වෙරිටේ රිසර්ච් සිදුකරන ලද සමීක්ෂණයක දී, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පණත ගැන තමන් දන්නා බව පැවසූ 56% දෙනෙක්,
එම පණත නිසා සමාජ මාධ්‍ය භාවිතා කිරීමේ නිදහස සීමා වනු ඇති බවත් කියා ඇත.
මෙම පණත සම්බන්ධයෙන් ඇසූ ‘සමාජ මාධ්‍ය තුළ හැසිරීම නියාමනය කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. ඔබ ඒ ගැන දන්නවාද?’ යන පැනයට සමීක්ෂණයට සහභාගීවූවන්ගෙන් තුනෙන් එකක් (34%) ‘ඔව්’ යැයි පිළිතුරු දී, තිබේ.
එසේ ‘ඔව්’ යැයි පිළිතුරු ලබාදුන් අයගෙන් 56%ක් ‘සමාජ මාධ්‍ය භාවිතයට ඇති නිදහසත් ඉන් අඩුවෙයි’ යැයි කියා ඇත. ‘එයින් වැඩි වෙනසක් සිදුනොවේ’ යැයි 25%ක් කියා ඇත. 19% දෙනෙක් කියා ඇත්තේ ‘සමාජ මාධ්‍ය අවභාවිතා වීම ඉන් අඩුවනු’ ඇති බවය.
පණත ගැන
ගෙවුණු සැප්තැම්බර් මස 18 වෙනිදා ගැසට් කෙරුණු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පණත, පසුගිය ඔක්තෝබර් මස 3 වැනිදා පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සිදුවිය. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාවක් පිහිටුවීම මින් අරමුණු කෙරෙන අතර, එයට සුවිශේෂී බලතල සහ කර්තව්‍යයන් පණතින් හිමිකර දී, ඇත.
පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් පණත සම්මත කරගැනීමට එහි සඳහන් වගන්ති 31ක් සංශෝධනය විය යුතුයැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. පණත දැනට පවත්නා තත්ත්වයෙන්ම සම්මත කරගැනීමට නම් එයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයක අනුමැතිය අවැසි ය.
සමීක්ෂණ ක්‍රමවේදය
ඉහත දක්වා ඇති සොයාගැනීම් දීප ව්‍යාප්ත, ජාතික වශයෙන් නියෝජනය වන ශ්‍රී ලංකා වැඩිහිටි පුරවැසියන් 1029 දෙනෙකුගේ ප්‍රතිචාර මත පදනම් වේ. 2023 ඔක්තෝබර් මාසයේ සිදුකර ඇති මෙම සමීක්ෂණයේ නියැදිය සහ ක්‍රමවේදය සැළසුම් කර ඇත්තේ 95% විශ්වාසනීය මට්ටමක් සහ උපරිම වැරදි ආභිතය ±3% මට්ටමක පැවතෙන පරිදි ය.
මෙම සමීක්ෂණය වෙරිටේ රිසර්ච් සහ ජනමත විමසුමට දත්ත එකතු කිරීමට සහාය ලබාදෙන වෑන්ගාර්ඩ් සර්වේ (පෞද්ගලික) ආයතනය එක්ව සිදුකරන syndicated surveys නම් දීප ව්‍යාප්ත ජනමත විමසුම් සිදුකිරීම් වැඩසටහනේ කොටසක් වේ. syndicated surveys හරහා විවිධ කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පුරවැසියන්ගේ මතය විමසා බැලීමට වෙනත් සංවිධානවලට ද, අවස්ථාව ඇත.