උතුරේ මෙන්ම දකුණේ දියත් වු සන්නද්ධ කැරළි වලදී සිදුවූ පැහැරගැනීම් විශාල සංඛ්‍යාවක්

ඓතිහාසික වශයෙන් නොවිසඳී පැවතුනු රටක් ලෙස ශ්‍රී ලංකාව පෙන්වා දෙන ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක්, ජවිපෙ සමයේ අතුරුදහන් කිරීම් ගැන වගවීම සම්බන්ධයෙන් ‘බැරෑරුම් ලෙස සලකන්නේ නම්’ 87 - 89 සමයේ සෑම දිස්ත්‍රික්කයකම, දිස්ත්‍රික් හමුදා සම්බන්ධීකාරකයන්ගේ නම් ප්‍රසිද්ධියට පත් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටි.

ශ්‍රී ලංකාවේ දකුණේ ඥාතීන් අතුරුදහන් ආදරණීයයන් සිහිපත් කරන ප්‍රධානම දිනයක් වන ඔක්තෝබර් 27 වැනිදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් 'සත්‍යය සහ යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය' (ITJP) පවසන්නේ තම ආදරණීයයන්ට සිදුවුයේ කුමක්දැයි දැනගැනීම සඳහා අතුරුදහන්වුවන්ගේ ඥාතීන් දශක තුනකටත් වැඩි කාලයක් උද්ඝෝෂණය කළ පසුව, සත්‍යය තහවුරු කර වගවීම සහතික කරන බවට තීරණාත්මකව පෙන්වා දීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට කාලය එළැඹ ඇති බවයි.

අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුවේ සභාපති මානව හිමිකම් ක්‍රියාධර බ්‍රිටෝ ප්‍රනාන්දුගේ මුලිකත්වයෙන් 2023 ඔක්තෝබර් 27 වැනි සිකුරාදා ශ්‍රී ලංකාවේ අතුරුදහන් වුවන් සිහිපත් කිරීම සදහා සීදුව රද්දොළුව ඉදිකර තිබෙන ස්මාරකය අබියස දී දකුණේ සිංහල මව්වරු 33 වැනි වතාවටත් සිය ආදරනීයයන් අනුස්මරණය කළහ.

බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය ඥාතීන්ට යුක්තිය  ඉටුවන තෙක් අතුරුදහන් තම සමීපතමයාගේ  රුව සහිත  ගෙළ පළඳනාවක් පැළඳීමට අතුරුදහන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් එම ස්මාරකය ඉදිරිපිට දී අද ප්‍රතිඥා දී තිබේ.

0089 3

0089 1

0089 2


තිස් වසරකට වැඩි කාලයක් තිස්සේ  දකුණේ ඥාතීන් අතුරුදහන් ආදරණීයයන් සිහිපත් කරමින් සිදු කරන දීර්ඝ හා වේදනාකාරී සත්‍ය සෙවීම, යුද්ධය අවසන් වූ 2009 සිට විරෝධතා පවත්වමින් සිටින දහස් ගණනක් දෙමළ ජනතාවට කෙරෙන අනතුරු ඇඟවීමක් බවයි සත්‍යය සහ යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය පවසන්නේ.

“බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් සත්‍යය හෙළි කරගැනීම යනු ජාත්‍යන්තර ප්‍රජාව සතුටු කිරීම සඳහා ප්‍රශ්නයට විසඳුම් සොයන බවට ආණ්ඩුව අඟවන නරුම අභ්‍යාසයක් පමණක් නොව සත්‍ය වශයෙන් සිදුවන්නේ  අතුරුදහන් වුවන්ගේ දෙමාපියන් මියගොස් ප්‍රශ්නය ඉවත්ව යනතුරු බලා හිඳීමකි,”  යි සත්‍යය සහ යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා පැවසුවාය.  

