එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය විසින් සම්පාදනය කර ඇති "ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය" පිළිබඳ වාර්තාව තමන් නොතකා හැර ඇති බව යුද්ධයෙන් පිඩාවට පත් වූ දෙමළ ජනතාව කනස්සල්ලට පහව

සිටිති.

අද දින ආරම්භ වන සැසිවාරයට පෙර නිකුත් කරන ලද පිටපතෙහි ඇති නිර්දේශයන්ගෙන් බහුතරයක් පුනරාවර්තනය වී ඇති ඒවා වන අතර ඉන් කිසිවක් දෙමළ ජනතාවගේ ගැටළු සහ අවශ්‍යතා ආමන්ත්‍රණය කර නැති බව ඔවුහු පවසති.

දැනට ඇති ප්‍රධානතම දැවෙන ප්‍රශ්නයක් වන උසාවි නියෝග නොතකා රාජ්‍ය ආයතන මැදිහත් වී බෞද්ධ විහාරස්‌ථාන ඉදිකිරීම සහ දෙමළ  ජනතාව සතු  සාරවත්  ඉඩම් කොල්ල කා ඔවුන්ගේ ජීවනෝපාය අහිමි කිරීමට සිදු කරන ප්‍රයන්තයන් පිලිබඳ ඉතා සුළු වශයෙන් කෙටුම්පත් වාර්තාවේ සඳහන් කර ඇති අතර යුද්ධයෙන් පීඩාවට පත් මුලතිව් දිස්ත්‍රික්කයේ කොක්කුතොඩුවායි ප්‍රදේශයෙන් මෑතකදී සොයාගන්නා ලද සමූහ මිනීවල පිලිබඳ වචනයක්වත් සඳහන් කර නැත.

 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා කවුන්සිලයට ඉදිරිපත් කළ වාර්තාවේ දෙමළ ජනතාව විසින් එකහෙළා ප්‍රතික්ෂේප කර ඇති සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ඇත.

“මානව හිමිකම් කඩකිරීම්වලට ගොදුරු වූවන් සත්‍යය, යුක්තිය, වන්දි ගෙවීම සහ එවැනි සිදුවීම් නැවත සිදු  නොවන බවට සහතික කිරීමට ගනු ලබන පියවර පිලිබඳ දිගටම බලා සිටින” බව වාර්තාවේ සඳහන් වුවද, එය වින්දිතයාගේ දෘෂ්ටිකෝණය පිළිබිඹු නොකර අතර රජයේම අදහස් ප්‍රතිරාවය කරන විලාසයක් දක්නට ලැබේ.

මෙම වාර්තාව පාලන තන්ත්‍රයේ ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිසන්ධාන ක්‍රියාමාර්ගවලට මුලපිරීම කිරීම හරහා අභියෝගවලට මුහුණ දීම හා සමගාමීව යන අර්ථවත් හා ස්වාධීන වගවීමේ ක්‍රියාමාර්ග අවශ්‍ය බව පැවසුවද, එවැනි වගවීමේ ක්‍රියාමාර්ග කිසිවක් අද වනතුරුත් ක්‍රියාත්මක කර නොමැති බව ඉස්මතු නොකරයි.

ආණ්ඩුව ක්‍රියාවේ යොදවන බව පැවසෙන සත්‍ය හා සංහිඳියා කොමිසමට වින්දිතයන්ද එකතු කරගන්නා ලෙස මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටී.  

එහෙත් සත්‍ය සෙවීමේ අභ්‍යන්තර යාන්ත්‍රණයන් නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කර ඇති දෙමළ වින්දිතයන් ඊට එරෙහිව ඔවුන් තම මතය ඉතා පැහැදිලි ලෙස ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයාගේ වාර්තාව දෙමළ ජනයා ඔවුන්ගේ කැමැත්තට එරෙහිව ඒ දෙසට තල්ලු කරන බවක් පෙනෙන්නට තිබේ.

 දෙමළ මව්වරුන්ගේ නායකත්වයෙන් යුත් උතුරු සහ නැගෙනහිර පළාත්වල බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන්ගේ සංගමය (AERD) අතුරුදහන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය වන අගෝස්තු 30 වැනි දින කරන ලද ප්‍රකාශය මගින් ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා ඔවුන්ගේ ඉල්ලීම නැවත අවධාරණය කරන ලදී.

"අපට දේශීය ක්‍රියාවලිය ගැන කිසිම විශ්වාසයක්  නෑ. ඒ නිසා අපි වසර පහහමාරකට වැඩි කාලයක් උතුරු නැගෙනහිර සාමකාමී විරෝධතා පවත්වමින් ඉන්නවා. ඒක නිසා ජාත්‍යන්තර යුක්ති යාන්ත්‍රණයක්  අපිට අවශ්‍යයි."

මහ කොමසාරිස් වාර්තාව දකුණේ රාජ්‍ය පීඩනය ගැන කතා කරන අතරම එය උතුරේ සහ නැඟෙනහිර දශක ගණනාවක් තිස්සේ සිදුවෙමින් පවතින සිදුවීම් පිලිබඳ බොහෝ දුරට නිහඬව සිටියි.

අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ සංගමය (AERD) විසින් මෑතකදී කරන ලද ප්‍රකාශයකින් කියා සිටියේ “හමුදාවයි පොලිසියයි  දිගින් දිගටම අපේ වටේ ස්ථානගත වෙලා ඉන්නවා. අපි හැමතිස්සෙම මරණ බයෙන් තමයි ඉන්නේ. ඒ වගේම අපේ දරු මුණුපුරන්ගේ ආරක්‍ෂාව ගැනත් අපි ගොඩක් කනස්සල්ලෙන් ඉන්නේ. මේ භීතිය අපිව දවසින් දවස විනාශ කරනවා," යනුවෙනි.

