කුමන අවහිර බාධක පැමිනුනත් පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩ පැවැත්වීමේ වැඩපිළිවෙළ
නවතන්නේ නැතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අවධාරණය කර සිටියි.

අමාත්‍යවරයා එබව කියා සිටියේ, ඇල්පිටිය පොලිස් කොට්ඨාශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම උදෙසා අම්බලන්ගොඩ ධර්මශෝක විද්‍යාලයේ පැවති විශේෂ වැඩසටහනකට එක් වෙමිනි.

මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඩලීම සඳහා පොලීසියට සහාය දක්වන ලෙස ඇමතිවරයා මහජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
එහිදී අමාත්‍යවරයා තවදුරටත් මෙසේ පැවසිය. 
 
 
 ''සමහර විට සමාජ මාධ්‍යවල අපිට ගහයි''
 
'' මීට වසර එක හමාරකට පෙර මෙම අමාත්‍යංශයේ වගකීම භාරගැනීමට අපට සිදුවූයේ මුළු රටම ගිනි ගනිමින් තිබුණු පසුබිමක් තුළයි.  අරගලය තුළ මුළු කොළඹම ජන ජීවිතය වෙනස් වී පැවතුනා. මාර්ග අවහිරව පැවතුණා. කිසිදු විදේශිකයකු මෙරටට පැමිනුනේ නැහැ. ව්‍යාපාර කටයුතු අඩපණ වුණා. බොහෝ ආයතන වැඩි කාලයක් වසා තැබීමට සිදුවීම හේතුවෙන් බොහෝ දෙනෙකුට නිසි වැටුපක් ලැබුණේ නැහැ. ඒ කාලය තුල රටේ නායකත්වයේද වෙනසක් සිදුවූවා.

ඉතා දීර්ඝ ලෙස මෙම තත්ත්වය පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව වර්තමාන පොලිස්පතිතුමාගේ ද සහයෝගයෙන් මුලින්ම එවකට කොළඹ විවිධ ස්ථානවල පිහිටුවා තිබූ ගම් ඉවත් කර ගැනීම සඳහා නිශ්චිත කාලසීමාවක් ලබා දෙන බවට නිවේදනයක් ප්‍රසිද්ධ කිරීම සඳහා සැලසුමක්‌ සකස් කරනු ලැබුවා. ඉන් අනතුරුව එවක පොලිස්පතිවරයාද දැනුවත් කර කොළඹ ජන ජීවිතය යළි යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කළා.

එම අවස්ථාවේ අරගලයට පහර දුන් බවට සමාජ මාධ්‍ය තුලින් අප පිළිබඳ දැඩි විරෝධයක් ඇති කරනු ලැබුවා. නමුත් අප මර්දනය කළේ අරගලය නොවෙයි. අප සිදු කලේ සාමාන්‍ය ජන ජීවිතය පවතිනවාටත් වඩා ඉතාමත් අපහසු තත්වයකට පත් වීම වැලැක්වීමයි.

එවකට පොලිසියටත් පොලිස් නිලධාරීන්ටත් ඉතාමත් නරක ආකාරයෙන් සැලකු කාලයක් පැවතුනා. පොලිස් නිල ඇඳුම ඇඟලා ගත් පසු කිසිවෙකුටත් යටත් විය යුතු නැහැ. රාජකාරිය නොබියව ඉටු කරන ලෙස මම නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඒ තුළින් නැවතත් පොලිසියටත් දිරිගැන්වීමක් ලබා දෙන්නට අපට හැකි වුණා. අප අනුගමනය කළ සෑම ක්‍රියාමාර්ගයක්ම ගනු ලැබුවේ මහජනයාගේ යහපත වෙනුවෙන්. ඒ තුළින් රට නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට අපට හැකියාව ලැබුණා.
 

එකම විකල්පය නීතිය තදින් ක්‍රියාත්මක කිරීමයි...
 
අරගලය ඇතුළු එවකට පැවැති තත්ත්වයන් හේතුවෙන් පාතාලය, අපරාධ, මත්ද්‍රව්‍ය පිළිබඳ අවධානය යම් ප්‍රමාණයකට පොලිසියෙන් ගිලිහී තිබුණා. එම නිසා සෑම ප්‍රදේශයකම මෙවැනි ක්‍රියාකාරකම් වර්ධනය වීම සිදු වුණා. මේ තත්ත්වය පිළිබඳ ජනාධිපතිතුමා අවස්ථා කීපයකදීම සමඟ සාකච්ඡාවේ නිරත වුණා. ඊට පවතින එකම විකල්පය නීතිය තදින් ක්‍රියාත්මක කිරීම බව අප ජනාධිපතිතුමාට පෙන්වා දුන්නා. ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට ජනාධිපතිතුමා පොරොන්දු වුණා.

ප්‍රජා පොලිස් කමිටු ඇතුළු සියලු දෙනාගේම සහයෝගය ලබා ගනිමින් අපරාධ සහ මත්ද්‍රව්‍ය මර්ධනය කිරීමේ වැඩසටහන ආරම්භ කිරීමට අප සූදානම්.පොලීසියට සහ විශේෂ කාර්ය බලකායට ඒ වෙනුවෙන් තදින්ම ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා.

