වව්නියාව හොරොව්පතාන මාර්ගයේ කෝවිල්කුලම් ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් ඩිෆෙන්ඩර් රථයක් අයාලේ යන ගවයකුගේ ගැටි සිදු වූ අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බළකායේ
කොස්තාපල්වරු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
ඔවුන් කුරුණෑගල සහ මැදවච්චිය ප්‍රදේශවල පදිංචි 29 හා 31 හැවිරිදි පුද්ගලයන්ය.
ඊයේ (09) රාත්‍රි 9.30ට පමණ එම අනතුර සිදුව තිබේ.
ඩිෆෙන්ඩර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්, උප පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරු දෙදෙනෙක් තුවාල ලබා වව්නියාව රෝහලේ ප්‍රතිකාර ලබන බව වවුනියාව පොලීසිය පවසයි.
තුවාලකරුවන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලීසිය පැවසූවේ වර්ෂාව පැවති අවස්ථාවේ, පොලිස් විශේෂ කාර්ය බළකා ඩිෆෙන්ඩර් රථය මාර්ගයේ රැඳී සිටි කිරි ගවයෙකුගේ ගැටී රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් තාප්පයක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවය.
අයිතිකරුවන් ගාල් නොකිරීම හේතුවෙන් මෙම මාර්ගයේ මීට පෙරද අවස්ථා කීපයකදී සිදු වූ අනතුරු හේතුවෙන් මරණ සහ තුවාල සිදුවීම් ගණනක් වුවද ගවයින් පාලනය කිරීමට බලධාරීන් හෝ ගව අයිතිකරුවන් කිසිදු පියවරක් ගෙන නොමැති බව ප්‍රදේශවාසීහු චෝදනා කරති.
සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.