යුද්ධයෙන් අතුරුදහන් වුවන්ගේ දෙමළ දෙමාපියන් 188 දෙනකු සත්‍යය දැනගැනීමට පෙරම මියගොස් ඇති බවට වාර්තාවන අතර උතුරු නැගෙනහිර විරෝධතා හෝ අනුස්මරණවලට සහභාගී වන තරුණයන් නිහඬ කිරීම පිණිස පැහැරගෙන ගොස් වදදීම අඛණ්ඩව සිදුවේ.


ශ්‍රී ලංකාව යනු ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ කැරැල්ල ආශ්‍රිතවද, දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි සිවිල් යුද්ධයෙන්ද සිදුවූ පැහැරගැනීම් විශාල සංඛ්‍යාවක් ඓතිහාසික වශයෙන් නොවිසඳී පැවතුනු රටවල්වලින් එකක් බවයි සත්‍යය සහ යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය අවධාරණය කරන්නේ.


“ජාත්‍යන්තර පිළිගැනීම් සහ ප්‍රමිතීන් මෙන්ම එක්සත් ජාතීන්ගේ ගිවිසුම් ආයතනවලට දෙනලද දේශීය පොරොන්දු ප්‍රකාර සත්‍ය දැනගැනීමේ අනුල්ලංඝනීය අයිතියක් ඥාතීන් සතුව ඇත. විශේෂයෙන්ම, ජවිපෙ සමයේ අතුරුදහන් කිරීම් දැනටමත් පුළුල් ලෙස විමර්ශනය කර තිබෙන කලක, මේ ප්‍රශ්න විමර්ශනය කිරීම සඳහා ආණ්ඩුව විසින් අනුප්‍රාප්තික කොමිසම් පත්කිරීමෙන් අතුරුදහන් වුවන්ගේ පවුල්වලට කිසිදු සැනසීමක් හෝ යුක්තියක් උදා කර දෙන්නේ නැතැ,” යි යැස්මින් සූකා වැඩිදුරටත් පැවසුවාය.

 

ජවිපෙ සමයේ අතුරුදහන් කිරීම් ගැන වගවීම සම්බන්ධයෙන් බැරෑරුම් ලෙස සලකන්නේ නම්, ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පහත දැක්වෙන කඩිනම් පියවර ගත යුතු බව සත්‍යය සහ යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය කියා සිටී.

• බලහත්කාරයෙන් හා නොකැමැත්තෙන් සිදුකරන අතුරුදහන් කිරීම් පිළිබඳ  එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායම සහ අත්තනෝමතික රඳවා තබාගැනීම් පිළිබඳ  එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායම විසින් 2022 නොවැම්බර් මාසයේ අසන ලද ප්‍රශ්නවලට  මෙන්ම 1989 මාතලේ දිස්ත්‍රික් හමුදා සම්බන්ධීකාරකගේ භූමිකාව ගැන බහිර්නීතික, ලඝු හෝ අත්තනෝමතික ඝාතන පිළිබඳ විශේෂ වාර්තාකරු සහ සත්‍යය, යුක්තිය, හානිපුරණය සහ පුනරුච්චාරණය නොවීම සහතික වීම පිළිබඳ විශේෂ වාර්තාකරු විසින් එවන ලද ලිපියට වහාම ප්‍රතිචාර දක්වන්න,
 
• 1987 සිට 1989 දක්වා සෑම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික් හමුදා සම්බන්ධීකාරකයන්ගේ නම් ප්‍රසිද්ධියට පත් කරන්න,
 
• මේ කාලපරිච්ඡේදය තුල බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමේ අපරාධයට වගකිවයුතු බවට චෝදනා ලබන පොලිසියේ, යුද හමුදාවේ සහ දේශපාලන පක්ෂවල විශාල සංඛ්‍යාවක් සම්බන්ධයෙන් නිර්දේශ කර ඇති නඩු පැවරීම් සහ අපරාධ චෝදනාවල ප්‍රගතිය පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා කරන්න,

