බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කරන ලද මාතර බන්ධනාගාරයේ රැඳවියන්ගේ ජෛව සාම්පල පරීක්ෂා කිරීමේදී ඉන් එක් අයෙකුට
මෙනින් ජයටිස් හෙවත් මොළයේ උණ රෝග තත්ත්වය වැළදී ඇති බවට තහවුරු වු බව සෞඛ්‍ය අංශ පවසයි.
බන්ධනාගාර රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය හේමන්ත රණසිංහ පැවසුවේ, රෝගීන් සිව්දෙනෙකුගේ ජෛව සාම්පල පරීක්ෂණ කටයුතු සඳහා බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමුකළ බවය.
එහිදි එක් රැඳවියෙකුට පමණක් මොළයේ උණ රෝගය වැළදී ඇති බවට තහවුරු වී ඇත.
මොළයේ උණ රෝගය වැළදී ඇති බවට සැක කෙරෙන මාතර බන්ධනාගාරයේ රැඳවියන් 17 දෙනෙකු මේ වනවිට මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
ඔවුන් සියලුදෙනාගේ ජෛව සාම්පල මේ වනවිට බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමුකර තිබේ.
මොළයේ උණ රෝගය වැළඳී එක් රැඳවියෙකු මිය ගිය අතර මේ වන විට මාතර බන්ධනාගාරයට අලුතින් රැඳවියන් එකතු කිරීම නවතා දමා ඇත.
දැනට සිටින රැඳවියන්ගේ හා නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කර ප්‍රතිජීවක ඖෂධ ලබාදී ඇති බවද වාර්තා වෙයි.
බන්ධනාගාර රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය හේමන්ත රණසිංහ වැඩිදුරටත් සඳහන් කළේ, මෙම තත්ත්වය මත මාතර බන්ධනාගාරය අවට ඉන්න ජනතාව අනිසි බියක් ඇති කරගත යුතු නැති බවය.
''ඊයේ දිනයෙත් රෝගීන් කිසිවෙක් වාර්තා වෙලා නැ''
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි දිසානායක මෙසේ සඳහන් කළේය.
"මේ වනවිට මාතර බන්ධනාගාරයේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා තියෙනවා. ඊයේ දිනයෙත් රෝගීන් කිසිවෙක් වාර්තා වෙලා නැහැ. මේ දක්වා රෝගීන් 17 දෙනෙකු මාතර රෝහලට ඇතුළත් කළ අතර එක් අයෙක් මිය ගියා. ඊට අමතරව දැඩි සත්කාර ඒකකයේ දෙදෙනෙකු හා සාමාන්‍ය වාට්ටුවල තවත් රෝගීන් 14 දෙනෙක් මාතර රෝහලේ ප්‍රතිකාර ලබනවා.
කෙසේවුවත් බන්ධනාගාරයේ සෞඛ්‍ය අංශයත් ප්‍රාදේශීය සෞඛ්‍ය අංශත් එකතුවී බන්ධනාගාරයේ රෝගීන් පිළිබඳව සැලකිලිමත් වෙනවා. ඊට පසුව රෝගීන් කිසිවෙක් වාර්තාවීමක් සිදුවූයේ නැහැ."
(adaderana.lk)