යාපනය, නල්ලූර් කෝවිල අසළ උපවාසයක නිරතව සිටියදී 1987 සැප්තැම්බර් 26 වැනිදා මරණයට පත්වු රාසයියා පාර්දීපන් නොහොත් තිලීපන්ගේ 36 වන අනුස්මරණය වෙනුවෙන් පැවැත්වෙන රථ පෙළපාලිය ඊයේ
(සැප්තැම්බර් 25 වැනිදා) යාපනයට ළඟා විය.
තිලීපන් අනුස්මරණය කරමින් පොතුවිල් සිට යාපනය දක්වා ගමන් කළ මෙම රථ පෙළපාලියට සැප්තැම්බර් 17 වන දා ත්‍රිකුණාමලයේ දී ප්‍රහාරයක් එල්ල විය.
එම ප්‍රහාරයට සම්බන්ධ 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
තිලීපන් අනුස්මරණය කරමින් කිලිනොච්චිය, වට්ටකච්චි ප්‍රදේශයේදී (සැප්තැම්බර් 24 වැනිදා) එක් සැමරුම් වැඩසටහනක් පැවැත්වුණු අතර, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඇතුළු පිරිසක් ඊට එක්වූහ.
එහිදි තිලීපන්ගේ ජායාරූපයක් වෙත මල් පුදා උපහාර දක්වනු ලැබිණි.
තිලීපන් යනු කවුද?
දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ මුල්කාලීන සාමාජිකයෙකු වූ තිලීපන් යාපනය විශ්වවිද්‍යාලයයේ ශිෂ්‍යයෙකු ද විය.
ඔහු 1987 සැප්තැම්බර් 15 දින යාපනය නල්ලූර් කන්දස්වාමි කෝවිල ඉදිරිපිට දී මාරාන්තික උපවාසයක් ආරම්භ කරන්නේ, ඒ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙන් රඳවාගෙන සිටින සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස සිදුකළ ඉල්ලීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන ය.
කෙසේ නමුත්, ඔහුගේ එම ඉල්ලීම් එවකට රට පාලනය කළ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ලබා නොදුන් අතර, 1987 සැප්තැම්බර් 26 දා ඔහු නිරාහාරව මියගියේ ය.
සෑම වසරකම පාහේ තිලීපන් සැමරුම් සිදු කරන අතර ඇතැම් සමරුවලට මෙවර මෙන් ප්‍රහාර එල්ල වූ අවස්ථා ද තිබේ.
තිලීපන් සමරු රථ පෙළපාලියට ප්‍රහාරයක්
තිලීපන් සිහිකරමින් පොතුවිල් සිට යාපනය දක්වා ගමන් කළ රථ පෙළපාලියකට සැප්තැම්බර් 17 වැනිදා ත්‍රිකුණාමලයේ දී ප්‍රහාරයක් එල්ල විය.
මෙවර තිලීපන් සැමරුම වෙනුවෙන් අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් පක්ෂය විසින් පොතුවිල් සිට යාපනය දක්වා යන රථ පෙළපාලියක් සංවිධානය කර තිබූ අතර, පහරදීම සිදුව තිබුණේ ත්‍රීකුණාමලය හරහා රථ පෙලපාලිය ගමන් කිරීමට යෑමේ දී ය.
ත්‍රීකුණාමලයේ චීන වරාය පොලිස් බල ප්‍රදේශයට අයත් සර්ධාපුර මංසන්ධියේ දී කණ්ඩායමක් මාර්ගය අවහිරකර තිබී ඇත. ඔවුන් රථ පෙළපාලියේ ගමන් කළ අයට නැවත හරවාගෙන යන ලෙස බලපෑම් සිදු කර තිබේ.
පසුව තිලීපන්ගේ සමරු ඵලකයක් රැගත් රථය එතැනින් ඉදිරියට යාමට තැත් කිරීමේ දී එම රැස්ව සිටි කණ්ඩායම පෙළපාලියේ ගමන් කළ අයට පහර දී තිබේ.
