සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ අධිපති ලලිත් කොතලාවල මහතාව නීතිඥවරුන් කණ්ඩායමක් විසින්
නිවාස අඩස්සියේ තබාගෙන සිටි බවට තොරතුරු ලැබී ඇතැයි අද (09) අධිකරණයේදී ප්‍රකාශයක් ඉදිරිපත් කෙරුණි.
ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ සංගමයේ සභාපති මාකෝ පෙරේරා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද ඒ බව සඳහන් කළේය.
ගෝල්ඩන් කී සමාගමේ මුදල් තැන්පත් කළ තැන්පත්කරුවන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළ මෝසමක් අද කැඳවූ අවස්ථාවේදී පෞද්ගලිකව පෙනී සිටිමින් එම සංගමයේ සභාපතිවරයා මෙම කරුණු ඉදිරිපත් කර තිබුණි.
එස්. තුරෛරාජා, අචල වෙංගප්පූලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබීය.
එම මෝසම කැඳවූ අවස්ථාවේදී ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ සංගමයේ සභාපති මාකෝ පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, ඉකුත්දා මරණයට පත්වූ ලලිත් කොතලාවල මහතා මිය යාමට පෙර නීතිඥවරුන් කණ්ඩායමක් විසින් ඔහුව ඔහුගේ නිවසේ නිවාස අඩස්සියේ තබාගෙන සිටි බවට තොරතුරු දැනගන්නට ලැබී ඇති බවය.
ඒ පිළිබඳව සහ තම තැන්පතු පිළිබඳව කරුණු දැක්වීමට අවස්ථාවක් ලබාදෙන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඊට පිළිතුරු දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු තුරෛරාජා කියා සිටියේ මෙය ශ්‍රේෂ්ඨාධිකරණය බවය.
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඕනෑම පුද්ගලයෙකුට පැමිණෙන ඕනෑම අවස්ථාවක කරුණු දැක්වීමට හැකියාවක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.
ඒ සඳහා පූර්ව අවසරයක් ලබාගත යුතු බව පෙන්වාදුන් විනිසුරුවරයා අතරමැදි පාර්ශ්වකරුවකු වශයෙන් ඊට අවශ්‍ය අනුමැතිය ලබාගෙන තිබේදැයි විමසා සිටියේය.
ඊට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ එවැනි අවසරයක් ලබාගෙන නොමැති බවය.
ඒ අනුව මෝසමක් ගොනු කොට නිසි අවසරය ලබාගෙන ඊට අදාළව ඉදිරියේදී කරුණු දැක්වීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා ගෝල්ඩන් කී සංගමයේ සභාපතිවරයාට නියෝග කළේය.
ඉන් අනතුරුව අදාළ පෙත්සම මැයි මස 08 වනදා දක්වා කල් තැබුණි.
(adaderana.lk)