තමන් ඇමරිකානු එක්සත් ජනපදයට මේ වනතෙක් වීසා බලපත්‍රයක් ඉල්ලා නැති බව හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර ද සිල්වා පවසයි.

එමෙන්ම අනාගතයේදී අයදුම් කිරීමට බලාපොරොත්තුවක් නැතැයිද ඔහු අවධාරණය කර සිටියි.

ඔහුටත් පවුලේ ඥාතීන්ටත් ඇමරිකාවට ඇතුළු වීම තහනම් කරමින් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනය ගැන අදහස් පළ කරමින් ඔහු මාධ්‍ය වෙත මේ බව පවසා ඇත.

 

ඇමෙරිකාව, මානව හිමිකම් කඩකිරීම්වලට අදාළව හමුදාපති ශවේන්ද්‍ර නම්කරයි

ශවේන්ද්‍ර සිල්වා

ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ අවසන් අදියරේ දී යුද හමුදාවේ 58 වෙනි සේනාංකය විසින් මානව හිමිකම් කඩකරන ලදැයි එල්ල වූ චෝදනාවලට අදාළව එම සේනාංකයේ අණදෙන නිලධාරියාව සිටි වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රසිද්ධියේ නම් කරන ලද බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසීය.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව කියා සිටියේ 58 වෙනි සේනාංකය විසින් අධිකරණමය ක්‍රියාදාමයකින් තොර මනුෂ්‍ය ඝාතන ආදී බරපතල මානව හිමිකම් කඩකිරීම්වලට අදාළව එහි අණදෙන්නාගේ වගකීම හරහා ශවේන්ද්‍ර සිල්වාගේ ඇති සම්බන්ධය පිළිබඳ විශ්වාසදායී තොරතුරු හේතුවෙන් විදේශ මෙහෙයුම් සහ ඒ අදාළ වැඩසටහන් විසර්ජන පනතේ 7031 (c) වගන්තිය ප්‍රකාරව මේ පියවරට එළඹුණු බවය.

ඒ අනුව විදේශ නිලධාරින් බරපතල මානව හිමිකම් කඩකිරීම් හෝ සැලකිය යුතු දූෂණවල යෙදී ඇතැයි යන්න ගැන විශ්වාසදායී තොරතුරු රාජ්‍ය ලේකම්වරයා සතු වන විට එවැනි පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ එක්සත් ජනපදයට ඇතුළුවීමට සුදුසුකම් නොලබති. එම නීති ප්‍රතිපාදන අනුව එවැනි නිලධාරීන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් රාජ්‍ය ලේකම්වරයා විසින් ප්‍රසිද්ධියේ හෝ පුද්ගලිකව නම් කරනු ලැබේ. ඒ අනුව, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට අමතරව ඔහුගේ පවුලේ සාමාජිකයෝ ද නම් කරනු ලැබ සිටිති.

කෙසේ වෙතත්, යුද්ධයේ අවසන් අදියරේ දී මානව හිමිකම් උල්ලංඝනය කරන ලද බවට නැගෙන චෝදනා ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතික්ෂේප කරයි.

usa Lanka00

බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය හා වෙනත් සංවිධාන විසින් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව ලේඛනගත කරන ලද චෝදනා බරපතල මෙන්ම විශ්වාසදායී බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

"ඔහුව නම් කිරීම තුළින්, ශ්‍රී ලංකාවේ හා ගෝලීය වශයෙන් වූ මානව හිමිකම්, මානව හිමිකම් හා අපයෝජන සම්බන්ධයෙන් දඬුවම් නොලබා සිටීම කෙරෙහි අපගේ සැළකිල්ල මෙන්ම එවැනි ක්‍රියාවල නියුතුවූවන් වගවීම ප්‍රවර්ධනයට අපගේ ඇති සහයෝගය සම්බන්ධයෙන් අප දී ඇති වැදගත්කම අවධාරණය කෙරෙනවා." යැයි එම දෙපාර්තමේන්තුව කියා සිටී.

එසේම, "මානව හිමිකම් ප්‍රවර්ධනය කරන ලෙසත්, යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනයට වගකිවයුත්තන් වගවීමේ රඳවන ලෙසත්, ආරක්ෂක ක්ෂේත්‍රයේ වැඩිදියුණුව හා යුක්තිය හා සංහිදියාව කරා යාමේ අනෙකුත් කැපවීම් රඳවාගන්නා ලෙසත් අප ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් මහත් ඕනෑකමින් ඉල්ලා සිටිනවා." යනුවෙන්ද පවසයි.

