එක්සත් ජාතික පක්ෂයේ එළඹෙන සංවත්සරයේ දී පක්ෂ මහ ලේකම් ධුරයේ වෙනසක් සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග උපුටා දක්වමින් 'අද දෙරණ' වාර්තාකර තිබේ.
එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රවී කරුණානායක, එම ධුරයට පත් කර ගැනීම සඳහා මේ වන විට පක්ෂයේ ප්‍රබලයින් අතර එකඟතාවක් පළ වී ඇති බවද පක්ෂය පෙර පැවැති ශක්තිමත් තත්ත්වයට පත් කර ගැනීමට හැකියාව පවතින එකම පුද්ගලයා රවී කරුණානායක බවට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් අතර මතයක් පැවතීම ඊට හේතුව වී තිබෙන බවද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.
කෙසේවෙතත් පක්ෂයේ සුළු පිරිසක් පමණක් මොහු පක්ෂ මහ ලේකම් ධුරයට පත්කර ගැනීමට පවතින සුදානම සම්බන්ධයෙන් සිය අකැමැත්ත පළ කර ඇති බවද සඳහන්ය.
ඊට හේතුව වී ඇත්තේ යම් හෙයකින් රවී කරුණානායක එම ධුරයට පත් වුවහොත් ඔහු පක්ෂ නායකත්වය සමඟ සමීපව කටයුතු කරනු ඇති බවට ඔවුන් අතර මතයක් පැවතීම බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂයේ සංවත්සරයේ දී තවත් වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇති බවද 'අද දෙරණ' වැඩිදුරටත් කියා සිටියි.
කෙසේවුවද ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් අප වෙත වාර්තා වන්නේ පක්ෂයේ ලේකම් ධුරය එජාප 'සිරිකොත' පක්ෂ මුලස්ථානයේ පරිපාලන කටයුතුවලට පමණක් සිමා කිරීම සඳහා වූ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එමින් ඊට සුදුසු නිලධාරියකු පත්කිරීමට නියමිත බවත්, එජාපය වටා අනෙකුත් දේශපාලන බලවේග ගොනුකරමින් ගොඩනැගීමට නියමිත නව දේශපාලන සන්ධානයේ මුලික වගකීම රවී කරුණානායක වෙත පැවරීමට නියමිත බවත්ය.