ලබන 15 වැනි දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) දෙවන සම්මේලනයේදී පක්ෂයේ ප්‍රධන පරිපාලන තනතුරුවල වෙනසක් සිදුනොවන බව නාමල් රාජපක්ෂ පවසයි.
නිලධාරී මණ්ඩලය වෙත පක්ෂයේ පරිපාලන කටයුතු පැවරෙද්දී, ගම මට්ටමින් පක්ෂය යළි ගොඩනැගීමේ කටයුතු වෙනම පක්ෂ යන්ත්‍රයක් ඔස්සේ ආසන මට්ටමින් ක්‍රියාත්මක කෙරෙනු ඇතැයි ද ඔහු සඳහන් කළේය. තමන් වැඩි අවධානයක් යොමුකර ඇත්තේ ඒ සඳහා යයි ඔහු පැවසිය.
''ලබන වසර මැතිවරණ වර්ෂයක්. එම මැතිවරණවලට මුහුණ දීම සඳහා පක්‍ෂය වඩාත් ශක්තිමත් කිරීමක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ව්‍යවස්ථා සංශෝධන කිහිපයක් හඳුන්වාදීමටත් අපේක්‍ෂා කරනවා.'' යයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේය.
කෙසේවුවද දැනට පවතින පක්ෂ ව්‍යස්ථාවේ යම් යම් වෙනස්කම් සිදු කිරීමට නියමිත බවත්, පක්ෂයේ විධායක කමිටුවට ද නව සාමාජිකයන් පත් කිරීමට නියමිත බවත් වාර්තා වේ.
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කව්ද ?
ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කරන අපේක්‍ෂකයා කවුද යන්න පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුවී ඇති අතර 15 වැනිදා පැවැත්වෙන සම්මේලනයේ දී ජනාධිපති අපේක්‍ෂකයා නම් කරන්නේ දැයි 'දිවයින' පුවත්පත එම පක්‍ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් ගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කර ඇත්තේ, මේ අවස්ථාව ඒ සඳහා සුදුසු අවස්ථාව නොවන බවයි. එය සුදුසු අවස්ථාවේ දී පක්‍ෂ නායකත්වය සහ පක්‍ෂය විසින් තීන්දු කළ යුතු දෙයක් බව ඔහු පවසයි.
සම්මේලනයේදී පක්‍ෂයේ තනතුරුවල වෙනසක් සිද්ධ කරනවා දැයි 'දිවයින' කළ විමසීමේදී මහ ලේකම් සාගර කාරියවසම් මෙසේ සඳහන් කර ඇත.
''පක්‍ෂයේ තනතුරු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නේ පක්‍ෂයේ විධායක කාරක සභාව විසින්. තනතුරුවල වෙනසක් කිරීමට අවශ්‍ය නම් එය ඉදිරි විධායක කාරක සභාවේ දී සිද්ධ වේවී. ඉදිරියේ දී බොහෝදුරට සිද්ධ වෙන්නේ තනතුරුවල වෙනස් වීමකට වඩා තනතුරුවල පුළුල් වීමක් තමයි.''