ශ්‍රී ලංකාව සමග ද්වීපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කරගැනීමට එක්සත් ජනපදය තවදුරටත් කැපවී ඇතැයි පවසන රාජ්‍ය දෙපාර්තමේන්තුව, පවතින හා මතුවෙමින් ඇති තර්ජනවලට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා හැඩගැස්වීමට සහය දෙන බවද කියා සිටී.

 

විදේශ අමාත්‍යංශයේ ප්‍රතිචාරය :

මේ අතර, ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා විදේශ සබඳතා අමාත්‍යංශය ඇමරිකා එක්සත් ජනපදය ලුතිනන් ජෙනරාල් සිල්වා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සංචාරක තහනම් පනවනු ලැබීම හෙළා දකින බව කියා සිටියි.

"ස්වාධීනව තහවුරු නොකළ මූලාශ්‍ර මත පදනම්ව එක්සත් ජනපද රජය විසින් එවැනි සංචාරක සීමා පනවනු ලැබීම පිළිබඳ ශ්‍රී ලංකා රජය දැඩි විරෝධය පළ කරන බවත්, ජ්‍යෙෂ්ඨත්වය සැලකිල්ලට ගනිමින් එවක රාජ්‍ය නායකයාව සිටි මෛත්‍රිපාල සිරිසේන විසින් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ලෙස පත් කළ බවත්, ඔහුට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ කිසිදු සනාථ කළ හෝ ඔප්පු කළ චෝදනාවක් නොමැති බව රජය නැවත අවධාරණය කර සිටිනවා" යැයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

"තොරතුරු මූලාශ්‍රවල සත්‍යතාව තහවුරු කර එම තීරණය සමාලෝචනය කරන ලෙස ශ්‍රී ලංකා රජය එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටින බව" ශ්‍රී ලංකා විදේශ සබඳතා අමාත්‍යංශය පවසයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එවක මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකාවේ 23 වෙනි යුද හමුදාපතිවරයා ලෙස පත් කරනු ලැබුවේ පසුගිය වසරේ අගෝස්තු 19 වෙනිදා ය.

එම පත්කිරීම සම්බන්ධයෙන් සිය "දැඩි අවධානය" යොමුවී ඇතැයි අමෙරිකා එක්සත් ජනපදය එදින පැවසු අතර කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, "විශේෂයෙන් සංහිඳියාව හා සමාජ සමගිය සඳහා වන අවශ්‍යතාව අතිශය වැදගත් වන අවස්ථාවක, අදාළ පත්වීම ශ්‍රී ලංකාවේ කීර්තිනාමය, යුක්තිය සහ වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා වූ කැපවීම් හෑල්ලුවට ලක් කරයි," යනුවෙනි.

us embassy statement 

ඊට පසුදින එනම් අගෝස්තු 20 වෙනිදා රටවල් හයක දූත මණ්ඩලවල එකඟතාව ඇතිව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළ යුරෝපා සංගමය, මේ පියවර නිසා "සාධාරණත්වය සහ වගවීම තහවුරු කිරීම සඳහා 2019 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැක්වූ සහයෝගය පිළිබඳව ගැටලු මතුවන බව" පැවසීය.

එසේ මතුවෙමින් ආ ජාත්‍යන්තර ප්‍රතිචාරවලට පිළිතුරක් දෙමින් අගෝස්තු 20 වෙනිදා නිවේදනයක් නිකුත් කළ විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටියේ, "විදේශීය පාර්ශ්වයන් මඟින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ උසස්කිරීම් පිළිබඳ තීරණ හා අභ්‍යන්තරික පරිපාලනමය ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමට උත්සාහ දැරීම යුක්ති සහගත නොවන අතර, එය පිළිගත නොහැකි ක්‍රියාවක්" බවය.

"චෝදනා මත පදනම්ව, ඇතැම් ද්විපාර්ශ්වික හවුල්කරුවන් සහ ජාත්‍යන්තර සංවිධාන විසින් මෙම පත්කිරීම සැලකිලිමත් විය යුතු තත්ත්වයක් ලෙස පෙන්වා දෙනු ලැබීම කනගාටුවට කරුණක් වන අතර, එය ජාත්‍යන්තර ප්‍රජාවේ සියලුම වගකිවයුතු සාමාජිකයින් විසින් අනුගමනය කරනු ලබන ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි වේ" යනුවෙන් ද විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.

(උපුටා ගැනීම් -බීබීසී සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්