දකුණේ වෙසෙන දෙමළ ජනයාට ජීවිත බියක් ඇති වන ආකාරයේ තර්ජනාත්මක ප්‍රකාශයක්

පොලිසිය බලා සිටියදී කළ නැගෙනහිර පළාතේ ප්‍රසිද්ධ බෞද්ධ භික්ෂුවකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයාට පැමිණිල්ලක්  ඉදිරිපත් වී තිබේ.

සිය මවගේ ද ඇතුළු සිංහල ජාතිකයන්ගේ දේහයන් මිහිදන් කර ඇතැයි කියන මඩකලපුව නගරය ආශ්‍රිතව තිබෙන ජයන්තිපුර සුසාන භුමිය ඩෝසර් කර ‘කොටි කරන ලද අපරාධයක්’ ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්‍යම් ශානක්‍යන්ට චෝදනා කළ, මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් රටේ සිදුවන ජාතිවාදී ක්‍රියා නතර කරන ලෙස ජනාධිපතිවරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිමින් පොලිස් නිලධාරීන් ඉදිරියේම දෙමළ ජාතිකයන්ට කෝපාවිෂ්ඨ ලෙස තර්ජන කර තිබුනි.


දෙමළ හා මුස්ලිම් විරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ප්‍රකට බෞද්ධ භික්ෂුවගේ මරණීය තර්ජනය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් ප්‍රශ්න කර ඇත්තේ එම හිමියන්ට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතීන් යටතේ වහාම පියවර නොගන්නේ ඇයිද යන්නයි.


"පූජ්‍ය මංගලාරාමයේ අම්පිටියේ සුමන හිමියන් විසින් පසුගිය දින කිහිපය තුළ සිදු කළ ප්‍රසිද්ධ ප්‍රකාශ කිහිපයකට මාධ්‍ය තුළ ඉතා පුළුල් ප්‍රචාරයක් ලබා දී ඇති බව ඔබ වෙත ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. අප පක්ෂයේ මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ශානක්‍යන් ආර්. රාසමානික්‍යම් ට දිගින් දිගටම පහර දුන් මෙම හිමිනම, දකුණේ වෙසෙන සියලුම දෙමළ ජනයා කෑලිවලට කපන බවට පැහැදිලිවම තර්ජනය කර ඇත! මෙය අමු අමුවේම 2007 අංක 56 දරන ICCPR පනතේ 3(1) සහ (2) වගන්ති යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි. පොලිසිය ඉහත කී හිමියන්ට එරෙහිව වහා පියවර නොගන්නේ ඇයි?"

මඩකලපුව, මයිලත්තමඩු, මාදවනෙයි ප්‍රදේශයේ පිහිටි තෘණ භුමි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නැගෙනහිර ආණ්ඩුකාරධුරය සඳහා පත් කරන ලද වියත් මග ක්‍රියාකාරිණි අනුරාධා යහම්පත් විසින් මෑතකාලීනව පදිංචි කළ සිංහල පවුල් කිහිපයකට වී  ඇතුළු බෝග වගා කිරීම සඳහා පවරා දීමත් සමග පාරම්පරිකව කිරි ගවයන් පාලනය කරන්නන් සහ වගාකරුවන් අතර පසුගිය කාලයේ ගැටුම් ඇති වී තිබුනි.


තෘණ භුමි නිදහස් කරන ලෙස ඉල්ලමින් මාසයකට වැඩි කාලයක් තිස්සේ අඛණ්ඩ විරෝධතාවයක නිරතව සිටින නැගෙනහිර පලාතේ කිරි ගොවීන්ගේ ගැටළු විසදීම සදහා ජනාධිපතිවරයා අවසානයේ අධිකරණයේ පිහිට පැතීමත් සමග අම්පිටියේ සුමන හිමියන් රාසමානික්‍යම් මන්ත්‍රීවරයාට එරෙහිව දිගින් දිගටම වාචික ප්‍රහාර එල්ල කළේය.


එයට හේතු වී තිබුනේ ඉලංකෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් නැගෙනහිර පලාතේ කිරි ගොවීන්ගේ ගැටළු විසදීමට කඩිනමින් පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තුව තුලදීද දිගින් දිගටම බලපෑම් කිරීම හේතුවෙනි.

දෙමළ ජාතිකයන්ට තර්ජනය කරමින් මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් සිදු කළ ප්‍රකාශය සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් නිකුත් කරමින්  දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ද හෙළා දැක තිබුනි.

"ඔන්න මඩකලපුවේ අපේ අම්පිටියේ සුමනරතන ස්වාමීන් වහන්සේ නැවත සැරයක් ජාතිවාදය අවුස්සලා තියනවා. දේශ සහගත කතාවක් කරලා තියනවා. මිලේඡ්ච කතාවක් කරලා තියනවා. ඒක වැරදියි. අපි හෙලා දකිනවා. මොකද රට පෝයට සුදානම් වෙලා ඉන්න මේ අවස්ථාවේදී කපනවා, කොටනවා, මරණවා කියලා කෑලි කෑලි පෙති කපනවා කියලා ස්වාමීන් වහන්සේ කියලා තියනවා. කනගාටුවෙනවා, හෙලා දකිනවා. වැරදියි. ඒ ස්වාමීන් වහන්සේට අපරාධයක් වෙලා තියනවා කියලා ඒ ස්වාමීන් වහන්සේ කියනවා. ඒ සම්බන්ධව ඒ දිස්ත්‍රික්කයේ ඉන්න මන්ත්‍රීවරයාට දොස් කියනවා. මඩකලපුව මහ නගර සභාවේ කොමසාරිස්තුමාටත් දොස් කියනවා. එහෙම තිබුනානම් ඒක විසදගන්න මාර්ග ඕනේ තරම් රටේ තියනවා. පොලීසි යන්න පුළුවන්, නැත්නම් ප්‍රදේශයේ ඉන්න සම්බන්ධිකරණ රැස්වීමට යන්න පුළුවන්. විසදගන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. නමුත් මේක කරන්න එපා."


මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා එහිදී වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටියේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතීන් යටතේ අම්පිටියේ සුමන හිමියන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.


"රට අද යුද්ධයෙන් පසුව නැගිටින වෙලාවක් මේක. මේ නිසා මේ වෙලාවේ ජාතිවාදය අවුස්සන්න එපා. මේ රටේ අපි දැක්කා ICCPR පනත යටතේ, තුන්වෙනි අංකය යටතේ දේශ සහගතව කතා කරපු අයට, ජාතිවාදය අවුස්සපු අයට විරුද්ධව නීතිය පැන්නා. අත්අඩංගුවට ගත්තා. බෞද්ධ ආගමේ ස්වාමීන් වහන්සේලා ගත්තා. තව අන්‍ය ආගමික නායකයන් කිහිප දෙනෙකුත් ගත්තා. ඒ වගේ මේ ස්වාමීන් වහන්සේත් අත්අඩංගුවට ගන්න ඕන කියලා මම කියන්න කැමතියි. මොකද මේක හැමදාම කරන්න බෑ. මේක පළවෙනි අවස්ථාව නෙමෙයි. මේක අවසාන අවස්ථාව වෙන්නේ නෑ මේක අත ඇරියනම්. ඒ නිසා කරන්න. මේක රටේ ජනාධිපතිතුමාට බාරයි. රටේ විෂයභාර ඇමැතිවරයාට භාරයි."

ICCPR නීතිය අයුතු ලෙස පාවිච්චි කරමින් පොලිසිය විසින් පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කරනු ලබන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර ආයතන මෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද වරින් වර චෝදනා කර තිබේ. 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්