එම ස්ථානයේ වාර්තාකරණයේ යෙදී සිටි ප්‍රාදේශීය වාර්තාකරුවෙකු වන ලක්මල් බදුගේ බීබීසී සිංහල වෙත මෙලෙස ප්‍රකාශ කළේ ය:
"රථ පෙළපාලිය සර්ධාපුර මංසන්ධියට එනකොටම ඒ ඉඳපු සිංහල අය පාරට ටයර් දාලා පාර හරස් කරලා තිබුණා. 'උඹලට කොටි සමරන්න ඕනේ නම් යාපනේ ගිහින් කරගනින්,' වගේ දේවල් කිය කියා ආපහු යන්න කියලා බලපෑම් කළා. එතැන දි පාර්ලිමේන්තු මන්ත්රී සෙල්වරාජා කජේන්ද්‍රන් සිටි සමරු ඵලකය තිබුණු වාහනය එතනින් ඉස්සරහට යන්න හදනකොටම එතන රැස්වෙලා ඉඳපු සිංහල ජනතාව ජාතික කොඩි ගහගෙන හිටපු පොලුවලිනුයි ගල්වලිනුයි පහර දෙන්න ගත්තා," ලක්මාල් බදුගේ පවසයි.
එහි දී එම ස්ථානයේ වාර්තාකරණය සඳහා පැමිණ සිටි මාධ්‍යවේදීන් පහරකෑමට ලක් වෙමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බේරාගැනීමට උත්සහ කර ඇත.
"මම කිවුවා මේ ඉන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියලා. ඒත් නවත්වන්නේ නැතුව ගැහුවා," ලක්මාල් පවසයි.
"පොලිසිය මැදිහත් වුණේ නෑ"
එම ස්ථානයේ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සහ සිවිල් ඇඳුමින් සැරසි ආරක්ෂක නිලධාරීන් කිහිපදෙනෙකු සිටිය ද ඔවුන් ගැටුම නිරාකරණයට මැදිහත් නොවූ බව ලක්මාල් බදුගේ පවසයි.
"මම එතනට යන විටත් සිවිල් ඇඳුමින් ආරක්ෂක නිලධාරීන් කීප දෙනෙක්ම හිටියා. පහරදීම වෙන අතරෙ ට්‍රැෆික් නිලධාරීන් දෙන්නෙකුත් ආවා. නිල වශයෙන් පොලිසිය නියෝජනය කරලා උද්ඝෝෂණය වීඩියෝ කරන්න නිලධාරියෙක් ඇවිත් සිටියා. නමුත් කිසි කෙනෙක් ඒක වළක්වන්න කටයුතු කළේ නෑ," ඔහු පැවසීය.
"පොලිසිය සම්බන්ධදැ යි සැකයි"-සෙල්වරාජා කජේන්ද්‍රන්
පහරකෑමට ලක් වූ අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී සෙල්වරාජා කජේන්ද්‍රන්, මෙම ප්‍රහාරයට පොලිසිය ද සම්බන්ධයැ යි ඔවුන් සැක කරන බව බීබීසී සිංහල වෙත පැවසුවේ ය.
"පහරදීම වුණ වෙලාවෙ කිසි නිලධාරියෙක් ඒක වළක්වන්න කටයුතු කළේ නෑ. පහරදීම වෙන තැනට කලින් අපි මිලිටරි කෑම්ප් එකක් පහුකරගෙන එන විට ඒ ආසන්නයෙන් අපේ වාහනේට ගල් පාරක් එල්ල වුණා. ඒ තැන පහු කරගෙන එන අතරෙ තමයි සර්ධාපුරදි අපට ගල් මුගුරුවලින් පහර දුන්නේ," මන්‍ත්‍රීවරයා පවසයි.
ඔවුන් එතැනින් ගමන් කිරීමට ප්‍රථම ඔවුන්ගේ පක්ෂයේ ත්‍රීකුණාමලයේ සංවිධායකවරයාට ද එම පිරිස පහරදුන් බව මන්ත්‍රීවරයා පැවසුවේ ය.
