විශ්‍රාම වයස සැපිරීම නිසා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්තගේ සේවා කාලය හෙටින් (18) අවසන් වේ.
කෙසේවුවද නීතිවිරෝධී ඉමියුනෝග්ලොබියුලින් එන්නත් ගණුදෙනුව තුළ මේ වන විට ලේකම්වරයාගේ නම අධිකරණය හමුවේ ඉහළින්ම සටහන් වී ඇති බැවින් ඔහුට සේවා දිගුවක් නොලැබෙනු ඇති බවට අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
එම තත්ත්වය තුළ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධුරය සඳහා විශාල තරඟයක් මතුව ඇතැයි ද එම ආරංචිමාර්ග කියා සිටියි.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් අමාත්‍යංශයේ සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ගේ නමක් මිට ඉහතදී ජනාධිපතිවරයා වෙත නිර්දේශ කර තිබුනද ආන්දෝලනාත්මක ඉමියුනෝග්ලොබියුලින් එන්නත් ගණුදෙනුව සම්බන්ධ විමර්ශන වලදී මේවනවිට ඔහුවද ප්‍රධාන සැකකරුවකු ලෙස හඳුනාගෙන ඇත. එම නිලධාරියා ආණ්ඩුවේ ප්‍රබල මන්ත්‍රීවරයකුගේ සොයුරකු බවද වාර්තාවේ.
මේ අතර අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් තනතුරට විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පත්කිරිමට අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් සෞඛ්‍ය ඇමතිවරයාට යෝජනාවක් කර ඇති බවයි.
වෛද්‍ය පාලිත මහීපාල හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුර හෙබවූ අතර දේශපාල ඇඟිලි ගැසීම් මත සිය රාජකාරිය නිසිලෙස කර ගැනීමට විටින් විට බාධා පැමිණි බව වාර්තා විය.
මේ අතර ඔහුට ලෝක සෞඛ්‍ය සංවිධානයේ උසස් තනතුරක් ලැබීමෙන් විදේශ ගත ව සේවය කරන බැවින් මේ මොහොත වන විට මෙරට සෞඛ්‍ය පද්ධතියේ සිදුවන වංචා දූෂණයන් සහ කඩා වැටීම් හමුවේ එය නැවත නගා සිටුවීමට හැකි හොඳම පුද්ගලයා වෛද්‍ය මහිපාල යැයි අමාත්‍යංශ නිලධාරීන් පිරිසක් ඇමතිවරයාට පෙන්වා දී ඇතැයි ද වාර්තාවේ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් තනතුර සඳහා වෛද්‍ය අනිල් ජාසිංහගේ නම ද යෝජනා වී ඇත.
කොවිඩ් වසංගත සමයේ සිදුකළ ඉමහත් සේවය නිසා ජනතා විස්වාසය දිනා ඇති වෛද්‍ය අනිල් ජාසිංහ මේ මොහොතේ අමාත්‍යංශ ලේකම් ලෙස පත්කිරීම, සෞඛ්‍ය අමාත්‍යංශය කෙරෙහි යලි ජනතා විස්වාසයක් ඇති කිරීමට විශාල පිටුවහලක් විය හැකි බවට සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු සෞඛ්‍ය ඇමතිවරයාට දැනුම්දී ඇති ද වාර්තාවේ.
ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ ද වෛද්‍ය අනිල් ජාසිංහ ඇගයීමට ලක්කර ඇත්තේ පහත පරිදිය.