රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ,
හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පිරිස මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි නොවැම්බර් 14 වැනිදා තීන්දු කළේය.
හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්.ආටිගල, හිටපු ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය යන පිරිස විසින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව අග විනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු මෙහිදී තීන්දු කළහ.
සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙකු විමසා තිබුණේ මෙම තීන්දුවත් සමග වගඋත්තරකරුවන්ට දඬුවම් නියම කිරීමක් හෝ ඔවුන්ගෙන් වන්දි අය කර ගැනීමක් කළ හැකි ද යන්න පිළිබඳවය.
ඒ අනුව මෙහි නීතිමය පසුබිම පිළිබඳව සහ මීළඟට සිදුවන්නේ කුමක් ද යන්න පිළිබඳව බීබීසී සිංහල, ජනාධිපති නීතිඥ යූ.ආර් ද සිල්වාගෙන් විමසා සිටියෙමු.
"ඔවුන් (වගඋත්තරකරුවන්) වගකිය යුතුයි කියලා තමා තීන්දුව දීලා තියෙන්නේ. වගකිව යුතු නම් මිනිස්සුන්ට ඒ පිළිබඳ නඩු දලා ඒ අයගෙන් වන්දි ඉල්ලීමක් කරන්න පුළුවන්. වෙනම වන්දි නඩු දාලා."
"එක් එක් පුද්ගලයාගේ මූලික අයිතිවාසිකම්වලට නෙමේ පොදුවේ නඩු තීන්දුව දීලා තියෙන්නේ, රටේ හැමෝගෙම මුලික අයිතිවාසිකම් කඩවුණා කියලා තමා මේ තීන්දුව දීලා තියෙන්නේ. ඒ තුළින් තමන්ට (එක් එක් පුද්ගලයාට තනි තනිව) පාඩුවක් වුණා කියලා කියමු... විශාල මුල්‍යමය හානියක් කොහේ හරි වෙලා තියෙනවා නම් ඒගොල්ලන්ට (වගඋත්තරකරුවන්ට) විරුද්ධව නඩු දාන්න පුළුවන්."
මෙම නඩු සිවිල් වාණිජ අධිකරණයක හෝ දිසා අධිකරණය පැවරිය හැකි බව ඔහු සඳහන් කළේය.
ඒ අනුව මෙම ආර්ථික තීරණ ගැනීම තුළ සෘජුව තමන්ට ආර්ථික හානියක් සිදුව ඇතැයි සනාථ කළ හැකි නම් ඕනෑම පුරවැසියෙකුට එම වන්දි නඩු ගොනු කිරීමේ හැකියාව පවතියි.
රාජපක්ෂවරුන්ට සිර දඬුවම් නියම කළ හැකි ද ?
ජනාධිපති නීතිඥ යූ.ආර් ද සිල්වා කියා සිටියේ අපරාධ වගකීමක් නොමැති නිසා දඬුවම් නියම කිරීමක් මෙහිදි සිදු නොවන බවය.
මෙම නඩුවේදී නොසැලකිලිමත් බව සහ වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් මෙහිදී අවදානය යොමු වී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවේ සඳහන් වන්නේ කුමක් ද?
වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස නියෝග කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න, පිහිනුම් ශූරයකු වන ජුලියන් බෝලිං ඇතුළු පිරිසක් සහ කොළඹ විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මහිම් මෙන්ඩිස් ඇතුළු පිරිසක් මෙම පෙත්සම් ගොනු කර තිබුණි.
එම මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාග කොට තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මුර්දු ප්‍රනාන්දු, විජිත් මළල්ගොඩ, බුවනෙක අලුවිහාරේ යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.
බහුතර විනිසුරුවරුන්ගේ තීරණය ප්‍රකාශයට පත් කළ අගවිනිසුරු ජයන්ත ජයසූරිය පෙන්වා දුන්නේ 2019 වසරේ නොවැම්බර් මාසයේ සිට 2022 වසරේ අගෝස්තු මාසය දක්වා කාල සීමාව තුළ වග උත්තරකරුවන් වගකිවයුතු නිලතල දරා ඇති බව පෙත්සම් විභාගයේදී අනාවරණය වු බවය.
'ආර්ථික අර්බුදය වැළැක්වීමට නිසි පියවර ගෙන නැහැ'
එහි ප්‍රතිඵලයක් ලෙස අත්‍යවශ්‍ය සේවාවන් වන විදුලිය, ගෑස්, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවන් අඛණ්ඩව සපයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී මහජනතාව මෙන්ම රටද දැඩි අගාධයකට ඇද වැටුණු බවත් තීන්දුවේ සඳහන් කර තිබේ.
මේ තුළින් වගඋත්තරකරුවන් මහජන විශ්වාසය හා භාරය කඩ කරමින් කටයුතු කර ඇති බවත් ඒ තුළින් ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර වියතුන්ගේ තීන්දුවේ සඳහන් කර තිබේ.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් වන්දි ගෙවන ලෙස අධිකරණය විසින් නියෝග නිකුත් නොකරන බව සඳහන් කළ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් වග උත්තරකරුවන් විසින් පෙත්සම්කරුවන්ට රුපියල් 150000/- බැගින් නඩු ගාස්තු ගෙවිය යුතු බව වැඩිදුරටත් සඳහන් කර ඇත.
ගෝඨාභයගේ රජය රටට කළ ආර්ථික පාඩුව විගණනය කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය
පෙත්සම් වලින් වගඋත්තරකාර පාර්ශවයන්ට එරෙහිව අපරාධ නඩු පැවරීමට පියවර ගන්නැයි, අල්ලස් හෝ දුෂණ චොදනා විමර්ශන කොමිසමට නියෝග කරන ලෙසද පෙත්සම්කරුවන් ඉල්ලා තිබුණි.
* විගණකාධිපතිවරයා විසින් නොවැම්බර් 30 වැනි දින වන විට විගණනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කිරීමට,
* ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය රුපියල් 203ක පවත්වාගෙන යාම සහ ඊට සම්බන්ධ සියලු කරුණු.
* ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීමේ ප්‍රමාදය සහ ඊට සම්බන්ධ සියලු කරුණු.
* විදේශ සංචිත භාවිතා කරමින් 2022 ජනවාරි 18 වන දින එක්සත් ජනපද ඩොලර් මිලියන 500 ක ස්වෛරීත්ව බැඳුම්කර පියවීමට අදාළ සියලු කරුණු
* එවැනි ගෙවීම් මඟින් මහ බැංකුවට සිදුවූ පාඩුව පිළිබඳ විගණනයක්.