2021 වසරේ පාර්ලිමේන්තුවේ විවාදයට ගත් විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීමේ දී, ඊට පක්ෂව ඡන්දය ලබාදුන් අමාත්‍ය නසීර් අහමඩ්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය

ගත් තීරණය නීත්‍යනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට ගත් තීරණය බල ශූන්‍ය බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා අමාත්‍ය නසීර් අහමඩ් ඉදිරිපත් කළ පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, එස්. තුරෙයිරාජා සහ මහින්ද සමයවර්ධනගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දෙනු ලැබීය.

නඩු තීන්දුව ප්‍රකාශයට පත්වීමෙන් අනතුරුව වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මාධ්‍යවලට අදහස් පළ කළේ ය.

 

"මේක ඓතිහාසික නඩු තීන්දුවක්. මීට දශක කීපයකට පෙර ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණි දිසානායක යන අමාත්‍යවරු එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදී තිබුණා. ඉන් පසුව මේ දක්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එවැනි තීන්දුවක් ලබාදී තිබුණේ නැහැ. අද මෙම තීන්දුව තුළින් නසීර් අහමඩ් මහතාගේ පක්ෂ සාමාජිකත්වය නෙරපීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ගත් තීරණය නීත්‍යානුකූල බව අධිකරණය තීන්දු කර තිබෙනවා," ජනාධිපති නීතිඥ සුමන්තිරන් ප්‍රකාශ කළේ ය.

 

ඉන් අනතුරුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මහලේකම් ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර් අදහස් දක්වමින්, "මෙම තීන්දුවත් සමගම නසීර් අහමඩ් මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහිමි වෙනවා. ඒ වාගේම අමාත්‍යධූරයත් අහිමි වෙනවා," යනුවෙන් ප්‍රකාශ කළේ ය.

 

2021 වසරේ නොවැම්බර් මස 12 වනදා මුදල් අමාත්‍යවරයා විසින් 2022 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

එම පනත් කෙටුම්පත සඳහා වන දෙවනවර කියවීම 2021 වසරේ නොවැම්බර් මස 22 වන දා පැවැත්වීමට ද නියම වී තිබුණි.

"මෙම විසර්ජන පනත් කෙටුම්පත් විවාදයේ දී පක්ෂයේ මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ කරන ආකාරයේ තීරණය කිරීම සඳහා 2021 වසරේ නොවැම්බර් මස 22 වනදා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලයේ හදිසි රැස්වීමක් පැවත්වුණා. එම රැස්වීමේ දී අදාළ පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය නොදීමට උත්තරීතර මණ්ඩලය විසින් තීරණය කරනු ලැබුවා.

"අවශ්‍ය නම් පනතට විරුද්ධව ඡන්දය දීමට හෝ ඡන්දය දීමෙන් වැළකී සිටීමට හැකියාව තිබෙන බවත් උත්තරීතර මණ්ඩලය එහිදී වැඩි දුරටත් තීන්දු කර තිබුණා. එහෙත් පෙත්සම්කාර නසීර් අහමඩ් මන්ත්‍රීවරයා පක්ෂයේ උත්තරීතර මණ්ඩලයේ තීන්දුවට පිටුපාමින් විසර්ජන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා," තීන්දුවේ සඳහන් කර තිබේ.

පසුව, පක්ෂයේ විනය කඩ කිරීම සම්බන්ධයෙන් කරුණු විමසා පක්ෂ මහලේකම්වරයා විසින් පෙත්සම්කරුට ලිපි යොමු කළ අතර 2022 වසරේ අප්‍රේල් මස 23 වනදා ඔහුගේ පක්ෂ සාමාජිකත්වය නෙරපමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් නිසාම් කාරියප්පර් විසින් ලිපියක් නිකුත් කළ බවත් නඩු තීන්දුවේ සඳහන් ය.

ඉන් අනතුරුව කිසිදු සාධාරණ පරීක්ෂණයකින් තොරව ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා නසීර් අහමඩ් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබ තිබුණි.

ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරෛරාජා යන විනිසුරුවරුන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන තීන්දුව තුළින් සඳහන් කර ඇත්තේ පෙත්සම්කරු පක්ෂයේ උත්තරීතර මණ්ඩලය විසින් ගනු ලබන තීන්දු තීරණ හා නියමයන්ට අනුව කටයුතු කරන බවට ප්‍රතිඥාවක් ලබාදී තිබෙන බව ය.

'පක්ෂ ප්‍රතිඥාව උල්ලංඝනය කරලා'

නමුත්, පක්ෂයේ උත්තරීතර මණ්ඩලය විසින් ගනු ලැබූ තීන්දුවලට පටහැනිව ක්‍රියාකරී කිරීම තුළින් පෙත්සම්කරු එම ප්‍රතිඥාව උල්ලංඝනය කර තිබෙනවා පමණක් නොව එසේ කටයුතු කිරීම සම්බන්ධයෙන් හේතු පැහැදිලි කිරීමෙන් පවා වැළකී තිබෙන බවත් විනිසුරුවරුන් තීන්දුවේ සඳහන් කර තිබේ.

 

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමේ දී පෙත්සම්කරු පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපමින් එම පක්ෂ මහලේකම්වරයා විසින් නිකුත් කළ ලිපිය නීත්‍යානුකූලයැ යි තීන්දු කරන බවත් ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරෛයිරාජා යන විනිසුරුවරු විසින් නිකුත් කළ තීන්දුවේ වැඩිදුරටත් සඳහන් විය. ඒ අනුව පෙත්සම්කරුගේ ඉල්ලීම නිෂ්ප්‍රභ කරන බවත් විනිසුරුවරු ප්‍රකාශ කළහ.

 

ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු මහින්ද සමයවර්ධන ද ඔහුගේ තීන්දුවෙන්, පෙත්සම්කරුගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කරමින් එම පක්ෂයේ මහ ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙන ලිපියේ කටයුතුවලට මැදිහත් වීමට තරම් අධිකරණයට සාධාරණ කරුණු කිසිවක් අනාවරණය නොවන බව සඳහන් කර සිටියේ ය.

ඒ අනුව පෙත්සම්කරුගේ ඉල්ලීම නිෂ්ප්‍රභ කරන බව විනිසුරු මහින්ද සමයවර්ධන ද තීන්දුවේ සඳහන් කර තිබේ.

(BBC සිංහල සේවය)


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image