• 2030 වනතුරු ජනාධිපති මුද්‍රාව යටතේ තබා ඇති ජවිපෙ සමයේ අතුරුදහන් කිරීම් පිළිබඳ  සමස්ත ලංකා සහ කළාපීය ජනාධිපති කොමිසන් වාර්තාවල ඇති සාක්ෂි වාචක ප්‍රසිද්ධියට පත් කරන්න,

සිවිල් යුද්ධ සමයේ සහ ඉන් පසු කාලයේ අතුරුදහන් වීම්වල වගඋත්තරදායකත්වය පිළිබඳව බැරෑරුම් ලෙස සලකන්නේ නම්, ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පහත දැක්වෙන පියවර වහාම ගත යුතු බව ඔක්තෝබර් 27 වැනිදා සත්‍යය සහ යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.

• 2009 මැයි 18 භාරවුවන්ගේ ලැයිස්තුව ඊට අදාල හබයාස් කෝපස් නඩුවේ නීතිඥයන් විසින් ඉල්ලා ඇති පරිදි ඉදිරිපත් කරන ලෙස 58 සේනාංකයට නියෝග කරන්න,

• වට්ටුවාක්කල් පාලමේදී 2009 මැයි 18 දා යුද හමුදාවට භාරවූ දරුවන් ඇතුළු සිය ගණනකට සිදුවූයේ කුමක්දැයි දැනගැනීම පිණිස වින්දිතයන්ගේ ඥාතීන් විසින් ඉල්ලා ඇති පරිදි, ශ්‍රී ලංකා යුද හමුදාවේ 58, 59 හා 53 සේනාංකවල, විශේෂ බලකායේ හා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ  ආඥාපතිවරුන්ගෙන් සහ නියෝජ්‍ය ආඥාපතිවරුන්ගෙන්ද, අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් ප්‍රශ්න කරනු ලැබීම සහතික කරන්න,

• වීඩියෝ පටවල (ඝාතන දැක්වෙන චැනල් 4 ඇතුළු) සොල්දාදුවන්ගේ මුහුණු පැහැදිලිවම දැකගත හැකිය. මේ දර්ශන හමුදාවේ පුද්ගල දත්ත ගබඩා තුලින් පරීක්ෂා කරන ලද බවටත්, එමගින් අනාවරණය වූ දේ පිළිබඳවත් ඔප්පු කළ හැකි සාක්ෂි ඉදිරිපත් කරන්න,

දශක ගණනාවක් තිස්සේ බලහත්කාර අතුරුදහන් කිරීම්වල තත්වය පිළිබඳ බැරෑරුම් කමත්, සත්‍ය හා සංහිඳියා කොමිසම නමින් තවත් කොමිසමක් පිහිටුවීමේ අභිප්‍රාය ආණ්ඩුව විසින් නැවත වතාවක් ප්‍රකාශයට පත් කිරීමත් සැලකිල්ලට ගත් කල, ස්වකීය ආදරණීයයන්ට අත්වූ ඉරණම පිළිබඳ සත්‍යය දැනගැනීමට වින්දිතයන්ගේ සහ ඔවුන්ගේ ඥාතීන් සතු අයිතිය පරිපුර්ණ කිරීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සැබවින්ම කැපවී සිටීදැයි තීරණය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය හා මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව විසින් ඉහත දැක්වෙන පියවර යොදා ගත යුතු බව යැස්මින් සූකා තවදුරටත් අවධාරණය කරයි.

එක්සත් ජාතීන්ගේ මහලේකම් විසින් මේ වර්ෂයේ ජූනි මාසයේ නිකුත් කරන ලද සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ නව මාර්ගෝපදේශ සටහනේ වින්දිතයන්ගේ අයිතිවාසිකම් නැවතත් සහතික කොට තිබෙන බව ITJP ලංකාණ්ඩුවට සිහිපත් කර දී තිබේ.
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්