මෙරටට මහා පරිමාණයෙන් මත්කුඩු ගෙන්වන පිරිසක් සිටිනවා, එම මත්කුඩු බෙදාහරින පිරිසක් සිටිනවා, මත්කුඩු භාවිතා කරන පිරිසක් සිටිනවා. මෙරටට මහා පරිමාණයෙන් මත්කුඩු ගෙන්වන ජාවාරම්කරුවන් පිළිබඳව නාවික හමුදාවත් සමඟ එක්ව පොලිසිය විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනු ලබනවා. අපගේ විශේෂ අවධානය යොමු වන්නේ මත්කුඩු අලෙවි කිරීමේ ජාලය සම්පූර්ණයෙන්ම අක්‍රිය කිරීම සඳහායි. ඒ සඳහා ප්‍රජා පොලිස් ඒකකවල විශේෂ සහයෝගය අවශ්‍ය වනවා.


විශේෂයෙන්ම ගම් සහ නගර ආශ්‍රිතව මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ නිරත වන්නන් පිළිබඳව ජනතාවට අවබෝධයක් පවතිනවා. පොලිසියට අවශ්‍ය වන්නේ ඒ තොරතුරු ලබා ගැනීමයි. එලෙස ලබාදෙන තොරතුරු සහ තොරතුරු ලබා දෙන අයගේ ආරක්ෂාව පිළිබඳව සියලු සැලසුම් අප සකස් කර තිබෙනවා. මේ වෑයම සඳහා අපත් සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. කවර තරාතිරමක අයෙකුගේ හෝ බලපෑම්වලට යටත් නොවී නීතිය ක්‍රියාත්මක කිරීමට අප කටයුතු කරනවා. එළඹෙන ජුනි 30 වනදා වන විට සම්පූර්ණ වෙනසක් සඳහා අවශ්‍ය කටයුතු කරන ලෙස පොලිසියට උපදෙස් ලබාදී තිබෙනවා.

 විශේෂයෙන්ම මත්කුඩු හා මත්ද්‍රව්‍ය හේතුවෙන් පාතාල ක්‍රියාකාරකම්ද  වර්ධනය වනවා. කාන්තාවන්ට හා ළමයින්ට විවිධ හිරිහැර වලට  මුහුණ දීමට සිදු වනවා. ජනවාරි මාසයේ සිට එවැනි ක්‍රියාකාරකම් පිළිබඳ දැනුම්දීමට පොලිස් කාන්තා නිලධාරිනියන් කටයුතු කරන, පැය 24ම ක්‍රියාත්මක වන ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දීමට කටයුතු කරනවා.


මේ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රහාරයන්ට මුහුණ දීමට සිදුවේවි. මේ වන විටත් සංවිධානාත්මකව එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. එවැනි කටයුතුවලින් මෙම ක්‍රියාමාර්ග අධෛර්යමත් කිරීමට කිසිවෙකු උත්සාහ කරනවා නම් එය කිසිසේත්ම සාර්ථක වන්නේ නැහැ. එවැනි ප්‍රචාරයන් සිදුකරන බොහෝ දෙනෙකු යැපෙන්නේ පාතාලයෙන් හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන්. බොහෝ දෙනෙකු විදේශයන්හි සිට මෙවැනි කටයුතු සඳහා මුදල් වැය කරනවා. අරගලගේ දී සිදුවුයේත් එයයි.


මේ වැඩ පිළිවෙල වෙනුවෙන් කිසිදු අවිශ්වාසයකින් තොරව අප හා අත්වැල් බැඳගන්නා ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. එහි සහයෝගයත් සමඟ කවර බාධක, අභියෝග පැවතුනත් මේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙනයාමට කටයුතු කරනවා.

මත්ද්‍රව්‍ය අලෙවියේ යෙදෙන පිරිසගෙන්ද තම දරුවන්, පවුල පිළිබඳ සිතමින් මේ ව්‍යසනයට දායක නොවන ලෙස ඉල්ලීමක් කරනවා. මින් ඉදිරියට එවැනි අයවලුන් සඳහා පොලිසියෙන් කිසිදු සමාවක් හිමිවන්නේ නැහැ.

 පාතාල ක්‍රියාකාරකම් වලට සම්බන්ධ බොහෝ ප්‍රබලයින්ද අවසානයේ පොලිසියේ හෝ විරුද්ධවාදීන්ගේ ඉලක්කයන් බවට පත්වෙනවා. ඉන් අනතුරුව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ද කිසිවෙකුගේ පිහිටකින් තොරව අසරණ බවට පත්වන ආකාරය අපි දැක තිබෙනවා. එම නිසා මෙවැනි කටයුතුවලින් ඉවත් වන ලෙස සිහිපත් කරනවා.එමෙන්ම නීතී විරෝධී ලෙස අවි ආයුධ ළඟ තබාගෙන සිටින පිරිසටද ඉදිරියේදී පොලිසියෙන් ගැලවීමක් නොලැබෙන බවද සිහිපත් කිරීමට කැමැතියි.ඔවුන් එම ආයුධ යම් කිසි අපරාධ ක්‍රියාවකට භාවිතා කරන්නට සැරසෙනවා නම් ඊට පෙර පොලිසියට ආයුධ භාවිත කිරීමට සිදුවෙනවා."

අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, විශේෂ කාර්ය බලකාය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඇතුළු පොලිස් ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන්, ප්‍රජා පොලිස් කමිටු නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
 
 
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image