සත්‍ය සෙවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මතුවී ඇති ගැටළු සාකච්ඡා කිරීම සඳහා පසුගියදා දෙමළ මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවක් ජනාධිපතිවරයා විසින්ම අසාර්ථක වූවක් ලෙස හැඳින්වුවද, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාව ප්‍රතිසන්ධානය ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ‘කැපවීම’ ක් ගැන ප්‍රශංසා කරයි.
"රජයට අනුව, ජූලි මාසය වන විට, එය රජයේ ආයතන, සිවිල් සමාජය, වෘත්තීය සමිති සහා දෙමළ දේශපාලනඥයන් ඇතුළු පාර්ශවකරුවන් ගණනාවකගේ අදහස් විමසා ඇත"

කෙසේවෙතත් මෙම තොරතුරු විමසීම පුළුල්ව පැතිරී නොමැති බවට වාර්තාව එකඟ වී ඇති  බව දක්නට ලැබේ.

"කෙසේ වෙතත්, මෙතෙක් මෙම තොරතුරු විමසීම  පුළුල් වී සිදු කර නැති අතර, වින්දිතයින්, ඔවුන්ගේ සංගම්, මානව හිමිකම් ආරක්ෂකයින් සහ බොහෝ කැපී පෙනෙන සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ විශේෂඥයින් මෙයට ඇතුළත් කර නැත".

සමස්ත ක්‍රියාවලියේ ප්‍රධාන පාර්ශවකරුවන් වන යුද්ධයෙන් විපතට පත් දෙමළ ජනතාවගෙන් සෘජුව අදහස් විමසා නැති අතර, එම යාන්ත්‍රණය සකස් කරන කිසි විටෙකත් ඔවුන්ගේ දෘෂ්ටිකෝණ සලකා බලා තිබුනේද නැත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාව තොරතුරු විමසීමේ  ක්‍රියාවලිය පිළිබඳව සිය කනස්සල්ල පළ කර ඇතත්, විපතට පත් දෙමළ ජනතාව සමඟ එවැනි තොරතුරු විමසීමේ ක්‍රියාවලියක් ඉදිරියට ගෙන යාම සඳහා වඩා ප්‍රබල නිර්දේශයක් ඉදිරිපත් කර නැත. වින්දිතයින්ගේ යහපත වෙනුවෙන් යෝජිත සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම අගය කරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින වචීපරමයක් පමණක් බවට පත් වී ඇත.
 
 වාර්තාව තවදුරටත් පවසන්නේ සත්‍ය සෙවීමේ ක්‍රියාවලිය වින්දිතයින් සහ බලපෑමට ලක් වූ ප්‍රජාවන් විසින් විශ්වාස කළ යුතු බවත්, එය සත්‍ය තොරතුරු විමසීම තුලින් ආරම්භ වන බවත්ය. එසේම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට දේශපාලන කැමැත්ත අවශ්‍ය බවත් සඳහන් කර ඇත.
"එය සිදු විය යුත්තේ වින්දිතයින්ට පළිගැනීම් වලට බිය නොවී කටයුතු කිරීමට නිදහස ඇති පරිසරයක පමණක් නොව, ඔවුන්ගේ අර්ථවත් සහභාගීත්වයට ඉඩ සලසන තත්වයන් තුළ ය."

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත තවමත් බොරු චෝදනා මත මිනිසුන් අත්අඩංගුවට ගැනීමට යොදා ගැනීම  නිසා වින්ඳිත පිරිස් රජයේ පළිගැනීම් වලට බියෙන් පසුවෙති. ඔවුන්ගේ අයිතීන් ඉල්ලා විරෝධතා පැවැත්වීමද බොරු චෝදනා පිට අත්අඩංගුවට ගෙන දිගු කාලයක් සිරගත කර රඳවා තබාගැනීම තවමත් සිදුවන්නකි.

හමුදාව සහ පොලිසිය සතුව පවතින ඉඩම් ප්‍රමාණය පිලිබඳ සහ එම ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් රජය විසින් දෙන ලද තොරතුරු අතර පරස්පරතා තිබුනද, මේ නවතම වාර්තාවෙන් රජයේ ක්‍රියාකලාපය ප්‍රශ්න කර නොමැත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් සැප්තැම්බර් 6 වැනි බදාදා දින  මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ශ්‍රී ලංකාව තුළ තවමත් වගවීම නොමැති  බවයි.

"ශ්‍රී ලංකාව වගවීම පිළිබඳ අඛණ්ඩ හිඟයකින් පෙළෙයි.  රට ඉදිරියට යාමට යුද අපරාධ වේවා , වඩාත් මෑත කාලීන මානව හිමිකම් කඩකිරීම් වේවා, දූෂණය හෝ බලය අනිසි ලෙස භාවිතා කිරීම වේවා, මේ සියල්ල  විසඳිය යුතුය".

කෙසේ වෙතත්, පුළුල් ප්‍රවිචාරණයේ  සහ විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාවලියක් හරහා ඕනෑම සත්‍ය කොමිසමක් සඳහා නිසි අඩිතාලම දැමීමට අවශ්‍ය තරම් කාලය ලබා ගන්නා ලෙස මහ කොමසාරිස්වරයා  රජයට ආයාචනා කර ඇත. කෙසේ වෙතත්, ඔහු විසින් යෝජනා කරන ආකාරයේ කිසිවක් නොකිරීම සම්බන්ධයෙන් තම අතෘප්තිය හෝ නිශ්චිත ක්‍රියාමාර්ගයක් ප්‍රකාශ වී නැත.

JW

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image