විනය විරෝධී ක්‍රියාවන් හේතුවෙන් රුහුණු මහා කතරගම දේවාල පරිශ්‍රයට ඇතුළුවීම තහනම් කර සිටි කපුවකු ගතවූ මාසයක කාලයකදී දේවාලයට

බලහත්කාරයෙන් ඇතුළු වී බැතිමතුන් විසින් පූජා කළ මුදල් හා රත්තරන් නිවසට රැගෙන ගිය බව කියන සිද්ධියක් සම්බන්ධව වැඩබලන පොලිස්පති නියමයෙන් විශේෂ විමර්ශනයක් අරඹා ඇත.

වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ගේ උපදෙස් මත පොලිස් වංචා විමර්ශන ඒකකය මෙම විමර්ශනය අරඹා තිබේ.

මෙම නොවැම්බර් 13 දා සිට දෙසැම්බර් 13 දක්වා මාසයක කාලසීමාව තුළදී දේවාලයේ තේවාව බලහත්කාරයෙන් බාරව සිට ඇත්තේ 2022 ජූලි 29 දා සිට කපු ධුරය අත්හිටුවා දේවාලයට ඇතුළුවීම තහනම් කළ තිම්ලත් රත්නායක සනත් ප්‍රේමකුමාර නමැති අයට බව වංචා විමර්ශන ඒකකයට ලද පැමිණිල්ලේ සඳහන්ය.

රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර විසින් මෙම පැමිණිල්ල පොලිස්පතිවරයා මාර්ගයෙන් වංචා විමර්ශන අංශය වෙත ලබාදී ඇත.

 මසකට රුපියල් කෝටි හතරත්, පහත් අතර වටිනාකමකින් යුත් මුදල් හා රන් ආභරණ දේවාලයේ තේවාව කරන කපු මහතකුට ලැබෙන බවත්, තේවාවෙන් පසුව පසුගිය මාසයට අදාළව රුපියල් ලක්ෂ දහයක් වැඩ තහනමට ලත් කපුවා විසින් දේවාලයේ ගිණුමට තැන්පත් කර ඇතැයිද එම පැමිණිල්ලෙන් පෙන්වා දී තිබේ.

බෞද්ධ විහාර දේවාලගම් පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව රුහුණු මහා කතරගම දේවාලයේ පරිපාලන කටයුතු කරගෙන යාමට නොහැකි ලෙසින් බරපතළ ගණයේ විෂමාචාර ක්‍රියාවක් සහ විනය විරෝධී ක්‍රියාවක් කර ඇති නිසා මෙම වැඩ තහනම ක්‍රියාත්මක කළ බව බස්නායක නිලමේවරයා පසුගිය වසරේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට ලිඛිතව දන්වා තිබිණි.

වැඩ තහනමට ලක්වූ කපුවකු දේවාලයේ කටයුතු කරගෙන යන්නේ නම් ඔහු සම්බන්ධ පියවර ගැනීමේ බලය බස්නායක නිලමේ සතුව ඇතැයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් කීර්ති සිරිබද්දන මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී මීට ඉහතදී පෙන්වා දුන්නේය.


( aruna.lk- තිස්ස රවීන්ද්‍ර පෙරේරා)


සබැඳි ලිපි :
අතුරුදහන්ව සිටී කතරගම දේවාලයේ මහ කපුවා CCDයට බාරවෙයි
කතරගම දේවාලයේ ආදායම 50%කින් බහී !
දේවාලේ රන්තැටිය පරෙස්සම් කරගන්න බැරි කඳ සුරිඳු - (අරුණ ජයවර්ධන)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්