සැප්තැම්බර් 17 රාත්‍රියේ මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායම රැඳී සිටි නිවසට පැමිණි පොලිස් නිලධාරීන් ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
"මගෙන්, මගේ නීතීඥවරයාගෙන් සහ මගේ රියදුරාගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගත්තා. අපේ ප්‍රකාශයේ දි අපි කිවුවා මේකට පොලිසිය සම්බන්ධයි ද කියලා අපට සැකයි කියලා. ඒ වගේම අපි පොලිස් පැමිණිල්ලකුත් දැම්මා," ඔහු පැවසුවේ ය.
ඔහු සැප්තැම්බර් 18 දා සවස රෝහල්ගතවීමට බලාපොරොත්තු වන බව ද මන්ත්‍රීවරයා පැවසුවේ ය.
"රෝහල්ගත වෙන්න අවශ්‍ය වුණත් ත්‍රීකුණාමලය නගරයට අපි නැවත ගියොත් අපට පහරදෙන්න සූදානම් බවට රාවයක් යනවා. මට ඊයේ හෙල්මට්වලින් සහ පොලුවලින් හොඳටම පහර දුන්නා. ඒ නිසා මම ද හවස වෙනත් රෝහලක රෝහල්ගත වෙන්න බලාපොරොත්තු වෙනවා."
පහරදුන් අය අත්අඩංගුවේ
මන්ත්‍රීවරයා මතු කළ කරුණු සම්බන්ධයෙන් විමසීමට අප පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දුරකතනයෙන් සම්බන්ධ කරගැනීමට කිහිපවරක් උත්සහ කළ නමුත් එය ව්‍යර්ථ විය.
රථ පෙළපාලියට පහරදුන් කණ්ඩායමෙන් සය දෙනෙකු මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර තිබේ.
ත්‍රීකුණාමලයේ චීන වරාය පොලිස් ස්ථානයෙන් බීබීසී සිංහල සිදු කළ විමසීමක දී එහි නිලධාරියෙකු ප්‍රකාශ කළේ, සැප්තැම්බර් 17 දින කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවත්, සැප්තැම්බර් 18 තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බවත් ය.
ඒ අනුව සැකකරුවන් සිව්දෙනෙකු සහ සැකකාරියන් දෙදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
සිවාජිලිංගම්ට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා
මේ අතර, 2020 වසරේ යාපනයේදී "තිලීපන්" සමරු උත්සවය සංවිධානය කිරීම හෝ ඊට සහභාගි වීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම්ට කොළඹ මහාධිකරණය හමුවේ (සැප්තැම්බර් 22 වැනිදා) අධිචෝදනා භාර දෙනු ලැබීය.
ඒ, එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.
ඉන් පසුව විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නඩුව ඔක්තෝබර් 20 වැනිදා කැඳවන ලෙසත් නියෝග කෙරුණි.
තහනම් කර ඇති LTTE සංවිධානයේ මියගිය සාමාජිකයෙකු වන රාසයියා පාර්තීපන් හෙවත් තිලීපන් නමැත්තා අනුස්මරණය කිරීම සඳහා, 2020 වසරේ සැප්තැම්බර් මස 15 වනදා හෝ ඊට ආසන්න දිනයක යාපනය, කොන්ඩාවිල් හී පිහිටි කෝකුල පාරේදී උත්සවයක් සංවිධානය කිරීමෙන් හෝ ඊට සහභාගි වීමෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 27 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයා නිකුත් කර ඇති නීතිමය ප්‍රතිපාදන උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් විත්තිකාර සිවාජිලිංගම්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර කරනු ලැබ තිබේ.
(BBC සිංහල සේවය)
සබැඳි පුවත් :
විසි ලක්ෂයක ඇප පිට සිවාජිලිංගම්ට නිදහස
පොලිස් ලොක්කා ගුවනින් ගියත් දිලීපන් සමරුව තහනම් කිරීමට බැරි වෙයි
ත්‍රිකුණාමලයේ සිංහල මැර ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට ලෝක අපකීර්තියක්
දිලීපන් සැමරීමේ අයිතිය අධිකරණයෙන් තහවුරු කෙරේ
පොලිසිය බලා සිටියදී දෙමළ මන්ත්‍රීට පොලු ගත් සිංහල මැර ප්‍රහාරයක්