ලංකා විදුලිබල මණ්ඩලය විසින් රුපියල් බිලියන 52 ක ලාභයක් උපයාගෙන තිබියදීත් මෑතකදී

වැඩි කරන ලද විදුලි ගාස්තු ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාම තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අද (ජනවාරි 08 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබීය.



එමෙන්ම මේ වනවිට උපයා ගෙන ඇති රුපියල් බිලියන 52 ක ලාභය විදුලි පාරිභෝගිකයින් අතර බෙදා හරින ලෙස ලංකා විදුලි බල මණ්ඩලය වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස මහජන උපයෝගීතා කොමිසම, ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි බල හා බලශක්තිය අමාත්‍ය කංචන විජේසේකර, එම අමාත්‍යංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබේ.


පෙත්සම්කාර සජිත් ප්‍රේමදාස කියා සිටින්නේ වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් ඇතිවී තිබෙන බලපෑම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුව විසින් මේ මස 02 වැනි දා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම වෙත ලිපියක් යොමු කර ඇති බවය.

විදුලි අර්බුදයක් මතුවීමට හේතු

පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුව විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත යවන ලද ලිපිය තුළින් වත්මන් විදුලි අර්බුදය මතුවීමට බලපෑ හේතු මනාව විස්තර කොට ඇතැයි සජිත් ප්‍රේමදාස සිය පෙත්සමේ සඳහන් කර ඇත.


ජල විදුලි උත්පාදනය වැරදි ලෙස ගණනය කිරීම, ගල් අඟුරු සහ තාප විදුලි උත්පාදනය වැරදි ලෙස ගණනය කිරීම මෙම අර්බුදයට ප්‍රධාන හේතුවක් වූ බව අදාළ ලිපියේ සඳහන් කොට ඇතැයි ඔහු පෙන්වා දෙයි.


එසේම වැරදි කළමනාකරණය, අකාර්යක්ෂම පාලනය, විදුලි උත්පාදනය සම්බන්ධයෙන් දිගු කාලීන උපායමාර්ගික සැලසුම් සකස් කිරීමට අපොහොසත් වීම, විදුලි ක්ෂේත්‍රයේ පවතින දූෂණ හා අක්‍රමිකතා වත්මන් අර්බුදයට තවත් ප්‍රධාන හේතු කීපයක් වී ඇති බව අදාළ ලිපියේ සඳහන් කර ඇතැයිද විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියි.

විදුලි ඉල්ලුම පහත වැටීම

ඉකුත් වසරේ පැවති සමස්ත විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 4510 ක් වන අතර ඉන් ගිගාවොට් පැය 3750 ක් ජල විදුලිය තුළින් උත්පාදනය කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සමත් වී ඇතැයි පෙත්සමේ සඳහන් වේ.

එසේම ඉකුත් වසරේ විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 400 කින් අඩු වී තිබෙන බවත් එහි සඳහන් වේ.

එහි ප්‍රතිඵලයක් ලෙස ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් බිලියන 26 ක ලාභයක් ලැබී තිබෙන බව පෙන්වා දෙන විපක්ෂ නායකවරයා විදුලි ගාස්තු 18% කින් ඉහළ නැංවීම හේතුවෙන් අමතරව තවත් රුපියල් බිලියන 26 ක ලාභයක් විදුලි බල මණ්ඩලය උපයාගෙන තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමේ සඳහන් කර තිබේ.

ඒ අනුව විදුලි ගාස්තුව 18% කින් වැඩි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය ගත් තීරණය අයුක්ති සහගත බව පෙනීයන්නේ යැයි සඳහන් කරන විපක්ෂ නායකවරයා එම විදුලි ගාස්තු වැඩි කිරීමට ගත් තීරණය සාධාරණීකරණය කිරීමට හැකිවන විශ්ලේෂණාත්මක විග්‍රහයක් ආංශික අධීක්ෂණ කමිටුව වෙත ඉදිරිපත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය අපොහොසත් වී ඇති බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

අසාධාරණ ලෙස විදුලි ගාස්තු වැඩි කිරීම නිසා ඇති වූ අහිතකර බලපෑම

විදුලි ගාස්තු අසාධාරණ ලෙස 18% කින් ඉහළ නැංවීම නිසා අපනයන අභිමුඛ කර්මාන්ත මත සිදු කෙරෙන ආයෝජන අඩුවීමට හේතු වී ඇති බවත් පෙත්සමේ දැක්වෙයි.

එසේම සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත රැසක් බිඳ වැටී ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයින් රැසකට රැකියා අවස්ථා අහිමි වී ඇති බවත් පෙත්සමේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මෙම ගාස්තු ඉහළ නැංවීම හේතුවෙන් ළමා අධ්‍යාපන කටයුතුවලට බාධා සිදුවීම, ළමා මන්දපෝෂණ තත්ත්වයන් ඉහළ යාම වැනි අවාසනාවන්ත තත්ත්වයන්ට ද මග පෑදී තිබෙන බවත් ඔහු පෙත්සමෙන් පෙන්වා දී ඇත.


ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලය විසින් රුපියල් බිලියන 52 ක ලාභයක් උපයාගෙන තිබියදීත් වැඩිකළ විදුලි ගාස්තු ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාම තුළින් ලංකා විදුලිබල මණ්ඩලය විදුලි පාරිභෝගිකයින්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කාර විපක්ෂ නායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද සිටියි.


එසේම ලංකා විදුලි බල මණ්ඩලය විදුලි ගාස්තු වැඩි කිරීමට අදාළ සියලු ලේඛන හා ලංකා විදුලි බල මණ්ඩලයේ සියලු විගණන වාර්තා අධිකරණය හමුවට කැඳවා විමර්ශනයක් කරන ලෙස ඉල්ලා සිටින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ වන විට උපයාගෙන තිබෙන රුපියල් බිලියන 52 ක ලාභය විදුලි පාරිභෝගිකයින් වෙත බෙදා දී විදුලි ගාස්තු අඩු කරන නියෝගයක් නිකුත් කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

(BBC සිංහල සේවය)

අද දින ගොනු කළ පෙත්සම...

xdfgdrgdf

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image