ගාසා තීරයේ සහ ඊශ්‍රායලයේ ඇතිවෙමින් යන යුද ආතතිය සහ යුද අවදානම කෙරෙහි දැඩි අවධානය යොමු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින
පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ඊශ්‍රායල, පලස්තීන සිවිල් වැසියන් ඝාතනය තරයේ හෙළාදකී.
නිදහස් පලස්තීන රාජ්‍යය වෙනුවෙන් පෙනී සිටින බවද එම පක්ෂය අවධාරණය කර සිටියි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය එම කාරණා සඳහන් කර ඇත්තේ, පලස්තීන - ඊශ්‍රායල් යුද ගැටුම් සම්බන්ධ සිය දේශපාලන ස්ථාවරය ප්‍රකාශ කරමින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.
ඊශ්‍රායල, පලස්තීන සිවිල් වැසියන් ඝාතනය හෙළාදකිමු!
ඔක්තෝබර් 7 වැනිදා හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරය පදනම් කර ගනිමින් මෙකී යුදමය තත්වය ඇති වී තිබෙන අතර ගාසා සිට බටහිර ඉවුර සහ ලෙබනනය දක්වා පලස්තීන ජනතාව වාර්ගික ශුද්ධයකට බඳුන් කිරීමේ අරමුණ ඇතිව එක්සත් ජනපද හමුදා සහාය ද ලබමින් ඊශ්‍රායලයේ සියොන්වාදී පාලනය ආක්‍රමණයක් දියත් කර ඇත.
හමාස් ප්‍රහාරය සිදුවූයේ 1973 ඔක්තෝබර් 7 වැනිදා සිදුවූ යොම් - කිපූර් යුද්ධයේ 50 වන සංවත්සරය දිනයේදී මය. අධිරාජ්‍යවාදීන් මාධ්‍ය භාවිතා කරමින් හමාස් සංවිධානයේ ප්‍රහාරය පළමු ප්‍රහාරය ලෙසද, ඊශ්‍රායලයේ ආක්‍රමණය එයට දැක්වූ ප්‍රතිචාරයක් ලෙස ද අර්ථ දක්වමින් දෘෂ්ටිමය යුද්ධයක් ආරම්භ කර තිබේ. හමාස් සංවිධානය ඊජිප්තුව, ඉරානය සහ තුර්කිය වැනි කලාපයේ ප්‍රතිගාමී, ෆැසිස්ට් ලක්ෂණ සහිත ඉස්ලාමීය පාලන තන්ත්‍රයන් සමඟ සහයෝගීව කටයුතු කරන ආගමික මූලධර්මවාදී සංවිධානයක් වීම මෙම විනාශකාරී සහ වැරදි අදහස යුක්තියුක්ත කිරීම සඳහා යොදවා ගනිමින් සිටී.
එල්ල වී තිබෙන යුද අවදානමට එරෙහි වීමේදී පලස්තීන ජනතාවගේ ස්වෛරීත්වය සහ නිදහස සම්බන්ධයෙන් ඉතිහාසයක් පුරා එල්ල වී ඇති ප්‍රහාරයද සමග සංයුක්තව එය සලකා බැලිය යුතුය.
ගාසා තීරය හමාස් සටන්කාමීන් විසින් පාලනය කරන නමුත් ඊශ්‍රායලය ගුවන් කලාපය සහ එහි වෙරළ තීරය පාලනය කරයි. දේශසීමා හරහා යා හැක්කේ කාටද සහ රැගෙන යා හැක්කේ කුමන භාණ්ඩද යන්නද ඊශ්‍රායලය විසින් සීමා කරනු ලබයි. සෙනසුරාදා උදෑසන ප්‍රහාර ආරම්භ වූ දා සිට ඊශ්‍රායලය ගාසා තීරයට ඇතුළු වන ආහාර සහ ඖෂධ ඇතුළු සියලු සැපයුම් නවතා ඇත. දිගු කාලයක් පුරා ඊශ්‍රායල පාලනය පලස්තීනයේ සිවිල් වැසියන් ඝාතනය කළ අතර මෙවර හමාස් ප්‍රහාරය ඊට ප්‍රතිචාරයක් ලෙස එල්ල වූවක් වුව ඊශ්‍රායල සිවිල් වැසියන් ඉලක්ක කරගත් ප්‍රහාර එල්ල කිරීම සහ ප්‍රාණ ඇපකරුවන් රඳවා ගැනීම ඇතුළු ක්‍රියා අපි හෙළා දකිමු.
කෙසේවෙතත් පාලක පන්තියේ සහ අධිරාජ්‍යවාදයේ අභිලාෂයන් මත ආරම්භ කර ඇති යුද්ධය වහා අවසන් කිරීම සඳහා බල කරන ලෙස ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ වැඩකරන ජනතාවට අපි ආයාචනය කරමු.
පලස්තීන ජාතික විමුක්ති අරගලය සියොන්වාදයට මෙන්ම ඉස්ලාම් මූලධර්මවාදයට, අධිරාජ්‍යවාදයට එරෙහි අරගලයක් බවට පරිවර්තනය කරන ලෙස අපි පලස්තීන වැඩකරන ජනතාවගෙන් ඉල්ලා සිටිමු. සිය ජාතික විමුක්ති අරගලය ජාතික සහ ආගමික අගතීන්ගෙන් නිදහස් කරගෙන පොදු මානව විමුක්තිය සඳහා වන අරගලය සමග ඒකාබද්ධ කරන ලෙස අපි මහත් ඕනෑකමින් ඉල්ලා සිටිමු.
අධිරාජ්‍යවාදී මාධ්‍යවල දෘෂ්ටිමය බලහත්කාරයේ ගොදුරු බවට පත් නොවී පලස්තීන ජනතාවගේ නිදහස සහ අයිතීන් වෙනුවෙන් ඉදිරිපත් වන ලෙසද මෙම කලාපය රුධිරයෙන් නහවාලීමේ අරමුණ ඇතිව සිදුකෙරෙන අධිරාජ්‍යවාදී මැදිහත්වීම් වැළැක්වීමට එක්වන ලෙසද අපි ලංකාවේ ප්‍රගතිශීලී ජනතාවගෙන් ඉල්ලා සිටිමු. මෙම දුෂ්කර සහ අවදානම්කාරී අවස්ථාවේදී පලස්තීන ජනතාවට ලාංකේය වැඩකරන ජනතාවගේ සහයෝගීතාවය ප්‍රකාශ කරන අතරම ගෝලීය අධිරාජ්‍ය විරෝධී පුළුල් මධ්‍යස්ථානයක් ගොඩනැගීමට ආරාධනා කරමු. ''
සබැඳි ලිපි :
හමාස් සංවිධානය ඊශ්‍රායලයට පහරදුන්නේ ඇයි?
'හමාස් ත්‍රස්තවාදය' ගැන කතා කරන්න කලින් දත යුතු ඉතිහාසය - (කුසල් පෙරේරා)
The Israeli-Palestinian Conflict: Unpacking Global Geopolitics, Challenges, and Future Scenarios - (Aryan D.M.)