ සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක ද එක්ව සිටියහ.
කමිටු වාර්තාව වහාම ප්‍රසිද්ධියට පත් කරන්න
මේ අතර සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසන්නේ, අසාත්මිකතාවේ හේතුවෙන් ඇති වූ ඇති වූ මරණ සහ සංකූලතා පිළිබඳව අධ්‍යයනය කිරීමට පත්කළ දේදුනු කමිටුව වහාම ප්‍රසිද්ධියට පත් කරන ලෙසයි.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති, රවී කුමුදේශ් මෙසේ පැවසිය.
'' දේදුණු කමිටුව පිළිබඳව මහජනතාව ඉතා උනන්දුවෙන් බලා සිටින්නේ, සෞඛ්‍ය සේවාවේ ප්‍රශ්ණයක් ඇති බව පිළිගනිමින් අධ්‍යනයක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය උත්සාහකල එකම අවස්ථාව එය නිසාය. නමුත් සෞඛ්‍ය සේවවේ ඖෂධ ප්‍රශ්ණය යනු, සෞඛ්‍ය ප්‍රශ්ණ වලින් 1%කි. අසාත්මිකතා ප්‍රශ්ණය යනු ඖෂධ ප්‍රශ්ණයෙන්ද 1%කි. එනයින් සමස්ථ සෞඛ්‍ය ප්‍රශ්ණයට දේදුණු කමිටුවෙන් විශාල අස්වැසිල්ලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කල නොහැකි වුවද, එය සෞඛ්‍ය සේවාව පිළිබඳව මෑත කාලීනව විධිමත් අධ්‍යනයක් සිදු කල එකම අවස්ථාව නිසා, ඒ පිළිබඳව මහජනතාව දැනුවත් වීම අතිශයින්ම වැදගත්ය.
අසාත්මිකතාව පිළිබඳව අධ්‍යනය කල කමිටුවට තාක්ෂණික හෝ රසායනාගාර අධ්‍යනයක් කිරීම හැකියාවක් තිබී නැහැ
රෝගියා සඳහා අනුගමනය කල පූර්ව හා පශ්චාත් ක්‍රමවේදයෙහි සිදු විය හැකි වෘත්තීමය වැරදි පිළිබදව, අදාල විශේෂඥ කණ්ඩායම ලබා දෙන තොරතුරු ඒ ආකාරයෙන්ම පිළිගන්නවා හැර වෙනත් විකල්පයක් ද නැහැ. ඒ නිසා ඔවුනගේ අධ්‍යනය ඖෂධය ගෙන්වීමෙන් අනතුරුව සිදුවන ශීතකකරණ, බෙදාහැරීම, පශ්චාත් වෙළද ක්‍රියාවලියට සීමා වී ඇති බව පෙනෙන්නට තිබෙනවා.
කෙසේ නමුත් කෙතරම් ඖෂධ ප්‍රමාණයක් පිළිබඳව අධ්‍යනය කලේද, කෙතරම් සිදු වීම් ප්‍රමාණයක් අධ්‍යනය කලේද, ඒවායෙන් කොපමණ ප්‍රතිශතයක් දෝෂ සහිතද යන්න මෙම වාර්ථාව මගින් හෙලිදරව් කල හැකි වැදගත්ම තොරතුරක් වන බැවින්, සම්පූර්ණ වාර්ථාව වහා හෙලි දක්වන ලෙස අප ඉල්ලා සිටිනවා.''